කලුකැලේ නඩුවේ චුට්ටෙ මියගියා…. – බෝපේ ලියයි

උද්ඝෝණයකදී සිරගත වීමට ලක්ව, එයට එරෙහිව ඓතිහාසික නඩු තීන්දුවක් ජුනි මාසයේදී ලබාගත් කළුකැලේ චුට්ටේ නම් පුරවැසියා මියගොස් ඇතැයි, ඔහුගේ නීතිඥ නුවන් බෝපගේ ලියා තිබෙනවා. චුට්ටේ වැනි මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලාභ නොලබා පෙනී සිටින ජනතාවගේ නීතිඥයා වන නුවන් බෝපගේ ලියූ සටහන පහතින්.

නීතිඥ නුවන් බෝපගේ

2014 පමණ සුදු කිලිටු සරමක් සහ කමිසයක් ඇදගෙන දෙපාවලට පාවහන් නොපලදන ගැමියෙකු මගේ කාර්යාලයට එන්නෙ බේරුම්කරණ නඩුවක නොතීසියක් අතින් දරාගෙන.

ඔහු කන්න ණයක් ප්‍රසිද්ධ මූල්‍ය සමාගමකින් අරගෙන වගා කරපු කුඹුරු කෑල්ල ගංවතුරට යටවෙලා ණය ගෙවා ගන්න බැරිවුන ගොවියෙක් බව උපදෙස් මගින් වැටහී ගියා.දැන් තවත් ගිණිගොඩක් හිත මතට පාත්වෙලා.සාමාන්‍ය නඩුවකටත් වඩා මුදල් වැයවන බේරුම්කරණ නඩුවක් අර බිලියන ගණන් ලාභ උපයන සමාගම මේ ගොවියට කොලඹදී ගොනුකරලා.

මම නඩුව භාරගත්තා.වසර තුනක් විතර චුට්ටේ මාස තුනකට පාරක් පාන්දර 3ට දිඹුලාගලින් කොලඹ එන බස් එකේ නැගල කොළඹ එනවා.යනකොට මම අත මිට මොලවන රුපියල් 500 කොලේ අරගෙන හවස බස් එකේ නගිනවා.බොහෝ දවස්වල වී ටිකක් කොටන් ඇවිත් වාහනේට දාලා සතුටු වෙනවා.

ඒ අතර මම කලුකැලේ ඔහුගේ කුඹුරේ ගහක් මත හදපු පැලේ රැයක් ගත කරන්නෙ අලි බලන්න උවමනාවට.මට ඒක විනෝදයක් උනාට හවස 6 පනින කොට විස්සක තිහක අලි රංචුවක් වැටවල් කඩාගෙන ගමට එන විදිය මම අත් වින්දා.ගමේ ආරක්ෂකයා උනේ චුට්ටේ.කිසිම බයක් නැතුව කෑගහල අලි එලවල ගම ආරක්ෂා කරන්න මූලික උනේ චුට්ටෙ.චුට්ටෙ අසමත් වුනු දවසක ගැඹිනි මවක් ඇයගේ වයස අවුරුදු 6 වෙච්ච දියණිය එක්කම අලියෙක් පාගල මැරෙනවා.

මේ පීඩාව දරාගන්න බැරුව චුට්ටෙ වගාවට දාන්න ගෙනාපු වල්නාශක කුප්පියක් අරන් කලුකැලේ බස් නැවතුම්පොළ උඩට නැගලා උපවාසයක් කරනවා.ඒ විදියෙ උපවාස ගොඩක් කරලා යන්තම් කලුකැලේට අලිවැටක් දිනාගන්න චුට්ටෙට පුලුවන් වෙනවා.උපවාස චුට්ටෙ කියලා චුට්ටෙට නමකුත් පටබැදෙනවා.

දශක තුනකටත් වඩා රටට බත් දීපු ගොවියෙක් වෙච්ච චුට්ටෙගෙ ගෙදර පොලොන්නරුව නටඹුන් වලට දෙවෙනි නෑ.ඒ සූරාකෑම ගැන චුට්ටෙ මා එක්ක දිගටම කතා කලා.පසුව චුට්ටෙට ඒ කතාබහ තම ගම්මාන වලට ගෙනියන්න ඕන උනා.ඒ වෙනුවෙන් දිඹුලාගල,වැලිකන්ද, හිඟුරක්ගොඩ,මැදිරිගිරිය,අරලගන්විල,මාදුරුඔය,දඹුල්ල, ගල්නෑව,මීගලෑඡව වගේ ගොවි ගම්මාන වල රැස්වීම් සංවිධානය කලා.ඒ හැම එකකම ප්‍රධාන කථිකයා විදිහට මාව එක් කරගෙන යනවා. අන්තිමට චුට්ටෙ මූලික වෙලා පුලුවන් වෙනවා. ඒකාබද්ධ ගරවිජන ව්‍යාපාරය කියලා ව්‍යපාරයකුත් ආරම්භ කරන්න. ඒක හරහා වැලි කන්දේ කරපු ලොකු උදිඝෝෂණයකින් පස්සේ 2018 අවුරුද්දේදී පුළුවන් වෙනවා වී වලට ස්ථාවර මිලක් කරගන්න.

වගා හානි වලට වන්දි ගන්න, සමාගම් මගින් ගොවියාට සිදුවන අසාධාරණවලට විරුද්ධ වෙන්න, මහ මෝල් හිමියන්ගේ සූරා කෑමට විරුද්ධ වෙන්න චුට්ටෙ මූලික කරගෙන විශාල ව්‍යාපාරයක් මේ ප්‍රදේශවල දියත් කරගන්න පුළුවන් වෙනවා. ඒ හැම එකදිම කිලෝ මීටර් ගණන් නිරුවති දෙපයින් ඇවිදින චුට්ටෙගෙ ශක්තිය විශ්වාස කරන්න බැරි තරම් එකක්. මේ තරම් පොඩි මිනිහෙක්ට ඒ තරම් ශක්තියක් ආවේ කොහොමද කියන එක හිතද්දී පෙරලූ නැවුම් පස ,ගොවි රජ්ජුරුවෝ රුසියානු සාහිත්‍යය පොත් මට මතක් වෙනවා.

2018 අවුරුද්දේත් අලි ප්‍රශ්නය ආයෙත් උත්සන්න වෙනවා. චුට්ටේ ගමේ මිනිස්සුත් එකතු කරගෙන දිඹුලාගල කළු කැලේ හන්දියේ පාර වහලා ලොකු උද්ඝෝෂණයක් කරනවා. පස්සේ චුට්ටෙ ඇතුළු කීප දෙනෙක් පොලිසිය අත්අඩංගුවට අරන් බන්ධනාගාර ගත කරනවා. දවස් දහයකට පස්සේ ඇප ඉල්ලීමක් කරලා ඇප ලබාගන්නවා. එතනදි පොලිසිය මේ අය රිමාන්ඩ් කරන්න අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් පාවිච්චි කරනවා. ඒ සම්බන්ධයෙන් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩුවක් පවරනවා.ඒ නඩුවේ තීන්දුව පහුගිය ජූනි මාස තුන්වෙනිදා ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරන්නේ එහෙම පුද්ගලයන්ව අසාධාරණ විදිහට බන්ධනාගාර ගත කරන්න නීතියේ ප්‍රතිපාදන පාවිච්චි කිරීම මානව හිමිකම් කඩවීමක් කියලා. ඒ විතරක් නෙවෙයි පොලිසියට ,නීතිපතිවරයාට, විනිසුරුවරුන්ගේ ආයතනයට මේ සම්බන්ධයෙන් නිර්දේශ හදන්න කියලත් නියෝග කරනවා. මහේස්ත්‍රාත්තුමන්ලා පොලිසිය කිවූ පලියට මිනිසුන් බන්ධනාගාරගත කිරීම සිදුකළ නොකළ යුතුයි කියලත් තීරණය කරනවා. අලි ප්‍රශ්නය බැරෑරුම්ව තේරුම් අරන් කෝදාගොඩ විනිස්චයකාරතුමා ඒකට මාස හයක් ඇතුලත විසදුම් දෙන්න කියලා බලධාරීන්ට නියෝග කරනවා.

මේ තීන්දුවේ ඇත්ත අයිතිකාරයා චුට්ටේ. මේ පුංචි මිනිහට පුළුවන් වෙනවා මුළු රටේම මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වලට බලපාන නඩු තීන්දු පවා ගන්න තැනට පත්වෙන්න. හැබැයි ඒ තීන්දුවේ සතුට බෙදාගන්න මම යනකොට චුට්ටේ පෙනහළු පිළිකාවකට ගොදුරක් බවට පත්වෙලා. චුට්ටේට ෆිල්ටර් තියෙන සිගරට් බොන්න පුළුවන් කමක් තිබුණේ නෑ. හැමදාම බිව්වේ බීඩි. මම ඉස්සර විහිළුවට වාහනේට නගින කොට කියනවා බීඩි ගඳ හින්දා බහින්න කියලා. නමුත් චුට්ටලගේ ජීවිතවල පොඩි හරි සතුටක් වින්දේ ඔය වගේ දේවල් වලින්. අන්තිමට ඒ නිසාම චුට්ටෙට පෙනහළු පිළිකාවක් උරුම උනා. පිළිකාව හැදිලා තියෙද්දි හැමදාම කිව්වේ මම ඉක්මනටම හොඳ වෙලා ආයෙත් සටන් කරන්න පාරට එනවා කියලා.

ඒත් චුට්ටේ ආයේ නැවත එන්නේ නෑ. කළු කැලේ වගේ දුප්පත් අහිංසක ගම්මානවල මේ වගේ දැවැන්ත වනස්පතියන් කොච්චර ඇද්ද. ඔවුන්ගේ ජීවිත පොළොවට පස්වන්නේ අවසානයේ කිසිදු වටිනාකමක් නැතුව. හැබැයි ඔවුන්ගේ ශ්‍රමය සූරකන ප්‍රාග්ධන හිමියෝ හැමදාම යහතින් වැජඹෙනවා. මේක තමයි දිළිඳු බවේ විෂම චක්‍රය.

මේ ආණ්ඩුවෙත් ආර්ථික ප්‍රතිපත්තියත් පෝසතුන් කොච්චර පොහොසත් වුනක් කමක් නෑ. දුප්පතුන්ට තවත් දුප්පත් වෙන්න බෑ කියන එක කියලා ජනාධිපතිවරයා පොළොන්නරුවේ රැස්වීමකදීම කිව්වා.එබඳු ප්‍රකාශයක් කිසිදු ලෙසකින් යථාර්ථයක් නොවන බව දේශපාලන ආර්ථික විද්‍යාව කියවන ඕනම කෙනෙකුට තේරුම් යා යුතුයි. පොහොසතුන් වඩ වඩාත් පොහොසත් වන ප්‍රමාණයට සමානුපාතිකව දුප්පතුන් වැඩිවන බවත් පීඩිතයින් වැඩිවන බවත් යන්න අනුලෝම සමානුපාතිකයක්.

චුට්ටෙට දැන් මිනිස්සු නිවන් සුව පතයි. හැබැයි ජීවත්ව සිටියදී ඔහුට නිවන ස්වර්ගය ලබාදෙන්න නොහැකි වෙච්ච සමාජයක අපි ඉන්න. චුට්ටේ වගේ සිය දහසක් මිනිසුන්ට නිවන ඔවුන් ජීවත්වන කාලය තුළ උදා කරගන්න නම් චුට්ටේ බලාපොරොත්තු ඒ සාධාරණ යුක්ති සහගත ලෝකය උදා කරන්න අපිට තව බොහෝ දේවල් කරන්න සිදුවේවි.

සුභ ගමන් චුට්ටෙ

පහත දැක්වෙන්නේ චුට්ටේ ලබාගත් ඓතිහාසික නඩු තීන්දුවේ තොරතුරු! මෙය රංජිත් කහඳවල ලියූ සටහනක්…

අද දින (2025 07 04) මුලික අයිතිවාසිකම් කඩවීමක් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික නඩු තීන්දුවක් ලබාදුන්නා. මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේ අගවිනිසුරු මුර්දු ප්‍රනාදු , යසන්ත කෝදාගොඩ , සහ එස්. තුරෙයි රජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි

මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වින්දිතයින් ( මහියංගනය පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ කළුකැලේ ගම්වාසින් ) වෙනුවෙන් පෙනීසිටියේ නීතීඥ චතුර වෙත්තසිංහ මහතාගේ උපදෙස් පිට ජේෂ්ඨ නීතිඥ නුවන් බෝපගේ මහතාය.

මේ සම්බන්ධයෙන් වගඋත්තර කරුවන් ලෙස නම් කර තිබුනේ අරලන්විල පොලිසියේ ස්ථානාධිපති S.M..L,R. බණ්ඩාර , යන අයට විරුද්ධවයි. හැබැයි මෙහි වැදගත්ම කරුණ නම් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පහත සඳහන් සුවිශේෂ නියෝගයන් ද නිකුත් ඇත

සිද්ධිය සැකවින් මෙසේය. මේකේ කළුකැලේ ගම්මානය අලින්ගේ ග්‍රහණයට ලක්වෙමින් අලි මිනිස් ගැටුම උග්‍රව පවතින මහත් පීඩාවට පත්වූ ජනතාවක් වාසය කරති.

වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලයට සහ ඇදලා බලධාරීන්ට දිගින් දිගටම පැමිණිලි ඉදිරිපත් කරත් නිසි මැදිහත්වීමක් නොකරන නිසා 2018 ජුනි මස 06 වෙනිදා ජනතාව පාරට පැමිණ විරෝධය පළකර ඇත.

ගම්වාසින් 200 කට වඩා වැඩි පිරිසක් සහභාගී වීම හේතුව නිසා ඉහත කි මාර්ගයේ කළුකැලේ හන්දියෙන් මාර්ගය අවහිර වෙනවා. එහිදී පොලිසිය මැදිහත්වී වනජීවී එක සමග පසුවදාට සාකච්ජාවක් අරගෙන දෙන බවට පොරොන්දු වෙමින් උද්ඝෝෂණය කල පිරිස විසුරුවා හරිනවා.

පසුවදා ජුනි 7 පොලිසියේදී සාකච්ජාවක් පැවැත්වුවද කිසිඳු විසඳුමක් ලැබෙන්නේ නැහැ මෙලෙස අවසන් විසඳුමකින් තොරව ගම්වාසින් නිවෙස් බලා පිටත්ව යනවා.

කෙසේ නමුත් දින කිහිපයක් ගතවුවද පොලිසිය විසින් පොරොන්දු වූ පරදී වනජීවී බලධාරීන් සමග සාකච්ජාවක් ලබාදී නැත. එහෙත් සති 2 කට පසුව 2018/ජුනි 18 දින පොලිසිය විසින් ගම්වාසි ගොවියන් දෙදෙනෙකුට පමණක් කැඳවීමක් ලැබෙනවා.

පොලිසියට ගිය මේ ගොව් මහත්වරුන් දෙදෙනාට අධිකරණ නියෝග නොපිලිපදිමින් මෙම උද්ඝෝෂණය සිදුකල බවට චෝදනා කර අධිකරණයට ඉදිරිපත් කරමින් ජුනි 22 දින දක්වා රිමාන්ඩ් කරනවා.

22 වෙනිදා ඇප ඉල්ලීම් කලත් පොලිසියේ විරෝධතා නිසා නැවතත් රිමාන්ඩ් කර ඇත. ඉන්පසු ජුලි මස 02 වෙනිදා තමයි ඇප ලබාගෙන එලියට පැමිණ ඇත්තේ. ඉන්පසුව නීතිඥ නුවන් බෝපගේ මහතා ගේ සහය ලබමින් මුලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධ පෙත්සමක් ඉදිරිපත් කරනවා.

පොලිසිය විසින් මහජන පීඩා යටතේ මේ දෙදෙනා අත්අඩංගුවට ගත බව ප්‍රකාශ කලත් මෙම පෙත්සම වෙනුවෙන් දීර්ඝ කරුණු දැක්වීමක් කල නුවන් බෝපගේ මහතා උසාවිය මගින් ලබාගෙන ඇති එකී නියෝගයේ මේ ගොවි මහතුන් දෙදෙනාගේ නම් නොතිබුන පවා පවසා ඇත.

එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කල බෝපගේ මහතා මෙම අලි මිනිස් ගැටුම නිසා සිදුවී ඇති ජීවිත හානි සහ වගාවන් මෙන්ම ගෙවල් ඇතුළු ගොඩනැගිලි වලට සිදුවූ හානි පිළිබඳවද ජායාරුප ඉදිරපත් කරමින් දීර්ඝව ඔඅහැදිලි කිරීමක් කර ඇත.

මෙහිදී මුලික අයිතිවාසිකම් කිහිපයක් කඩවී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි නමුත් භාෂණයේ නිදහස ලැබී ඇති බව පැහැදිලි වන යාමේ ඊමේ නිදහස උල්ලංගනය වීමක් සහ නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක් වගේම නීති විරෝධීව රඳවා ගැනීමක් සිදුව ඇතයි ද ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කොට ඇත.

ඒ අනුව ඉහතින් මන් කරනු ලැබූ අරලගන්විල පොලිසියේ ස්ථානාධිපති බණ්ඩාරට පුද්ගලික මුදලින් රුපියල් 30000/ ක් බැගින් පෙත්සම් කරුවන් දෙදෙනාට ගෙවන්න නියම කරනවා.

මීට අමතරව ප්‍රජාත්‍රන්තවාදී රටවල නලා හඬවමින් ඝෝෂා කිරීම රංචු ගැසී විරෝධතා කිරීම එවැනි විරෝධාතා වලට සහභාගී වන අයගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් පොලිසිය කටයුතු කලයුතු ආකාරය ගැන ද මෙහිදී ප්‍රකාශ කොට ඇත.

එසේම අලි ඇතුන්ගේ වාසස්ථාන සඳහා ප්‍රමාණවත් ඉඩක් ලබාදීම සහ ගම්වාසීන්ට සිදුවන හිරිහැර වලට විසඳුම් ලබාදීම ද රජය සහ වනජීවී දෙපාර්තමේන්තුව විසින් කටයුතු කිරීම වගකීමක් ලෙසද අවධාරණය කර ඇත.

ජනගහන වර්ධනය සහ සැලසුම් නොකළ තාවකාලික සංවර්ධනය ව්‍යාප්ත නිසා එහි ප්‍රතිපලක් ලෙස වන සතුන්ට ආහාර රැස්කිරීම හැකිලීම හේතුවෙන් ඇතිවන නව සංසිද්ධියක් ලෙස අධිකරණය සඳහන් කරනවා.

ජන ගහනය වර්ධනය හා මිනිස් පරිභෝජනය සඳහා ප්‍රමාණවත් කෘෂිකාර්මික බෝග නිෂ්පාදනය අවමවීම නිසා එවැනි ප්‍රශාරනයක් වැළක්විය නොහැකි වන නමුත් හොඳින් සැලසුම් කරන පලදායි පියවරයන් අනුගමනය කළහොත් මෙම සංසිද්ධිය අවම කරගැනීමේ හැකියාව පවතින බව අධිකරණයේ අවධානය යොමු කරනවා.

එසේම ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොනවද කියා තීරණය කිරීම මෙම අධිකරණයේ කාර්යක් නොවන බවත් සඳහා කොට ඇත. එය තීරණය කලයුතු වන්නේ ඒ සඳහා ප්‍රාමාණික දැනුමක් ඇති විශේසඥයෝ බවටද ශ්‍රේෂ්ඨාධිකරණයෙ අවධානය යොමුකරනවා.

අලි මිනිස් ගැටුම වලක්වන්න සහ මීට අදාලව තිරසාර විසඳුමකට පැමිණීම බලාධාරින්ට ඇති වගකීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුකර ඇතැයිද සඳහන් වේ. එසේම මෙම නිරීක්ෂණ රැගෙන බලධාරීන්ට සහ නිලධාරීන්ට දැනුම් දෙන ලෙසටද නීතිපතු වරයාට දැනුම් දීමක් ද සිදුකොට ඇත.

අවෂන් වශයෙන් මෙම තීන්දුවේ මුලධර්ම සහ මහජන විරෝධතා විසිරුවා හැරීමේ ප්‍රායෝගික දැනුවත් කිරීමක් කරමින්. පොලිස් නිලධාරින් අතර බෙදා හැරීමට ද නීතිපති වරයාට සහ පොලිස්පති වරයාට උපදෙස් ලබා දීමක් ද සිදුකරමින් නියෝග කර ඇත.

එසේම මේ පිළිබඳව ගන්න ලද ක්‍රියාමාර්ග පිළිබඳව මාස 6 ක් ඇතුලත ශ්‍රේෂ්ඨාධිකරණය දැනුවත් කරන ලෙසද යසන්ත කෝදාගොඩ විනිසුරු තුමා විසින් අවධානරණය කොට ඇත.

මෙහිදී කෙනෙකු රිමාන්ඩ් කිරීමක් නොව කලයුතු වන්නේ ඇපදීමක් බවත් රිමාන්ඩ් කලයුතු වන්නේ සීමිත අවස්තාවලදී පමණක් බවත් පොලිසියේ ඉල්ලීමක් කල පමණින් කලයුතු වන්නේ නැති බවද මෙහිදී අවධාරණය කොට ඇත.

ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් වරුන් දැනුවත් වී සිටියයුතු බවත් අපරාධ යුක්තියට අනුකුලව එය සිදුකලයුතු බවත් මේ පිළිබඳව විනිසුරු වරුන් පුහුණු කිරීමේ ආයතන වලට මෙම මුලධර්ම පිළිබඳව දැනුවත් කරන ලෙස නියෝග කර ඇත.

මෙහි වඩාත්ම වැදගත් කොටස වන්නේ මෙම තීන්දුවෙන් ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවීම අවම කරගැනීමට අවශ්‍ය වන උපදේශන මාලාවක් ලබාදී ඇති බව පෙනී යනවා.

මේවා ක්‍රියාත්මක වීමෙන් ඉදිරියේදී පොලිසිය වනජීවී දෙපාර්තමේන්තුව විනිසුරු තුමන්ලා සහ රජය ක්‍රියාත්මක වියයුතු ආකාරය මැනවින් පැහැදිලි කර ඇති නිසා ඉදිරියේදී මුලික අයිතිවාසිකම් කඩවීම් අවමවීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කලහැකිය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading