ක්‍රිෂාන්ති කුමාරස්වාමිගේ ඝාතනයෙන් පසු වසර 29 ක් ගෙවී යන මොහොතේ නැවත වතාවක් යාපනේ අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි චෙම්මනි සමූහ මිනී වළ සම්බන්ධ කතිකාවත කරලියට පැමිණෙන්නේ, පසුගිය පෙබරවාරි 11 දින ආදාහනාගාරයක් සෑදීම සඳහා අත්තිකාරම් වළවල් කැපීමක දී හදිසියේ මතු වූ අස්ථි කොටස් කිහිපයක් සමඟයි.
ඒ අනුව කළ පැමිණිලි අනුව යමින්, යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝග මත කැණීම් කටයුතු ආරම්භ වීමෙන් පසුව අද වන විට එම ප්‍රදේශයෙන් ළදරුවන්ගේ යැයි සැක කළ හැකි අස්ථි කොටස් ද ඇතුළුව සිරුරු 147 ක අස්ථි කොටස් හඳුනාගනු ලැබ ඇති අතර, ඉන් 140 ක් දැනට සම්පූර්ණ වශයෙන් ගොඩ ගෙන තිබෙනවා.
“චෙම්මනි සමූහ මිනී වළ පසුපස සැඟවුණ කතාව කුමක් ද ?” කියන ප්‍රශ්නය සහ වර්තමානයේ සිදු වන විමර්ශන ගැන ක්‍රිෂාන්ති කුමාරස්වාමිගේ ඝාතනයෙන් හෝ චෙම්මනි සමූහ මිනීවලේ මුල් විමර්ශනයෙන් පරිබාහිරව කියවාගැනීම සාර්ථක කියවා ගැනීමක් බවට පත් වන්නේ නැහැ.
විශේෂයෙන් ම චෙම්මනි හරහා නිරායාසයෙන් ම සාකච්චාවට පැමිණෙන උතුරේ හා දකුණේ අතුරුදන් වූවන් සම්බන්ධ කතිකාව, රාජ්‍ය ත්‍රස්තවාදය හා මෙරට සමූහ මිනී වළවල් සම්බන්ධ කතිකාවත ගැන අපිට අමතක කරන්න බැහැ.
චෙම්මනි ප්‍රදේශයේ සිදු කළ සංචාරයකින්, අතුරුදන් වූවන්ගේ පවුල් හා හමුදා නිලධාරීන් සමඟ කළ සාකාච්ඡාවලින් හා ඒ පිළිබඳව අතීත, වර්තමාන කරුණු අන්තර්ගත පිටු දහස් ගණනක මූලාශ්‍ර සහ ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වන තරිඳු ජයවර්ධන, තරිඳු උඩුවරගෙදර හා එම්.එෆ්.එම් ෆසීර් විසින් රචනා කළ ‘චෙම්මනි’ ග්‍රන්ථය එළි දැක්වීම අනිද්දා (14) සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ පිහිටි පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පස්වරු 2.30 ට.
මෙම කෘතිය ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය, චෙම්මනි සමූහ මිනීවලේ මුල් විමර්ශනය, ශ්‍රී ලංකාවේ අතුරුදන්වීම්, චෙම්මනි සමූහ මිනීවලේ වර්තමාන කතාව, ශ්‍රී ලංකාවේ සමූහ මිනීවලවල් ගැනත්, ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂගේ බිරිඳ ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය යනා දී පරිච්ඡේදවලින් සමන්විත වනවා.
මෙම කෘතියට සමගාමීව ශ්‍රී ලංකාවේ අතුරුදන්වීම් සහ සමූහ මිනීවලවල් සම්බන්ධ සාකච්ඡා මණ්ඩපයක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ නීතිඥ රනිතා ඥාණරාජා, බ්‍රිටෝ ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, මාධ්‍යවේදී සකුණ එම්. ගමගේ හා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් යන අයගේ මූලිකත්වයෙන්. සාකච්ඡාව මෙහෙයවීම රුකී ප්‍රනාන්දු විසින් සිදු කිරීමට නියමිතයි.
1996 වර්ෂයේ හා ඒ ආසන්න කාලයේ යාපනයේ සිදු වූ අතුරුදන්වීම් සම්බන්ධ ඉතාම වැදගත් තොරතුරු රැසක් හෙළිදරව් කරන මෙම කෘතිය සිතා මතා යටපත් කරන ඉතිහාසය යළි මතු කරමින් සත්‍යය සොයා යෑමේ ක්‍රියාන්විතය හඳහා මූලාරම්භයක් ගනු ඇති බව අපි විශ්වාස කරනවා.
ඒ නිසා අගෝස්තු 14 ඔබගේ පැමිණීම අපි අපේක්ෂා කරනවා. එදිනට ඔබටත් අසුනක් වෙන් වෙලා තියෙනවා. නියමිත වේලාවට ඇවිත් අසුන් ගන්න ඔබට පුළුවන්.

