ලංවිම අන්බන්ඩ්ල් කිරීම නොහොත් පුද්ගලීකරණයේ පළමු පියවර

ආචාර්ය අමාලි වෙදගෙදර

2024 නොම්බර 36 දරණ ලංකා විදුලි බල මණ්ඩල පනත වගේම එයට NPP ආණ්ඩුවෙන් ගෙන ආ සංශෝධන සහිත 2025 අංක 14 දරන සංශෝධිත පනත මුලික වශයෙන් රාජ්‍ය ඒකාධිකාරයක් ලෙස පවතින ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම, සහ සැපයුම යන ආකාරයට කොටස් හතරකට වෙන් කිරීම – අන්බන්ඩ්ල් කිරීම යනුවෙන් කෙටියෙන් හඳුන්වන කාර්යය සඳහා වේ.

පූර්විකාව

පනතේ අරමුණු – පනත ගෙන එන්නේ කුමක් සඳහාද, මොනවා අත්පත් කරගන්නද කියන පුර්විකාවේ පැහැදිලිව පවසන්නේ මේ ප්‍රතිසංස්කරණ ගෙන එන්නේ විදුලි කර්මාන්තයට (ව්‍යාපාරයට) අලුත් ආයෝජන ආකර්ෂණය කරගන්න, විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම, සහ සැපයුම යන කාර්යයන් කාර්යක්ෂමව කළමනාකරණය කරමින් වෙළෙඳපල තරඟකාරීත්වය නිර්මාණය කිරීමට බවයි. පුර්විකාව තව දුරටත් පවසන්නේ මිල, මුල්‍ය , ආයෝජන සහ සම්පත් කළමනාකරණය පිලිබඳ පාරදෘශ්‍යය භාවයක් ඇතිකිරීමෙන් සහ වගවීම වැඩි දියුණු කිරීමෙන් කොටස් වෙළෙඳපල හරහාත් රාජ්‍යය-පුද්ගලික හවුල්කාරීත්වය යටතේ සෑම අංශයකටම පෞද්ගලික ආයෝජන ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

තරඟකාරී මිල ගණන් තුලින් පාරිභෝගිකයින්ට තෘප්තිය ලබා දීමටත් මේ පනතෙන් අදහස් කරනවා.

පුනර්ජනනීය විදුලිය මුලික කරගත් විදුලි නිෂ්පාදනය, සම්ප්‍රේෂණය, ගබඩා කිරීම සහ අවසානයේ විදුලිය භාවිතා කරන්නන් අතර ඇති කාර්යක්ෂමතාවය ඇති කිරීම සඳහා පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කරගැනීම හරහා විදුලි බල මණ්ඩලයේ මුල්‍ය ශක්‍යතාවය තහවුරු කිරීම තවත් අරමුණක්.

තරඟකාරීත්වය ඇති කිරීම සඳහා තොග විදුලි වෙළෙඳපලක් නිර්මාණය කිරීම තව අරමුණක්. 2024 පනතට NPP ආණ්ඩුව ගෙන ආ සංශෝධන ඇතුලත් 2025 පනත තුල තොග විදුලි වෙළෙඳ පොළ ජාතික බලශක්ති වෙළෙඳපල ලෙස සංශෝධනය කර ඇත. සංශෝධන පසුව විස්තර කර ඇති විදිහට ජාතික බලශක්ති වෙළෙඳපල තුලට තොග විදුලි වෙළෙඳ පොළ අන්තර්ග්‍රහණය කර ඇති බවකුයි පෙනෙන්නේ. තොග යන වචනය වෙනුවට ජාතික substitute වූ පමණින් වෙළෙඳපල ගුණාංග බැහැර වී නැති බවයි පෙනෙන්නේ.

ඇඟවීම

පුර්විකාවෙන් පුන පුනා කියන්නේ විදුලි බල මණ්ඩලය කොටස් හතරකට කැඩීමේ මුලික අරමුණ වන්නේ පෞද්ගලික අංශයට ආයෝජකයින් ලෙසත් හවුල්කාරයන් ලෙසත් ඉඩ ප්‍රස්තා වැඩි දියුණු කිරීම බවයි. එයින් කියවෙන්නේ නැහැ ජනතාවගේ ශුභසාධනය සඳහා සංවර්ධනය උපරිම කිරීම සඳහා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කෙරෙන බව.

ලංකාවේ තෙල් බෙදා හැරීමේ ඒකාධිකාරය ඛනිජ තෙල් සංස්ථාවෙන් ගලවා IOCට අමතරව සයිනෝපැක්, ෂෙල් සහ ලාෆ්ස් යන සමාඟම් අතර බෙඳා හැරිමේදීත් කියවුනේ මිල තරඟකාරීත්වයක් හරහා පාරිභෝගිකයින් වන අපට තෘප්තිය ගෙන එන බවයි. ඒත් ඛනිජ තෙල් සංස්ථාවේ පෙරමුණු ගැනීමකින් තොරව වෙළෙඳපල සාධක සලකා තෙල් මිල අඩු කිරීමක් ඔය කියන පුද්ගලික සමාඟම් කර නැත.

විදුලි බල මණ්ඩලය රාජ්‍යය ව්‍යවසායක් ලෙස පැවතීම කියන්නේ විදුලි බලය නිෂ්පාදනය සඳහා අවශ්‍යය යටිතල පහසුකම්, නිෂ්පාදනය, බෙදා හැරීම … කියන අංශ තුල ආයෝජන, මිල තීරණය කිරීම, බෙදා හැරීම රාජ්‍යයේ පරිපාලනය හරහා රාජ්‍යය ආයෝජන තුලින් සිදුවෙන බව. රාජ්‍යය කතෘත්වය තුලින් තහවුරු කරන්නේ ලාභය නොව පොදු උපයෝගීතාවය – ජාතික ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා කර්මාන්ත අංශයේ අවශ්‍යයතා මෙන්ම දුප්පත් පෝසත් බාධාවකින් තොරව සියලු වැසියන්ට විදුලිය පරිභෝජනය කිරීමට ඉඩ කඩ සලසිමටයි.

පසු ගියකාලයේ විදුලි බල මණ්ඩලය මහජනතාව සමඟ ගැටෙන ආකාරය තීන්දු කිරීමට IMF ලොජික් එක මැදිහත් වීමත් සමඟ පොදු උපයෝගීතාවය පරයා ලාභය ඉස්මතු වීමක් දක්නට ලැබුනා. IMF නිලධාරියෙක් රාජ්‍යය ව්‍යවසායන් හී අරමුණ ලාභ ලැබීම බව ප්‍රකාශ කිරීමෙන් පෙනෙන්නේ IMF එකට රාජ්‍යය ව්‍යවසායන් පිලිබඳ කිසිම අදහසක් නැති බවයි. විදුලි බල මණ්ඩලය රාජ්‍යය ව්‍යවසයක් ලෙස පවතින්නට අවශ්‍යය බව විශ්වාස කරන NPP ආණ්ඩුවේ හිතවත්තු IMF එකට රාජ්‍යය ව්‍යවසායක් කියන්නේ මොකක්ද කියා තේරුම් කෙරුවාදැයි මම දන්නේ නැහැ.

ජනවරම අපයෝජනය කරමින් විදුලි බල මණ්ඩලය කොටස් කිරීමෙන් පෙනේනේ ඔවුනුත් IMF මතයේ සිටින බව.

පුද්ගලීකරණය වෙනත් නම් වලින්

“මේ පනතේ පුද්ගලීකරණය වෙනවා කියා කොහෙද තියෙන්නේ?” කියලා අහන මිතුරන්ට තියෙන්නේ තවමත් කියෙව්වේ නැත්නම් පනතේ පුර්විකාව කියවන්නයි. පුද්ගලීකරණය කිරීම ඒ නමින්ම එන්නේ නැති බව 1994ට පස්සේ රාජ්‍යය ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීමේ ඉතිහාසය බැලුවාම පෙනෙනවා. මහජන විරෝධය සමනය කරන්නට හංගලා ගහනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන-ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳව සක්‍රීයව කියවන්න පටන් ගත්ත මම සහ මගේ මිතුරු මිතුරියන් දන්නවා කොටස් වෙළෙඳපලට රාජ්‍යය ව්‍යවාසයන් විවෘත කිරීම වගේම රාජ්‍යය-පෞද්ගලික හවුල්කාරීත්වය කියන්නේ පුද්ගලීකරණයට සමාන පද බව. මේවා ඇත්තෙන්ම පුද්ගලිකරණයටත් වඩා නරකයි. මොකද රාජ්‍යය අංශය – ඒ කියන්නේ පොදු ජනයාගේ බදු මුදල් ප්‍රමුඛ රාජ්‍යය ආදායම් පුද්ගලික අංශය පැකිලෙන වියදම් අධික, එහෙමත් නැත්නම් පෞද්ගලික ආයෝජන නිසා පොදු ජනයාට, ආර්ථිකයට සහ පරිසරයට හානිදායක දේවල් වෙද්දී ඒවාට මැදිහත් වෙන්න යොදා ගැනීම වගේ දේවල් සඳහා යෙදවෙද්දී ලාභය, වාසිය පෞද්ගලික ආයෝජකයින් වෙත උරුම වීම.

ඒක හරියට දාඩිය දාගෙන වල් කපලා, වතුර ඇදලා ගැමි කාන්තාවක් පෝෂණය කරන එළදෙනෙගෙන් කිරි සහ ගොම ගන්නේ කඩේ මුදලාලී වීම වගේ දෙයක්.

මේ කාරණේ මගේ මිතුරන් හොදින් දන්නවා.

අනිත් දේ තමයි මේ අපිට අලුත් නම – අන්බන්ඩ්ල් කිරීම. ඒක අපිට අලුත් වුනාට ඉන්දියාවට, දකුණු අප්‍රිකාව වගේ රටවල් වලත් වෙච්ච දෙයක්. ඉන්දියාවේ විදුලිය නිෂ්පාදනය පිළිබඳව වැඩ කරන සමාජ ක්‍රියාධරයෙක් කිව්වේ අන්බඩ්ල් කිරීම කියන්නේ පුද්ගලීකරණයට යන පළමු පියවර බව. මේ පිළිබඳව වැඩි විස්තර ඇතුව ලියන්න බලාපොරොත්තු වෙනවා. පුද්ගලික ආයෝජන හරහා විදුලි නිෂ්පාදනය වැඩි වුනත් විදුලිය බෙදී යාමේදී වැඩි වැඩියෙන් මධ්‍යයම පන්තියේ අවශ්‍යයතාවයන් සඳහා විදුලිය වෙන් වෙනවා. හැබැයි අඩු ආදායම්ලාභී ජනතාවට, ආර්ථික සංවර්ධන අවශ්‍යයතා සඳහා අඩු මිලට විදුලිය ලබා දීමට ඉඩකඩක් නැහැ.

IMF මැදිහත් වීම නිසා – NPP ආණ්ඩුව කාලය තුලත්, විදුලි බල මණ්ඩලය ලාභ ලැබීම සඳහා විදුලි මිල ඉහල දැම්මා. පසුගිය කාලයේ විදුලි මිල ඉහල දැමීම නිසා ගෘහස්ථයන් මිලයනයකට ආසන්න ප්‍රමාණයකට විදුලිය ලබා ගැනීම අහිමි වුනා. රාජ්‍යය ව්‍යවසයක් ලෙස විදුලි බල මණ්ඩලය අත්පත් කරගත් ජයග්‍රහණයක් ආපහු හැරවුණේ එහෙම.

NPP ආණ්ඩුව කාලෙත් ඒ දේ එහෙමම වෙද්දි NPP ආණ්ඩුව මහ ජනතාව වෙනුවෙන් IMF එකට විරුද්ධව කතා කලාද කියා මම දන්නේ නැහැ.

පෙනෙන්නේ IMF වුවමනාවට මහජනතාව NPP ආණ්ඩුවට දුන්න ජනවරම මහජනතාවගේ අවශ්යයතාවයන්ට එරෙහිව අපයෝජනය කරන බව.

(අමාලි වෙදගෙදර ලියූ ෆේස්බුක් සටහනකි.)

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading