මිහින්තලේ යන අයට සුබ ආරංචියක් !

පොසොන් පොහොයට සමගාමීව පමණක් මෙතෙක් කලක් ධාවනය වූ අනුරාධපුර – මිහින්තලේ දුම්රිය  පොහොය දිනවල සහ සති අන්ත දිනවල දී නියමු ව්‍යාපෘතියක් ලෙස ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව අරමුණු කරගනිමිනුයි.

මිහින්තලේ පූජා නගර සංවර්ධන සාකච්ඡාවේ දී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මේ බව සඳහන් කර සිටියා

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ,  මේ ආකාරයෙන් දුම්රිය ධාවනය සාර්ථක වුවහොත් දෛනිකව දුම්රිය ධාවනය සිදු කිරීම පිළිබඳව ද අවධානය යොමු කරන බවයි.

තව ද මිහින්තලේ නගරය පූජා නගරයක් මෙන්ම වාණිජ නගරයක් සඳහා සංවර්ධනය කිරීමට පියවර ගැනීම සඳහා රජය අවධානය යොමු කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියා.

කෙසේ නමුත්, මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්, වප් පුර අටවක පොහොය ගැසට් කරන ලෙස, අවිධිමත් වෙළෙඳසැල් විධිමත් කරන ලෙස හා විශාල පරාසයක විහිදී ඇති මිහින්තලා පුදබිම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ සහ බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිසිය හෝ සිවිල් ආරක්ෂක භටයන් යොදවා දෙන ලෙසට මෙහි දී අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනු ලැබුවා.

මෙම සාකච්ඡාවේ දී මිහිඳු මහා සෑයේ කොත් පැලඳවීම, පොදු පහසුකම් සංවර්ධනය කිරීම ආදී කරුණු කිහිපයක් සම්බන්ධව ද සාකච්ඡා කෙරුණු අතර,  ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම සදහා අදාළ පාර්ශ්වයන් වෙත දැනුම් දෙන බවයි  අනුරාධපුර දිසාපති රංජිත් විමලසූරිය සඳහන් කර සිටියේ.

මේ අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත්, අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රුචිර විතාන යන අය හා සෑම අංශයක්ම නියෝජනය වන පරිදි රාජ්‍ය නිලධාරීන් ද එක් ව සිටියා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading