පාර්ලිමේන්තුව තුළදී මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ අගවිනිසුරුවරයා ඇතුළු අධිකරණයට විවිධ චෝදනා එල්ල වෙමින් පවතින බවත් නීතිඥ සංගමයද පදනම් විරහිත ප්‍රහාරයන්ට ලක්ව ඇති බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.
එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ, යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ජනතාවගේ අයිතිවාසිකම්වලට බරපතළ හානියක් සිදුවන බැවින් ප්‍රතිපත්තිමය පදනමක සිටිමින් එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ බවයි.
මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වුවහොත් ඉන් ප්‍රතිලාභ ලබන පළමු විනිසුරුවරයා වත්මන් අගවිනිසුරුතුමා වන අතර 2026 දෙසැම්බර් පළමුවැනිදායින් අවසන් වන ඔහුගේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා මෙම සංශෝධනය කඩිනමින් ගෙන එන බවට සමාජය තුළ මතයක් ගොඩනැගී ඇති බව ද එහි සඳහන් වේ.
අධිකරණයද මහජන බලය ක්‍රියාත්මක කරන ආයතනයක් බැවින් එය නීත්‍යනුකූල විමර්ශනයට හා වගවීමට යටත් විය යුතු බව සඳහන් කරන නීතිඥ සංගමය, විනිසුරුවරයෙකුට එරෙහිව විශ්වසනීය චෝදනා ඇත්නම් ඒවා ව්‍යවස්ථාමය සහ පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි ඔස්සේ සාධාරණව විමර්ශනය කළ යුතු බව පෙන්වා දෙයි.
එහෙත් තහවුරු නොකළ චෝදනා මත පදනම්ව එල්ල කරන පෞද්ගලික ප්‍රහාර මගින් යුක්ති පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳවැටෙන බව සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
අධිකරණයේ ස්වාධීනත්වය යනු කිසිදු පුද්ගලයෙකු නීත්‍යනුකූල විමර්ශනයෙන් ආරක්ෂා කිරීමට ඇති එකක් නොව, නීතියේ ආධිපත්‍යය හා පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කරන ජනතා ආරක්ෂණයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් පවසයි.
