සීගිරියට එන සංචාරකයෝ රාත්‍රී කාලයටත් නතර කර ගන්න ප්‍රදේශවාසීන්ගෙන් වැඩපිළිවෙළක් !

සීගිරිය නැරඹීම සඳහා පැමිණන බොහෝ විදේශීය සංචාරකයන් පෙ.ව. 5.30 සිට සීගිරිය නරඹා දහවල් වන විට වෙනත් ස්ථානයකට ගමන් කිරීම සිදු වන හෙයින් එය මග හරවා සීගිරි නගරයේ ම රැය ගත කිරීම සඳහා විදේශිකයන් පොළඹවා ගැනීම සඳහා වන ක්‍රියාවලියක් ප්‍රදේශවාසීන් විසින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව කුඩා කාමර තනා විදේශිකයන්ට ලැගුම් ගැනීමට ලබා දීම, නිවෙස්වල කුස්සියේ පිසින ආහාර විදේශිකයන් වෙත පිළිගැන්වීම, ප්‍රදේශයේ ගොවිපොළවල් ආශ්‍රිත ව වගා කෙරෙන නැවුම් එළවළු පලතුරු භාවිතා කිරීම,  දේශීය ආහාර පාන වර්ග පිළියෙළ කර දීම ආදී කටයුතු මේ ආශ්‍රිතව සිදු වන බව පැවසෙනවා.

කෙසේ නමුත් මෙම ක්‍රියාවලිය සඳහා විදේශීය සංචාරකයන් දැඩි කැමැත්තක් දක්වන බවයි ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

ප්‍රදේශවාසීන් සතුටින් යුතු ව පවසා සිටියයේ, සීගිරිය ආශ්‍රිත රාත්‍රී කාලය මේ වන විට සංචාරක පාරාදීසයක් බවට පත් ව ඇති බවත්, මේ හේතුවෙන් සීගිරිය ප්‍රදේශයේ කුඩා ම සංචාරක නිකේතන හිමියන් සඳහා වැඩි වාසි අත් කර දී ඇති බවත් ය.

මෙය ප්‍රදේශවාසී ත්‍රිරෝද රථ රියදුරන් සඳහා ද බොහෝ ආර්ථික වාසි හිමි කර දෙන බවයි සඳහන් වන්නේ.

සිගිරියට පැමිණෙන බොහෝ විදේශිකයන් සීගිරි නගරය ආශ්‍රිත ව ග්‍රාමීය ජනතාව පවත්වාගෙන යන මෙම රාත්‍රි නවාතැන්වල නැවතී බත්, මුං ඇට, කව්පි,  කඩල,  එළවළු ආදී ආහාර ගෙන විනෝද වන ආකාරය දැක ගත හැකි වනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙනු ලබන්නේ,  විශේෂයෙන්ම තරුණ විදේශීය කණ්ඩායම් සීගිරියේ රැඳී සිටීමට පැමිණ සිටින නිසා ඔවුන් හට ආහාර, නවාතැන් සහ විනෝද වීම සඳහා අවශ්‍ය පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීමට කටයුතු කරන්නේ විශාල සංචාරකයන් ප්‍රමාණයක් මෙසේ සීගිරිය නගරය වෙත රාත්‍රි කාලය සඳහා පැමිණෙනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සතුටු සිතින් අදහස් දැක් වූ විදේශීය රටවලින් පැමිණ සිටි බොහෝ සංචාරකයන් ද සඳහන් කර සිටියේ, තමන් ඇතුළු කණ්ඩායම් නැවත නැවත ලංකාවට පැමිණෙන බවත්, ඒ අතුරින් සීගිරිය ප්‍රධාන වශයෙන් පැමිණීමට බලාපොරොත්තු වන ස්ථානයක් බවත්, වෙනත් රටවලට සාපේක්ෂව සීගිරියේ මෙම අත්දැකීම තමාට විනෝදජනක මතකයක් ලෙස මතකයේ රැඳෙනු ඇති බවත් ය.

මූලාශ්‍රය – අද ‘මව්බිම’ පුවත්පත වෙනුවෙන් දඹුල්ල කේ.කේ. ආරියදාස ලියූ ලිපියකිනි.

Author

Related Posts