හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු දිවයින පුවත්පතට ලියූ ලිපියකි
කළු – ජූලිය සිහිගන්වන 1983 ජූලි 23 දිනට, සහේතුක අතීතයක්, නිර්මිත වර්තමානයක් ඇත. ඒවායින් පැනනැඟුනු, මුහුණ දියයුතු අනාගතයක් ද ඇත. කාලීනව ඊට වගකිවයුත්තන් ද අතීතයේත්, වර්තමානයේත් අතීරණාත්මක ලෙස පෙනුණ ද, අනාගතය තීරණාත්මක වීමේ ආධ්‍යාශයෙන් මෙම ලිපිය ලියැවේ.
පෞද්ගලික අත්දැකීම
එදා උදේ දෙකට පමණ බොරැල්ලේ පදිංචිව සිටි මගේ ඥාතියකු මා අවදි කළේ ඔහු නිවැසි පෙදෙසේ දමිළ නිවාස හා කඩ සාප්පුවලට පිරිස් පහර දෙන බව පවසමිනි. පෙර දින බොරැල්ල කනත්තේ සිදුවූ දේ විස්තරාත්මකව නොදත් මට, ඔහුගේ දැනුම්දීමෙහි බරපතළකමක් එවෙලේ සිතට කා නොවැදුනි. පහන් වූ විට ඥාතියා පැවසූ තත්ත්වය අප පදිංචිව සිටි කිරිල්ලපනටද පැතිරී තිබුණි.
වැල්ලවත්ත – කිරිල්ලපන මාර්ගයේ කෙළවර පිහිටි මහල් නිවාසයේ, බිම්මහලේ පිහිටි නිවසක එකල මම ජීවත් වූයෙමි. එහි පදිංචිව සිටි එකම සිංහලයින් අපි වූයෙමු. පොලිස් අධිකාරි ගෆුර් එකම මුසල්මානුවා විය. අන් සැම දමිළ විය. එහෙයින්ම ඒ තට්ටු නිවාසය ‘ටැමිල් ෆ්ලැට්ස්’ ලෙසින් හැඳුන්වුණි. මගේ ඥාතියා මා අවදි කිරීම එයින් පැහැදිලි වේ.
මා ලද තොරතුර දමිළ පවුල්වලට ද අනිවාර්යයෙන්ම ලැබී ඇති බව වැටහුනේ වෙනදා උදේ පාන්දරින් අපට මුණගැසෙන කිසිවකු, එදා උදේ මුණනොගැසුණු හෙයිනි. ඔවුන් කොතැනකට ගොස් ඇත්දැයි නිච්චියක් නොවීය. ජීවිතය හා යම් දේපොළක් බේරා ගැනීමට ඔවුන් නිවෙස්වලින් බැහැරවීම ගැන පුදුමයක් මට නැත.
අතීත පුරාණය
ජූලි කලබලවලට බලපෑ අතීතයක් කොතරම් ඈතට දිවයන්නේ ද යත් අපේ දිවයිනේ මුල්ම පදිංචිකරුවන් දමිළ සම්භවයෙන් පැවතෙතයි පවසන දමිළ විචාරකයෝ සිටිති. එය මිථ්‍යාවක් යැයි පවසන සිංහල පිරිසක් ද ඇත, ඒ චින්තනයට පාදකව ඇත්තේ වාර්ගික කතිකාවතක්ය.
ඈත අතීතයේ සිට දකුණු ඉන්දීය ආක්‍රමණවලට අප ලක්වී ඇත. ඒ නිසාම සිංහලයින්ට, ඔවුන්ගේ අනන්‍යතාවයට, සාහිත්‍යයට, ආගමට, වටිනා නිර්මාණයන්ට වූ විනාශය ඉතිහාසගතව තිබීමත්, ඒ සියලු විනාශයන් දමිළයන් අතින්ම නොසිදු වූවත්, එහි වගකීම ඉතිහාස ආඛ්‍යානයේ දමිළ වාර්ගිකත්වයට ඈඳා තිබීම නිසාත්, දමිළ විරෝධිත්වයක් සිංහල මනසේ පැලපදියම් වුණි.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී, විශේෂයෙන්ම කඳුරට කෝපි වගාවට වූ ශ්‍රම හිඟය ජයගැනීමට දකුණු ඉන්දීය කම්කරුවන් දහස් සංඛ්‍යාතයෙන් ආගමනය වී, ඒ සමගම කඳුකරයේ ජන අනුපාත වෙනස්වී, අනතුරුව ගැමි ඉඩම් කොල්ලයක් ද සිදුවිය. ඒ පසුබිමේම, අනවසරයෙන් කල්ලතෝනි අනීතික ආගමනයේ විරෝධයටත් පාත්‍ර වූයේ මේ සැමට පොදු දමිළ වාර්ගික සංඥා නාමයයි. පසුකලක එම සංඛ්‍යා දමිළ බල ධ්‍රැවීකරණයට දේශීය දමිළ දේශපාලනඥයින් යොදා ගැනීමත්, දමිළ ප්‍රතිවිරෝධයක් සිංහල ජනතාව තුළ ඇති කළේය.
බෙදා වෙන්කර පාලනයට රුචි බ්‍රිතාන්‍යයන් දමිළ ජනතාවට සිංහලයන්ට වඩා උණුසුම් ප්‍රතිචාර දක්වතැයි හැඟීම ද සිංහලයින් තුළ තිබුණි. ඒ සමගින්ම ජාතිකත්ව මෝදුවක් මගින් සිංහල රාජ්‍ය භාෂා නීතිගත වීමත්, ඊට දමිළ දේශපාලනඥයින් දැක්වූ ප්‍රතිචාර හා ඊට අදාළව ශාරීරික හා දේපොළ හිංසනය වීමත්, දෙපාර්ශවය නැවත එක් කිරීමට අපහසුව, සිංහල – දමිළ වාර්ගික ධ්‍රැවීකරණයකින් අවසන් විය.
මෑත කාලීන පුරාණය
මධ්‍යස්ථ මතධාරි දමිළ දේශපාලනඥයින් ව්‍යවස්ථාමය හා නෛතික පිලියම් මගින් ගැටලු නිරාකරණයට උත්සාහ කිරීම් විශේෂයෙන්ම එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක හා ඩඩ්ලි සේනානායක අගමැතිතුමන්ගේ පාලන සමයන්හිදී තැත්කළ ද, මාක්ස්වාදීන් හැර, විශේෂයෙන්ම සිංහල-දමිළ වාර්ගික ධ්‍රැවීකරණයෙන් මත් වූ දේශපාලනඥයින් පල නෙලාගැනීමට තැත් කිරීමෙන්, ඒ උත්සාහයන් ව්‍යවර්ත විය.
මේ ප්‍රතිචාරයන්, දෙටු දමිළ දේශපාලන නායකත්වයේ අසාර්ථකත්වය ලෙස සැලකු, නොඉවසිලිමත් වූ, ද්‍රවිඩ තරුණ කණ්ඩායම් වෙනස් මඟකින් දමිළ ජනතා අයිතීන් දිනා ගැනීමට තැත් කළහ. ඔවුහු පවත්නා ව්‍යවස්ථාමය පහසුකම්, නීත්‍යානුකූල ප්‍රවේශයන්, සාමකාමී සහජීවනය වෙනුවට වෙනත් ස්වරාජ්‍යයක් දිනා ගැනීමට සැලසුම් කළහ. ජනතාව මෙහෙය වූහ. හැත්තෑ ගණන් අගදී කණ්ඩායම් කිහිපයක් ඊට නැඹුරුව සිටියද, අවසානයේදී එල්ටීටීඊය බලවතා බවට පත්විය. ඔවුන්ගේ ඉල්ලීම් දීමට, ඒකීයරාජ්‍යයක් ව්‍යවස්ථානුකූල ලෙස සපථ කරන්නට රජයන් සූදානම් නොවීය
යුද පුරාණය
යුද ගැටුමකදී සැමවිටම සාධාරණය, නීත්‍යානුකූලත්වය, හැදියාව ලොව කිසිම තැනක දක්නට නොලැබේ. අහිංසකයින් මරා දැමීම, කෘරත්වයට පත්කිරීම, දේපොළ විනාශය, නීතියේ නිහඬතාවය, සටන්වලට අන්තර්ජාතික සහාය ප්‍රාර්ථනය හා ලබාගැනීම, ඒ සමගම සමහරවිට ඔවුන්ගේ විවේචනයට හා අන් බලපෑම්වලට ඍජුව හා වක්‍රව නතුවීම මෙහිදී ද සිදුවිය. කළු-ජූලිය කළ හැරවුම් ලක්ෂය විනාශකාරී වූයේ එලෙසය. මෙය කිසිම අන්දමකින් එකී ක්‍රියා සාධාරණීයකරණයක් නොවේ.
ත්‍රස්තවාදී කණ්ඩායම්වල අවශ්‍යතා ඉටුකර ගැනීමට, සම්පත් සොයා ගැනීමට, ඔවුන් නොයෙක් හානිකර ක්‍රියාවල යෙදුනු අතර, ඔවුන්ට තර්ජනයක් වූ ඕනෑම පුද්ගලයෙකු හෝ සංවිධානයක් විනාශ කිරීමට ඔවුහු පසුබට නොවූහ. ඔවුන්ගේ නියෝජිතයෝ, විදේශවලදී අතෘප්තව සිටි සරණාගතයන්ගෙන් මුදල් එකතු කළ අතර එහිදී දූෂණයන් හා අපරාධයන් ද සිදුවිය. දමිළ අන්තර් ත්‍රස්ත කණ්ඩායම් ගැටුම් අධික විය. රජයේ හමුදා සමග ද ඔවුහු නොනවත්වාම සටනෙහි යෙදුනහ. සාම ක්‍රියාමාර්ග සඳහා දේශීය හා විදේශීය මැදිහත්වීම් ඔවුන් අත්හැරියේ ඒ අභ්‍යාස ගැන කිසිම තැකීමක් නොමැතිවය. ඔවුන්ට එරෙහිවීම මරණයට අතවැනීමක් වන බවට ඔවුන් වගබලා ගත් අතර, එමගින් සම්ප්‍රදායික දමිළ හා සිංහල දේශපාලන නායකත්වයන් මෙන්ම නිලධාරීහු ද මරණයෙන් වන්දි ගෙවූහ.
ධ්‍රැවීකරණය වීම වඩාත් තීව්‍ර වූයේ ත්‍රස්තවාදීන් උතුරු නැඟෙනහිර දිස්ත්‍රික් මායිම් අසල වූ සිංහල ගම්මානවලට අමානුෂිකව ප්‍රහාර දියත් කළ හෙයිනි. එමෙන්ම ගම්වලින් පැවත ආ හමුදා නිලයන්ගේ මෘතදේහයන් ගම්වලට යෑමෙන් තවදුරටත් වෛරීශීලීත්වය වඩා පුළුල් විය. එය සාමයට බාධාවක් විය.
පශ්චාත් කළු – ජූලි පුරාණය
කළු ජූලිය හමුදා නිලධාරීන් මරා දැමීමට ලඝු කළ නොහැකි වන්නේ පෙර කී පරිදි දෙපාර්ශවයම වාර්ගික ධ්‍රැවීකරණයකට හා වාර්ගික වෛරීශීලීත්වයකට මෙහෙයවී තිබුණු හෙයිනි. එමෙන්ම දමිළ ජනයාට සිදුවූ ප්‍රහාර පිටිපස යම් දේශපාලන හස්තයන් ක්‍රියා කළ බවට ඇති විවේචන ඉවත දැමීම ද අපහසුය.
පශ්චාත් කළු-ජූලි වර්තමානය මේ පසුබිමින් බිහිවේ.
කළු-ජූලිය, මෑත ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු වාර්ගික හෝ ආගමික ගැටුම නොවුනි. 20 සියවසේ සිංහල මුස්ලිම් කෝලාහල, සිංහල රාජ්‍ය භාෂාව කළ පසු දමිළ දේශපාලන පක්ෂ හා දේශපාලනඥයින් ඊට එරෙහිව දැක්වූ ප්‍රතිචාරයත්, එනිසාම රජයක් ගත් පියවරක් නිසා සිදුවූ ජීවිත හා දේපොළ හානිත්, අනතුරුව කිහිප විටක්ම වාර්ගිකව හා මැතිවරණ පසුබිමේ සිදුවූ ගැටුමුත් අපට හුරු පුරුදු ඉතිහාසය විය.
කෙසේ වුවද, අමතක නොකළ හැකි ප්‍රතිචාර විශේෂයෙන්ම සිංහල ජනතාව කළු-ජූලියෙදී දැක්වූ බව නොපවසාම බැරිය. මට පෞද්ගලික වූ සිද්ධීන් දෙකක් සටහන් කරමි. එකක්, සිය සහෝදර දමිළ නිලධාරිනියක් කාර්යාලයේ සිට ඇයගේ නිවසට කැටුව ගියවිට, නිවස ගිනිදැල් වෙමින් තිබුණු හෙයින්, තම දරුවන් පාසලෙන් තම නිවසට කැඳවා යෑම සඳහා, නිලධාරිනි හෝ තමුන් කිසිවකු නොදන්නා, මගේ නිවස ක්ෂේම භූමියක් ලෙස සලකා භාරදීමත්, මා එය නොපිරිහෙලා ඉටු කිරීමත්ය.
දෙවැන්න, මගේ සමුපකාර දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරවරයා, නිතරම ඔහුගේ සැකයට භාජනය වූ, පාතාලයකු ලෙස ඔහු සැලකූ අසල්වැසියා විසින්ම, තම නිවසට ප්‍රහාර එල්ලවූ අවස්ථාවේ පිළිසරණ ලැබීමයි.
කළු-ජූලියෙන් විසිපස් වසරකට පසු මවිසින් රචිත, මාධ්‍යයේ පළවූ Pricking the conscience on reminiscences of ‘Black July’ නම් රචනයේ මේ ගැන විස්තරාත්මකව පැහැදිලි කළෙමි. මා මෙන්ම දමිළයන්ට කළු-ජූලියේදී මානව දයාව පළ කළ, පෙරකී පාතාලයා ඇතුළු, තවත් දහස් ගණනක් සිටිති. එහෙත්, රජය පියවර ගැනීමේ ප්‍රමාද වූ බවට චෝදනා ඇති අතර එය ද ධ්‍රැවීකරණයේ ප්‍රතිඵලයක් ලෙස සලකමි.
කළු-ජූලියෙන් මීට වඩා සමාජමය, දේශපාලනිකව ප්‍රශ්න රැසක් වර්තමානය දක්වාම ඉස්මතු විය. ඒවා දිගුකල් ප්‍රචලිතව, පෙරකී ගැටුම් අවස්ථාවලට වඩා ජාතික හා අන්තර්ජාතික අවධානය යොමුවීම නිසා, විදේශාධාර, විදේශ ආයෝජන ආදියට බාධක ඇති කළේය. ශ්‍රී ලාංකිකමය පුරවැසි කොටසක්, දමිළ ඩයස්පෝරාව ලෙස විදේශීයව සංවිධානය වී, රජයට හා රාජ්‍යයට එරෙහි ප්‍රතිචාර දැක්වීමත්, වේගයෙන් දියුණු වූ සන්නිවේදන මාධ්‍යයන් රජය එළිපිටම විවේචනයත්, අන්තර්ජාතික බහුපාර්ශවීය හා ද්ව්පාර්ශවික රාජ්‍යයන් පවා ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියේම විවේචනයත්, ඉන්දියාව ඍජුවම අප රජයට එරෙහි වූ දමිළ කණ්ඩායම්වලට යුදමය සහාය දැක්වීමත්, සරල සිද්ධීන් නොවීය. එහෙයින්ම කළු ජූලිය ශ්‍රී ලංකා මානුෂිකත්වයේත්, දේශපාලනයේත්, අන්තර්ජාතිකයේත්, හැම සම්බන්ධතාවයකම හැරවුම් ලක්ෂයක් විය.
ප්‍රධානම ප්‍රතිචාරය වූයේ රට හැර දමා දමිළ ජනයා පිටව යෑමය. එය විවිධ අන්දමින් විග්‍රහ කළ හැකිය. මුලින්ම තිත්ත මතක රැගෙන ඔවුන් පිටව යෑමය. කොටසක් විදේශීය වැදගත් රැකියා ලබාගත හැකි සුදුසුකම් ඇති හෝ අප හැරගිය පසු සුදුසුකම් ලබාගැනීමට හැකියාවන් ඇති අයවලුන් වීමය. ඉන් දේශීයව මානව සම්පත් ඌනතාවක් ඇති විය. සමහරුන්ට වාසිය වූයේ ඥාති මිත්‍රාදීන් විදේශිකව සිටීමය.
බැහැරවීමෙන් ලද වාසියක් වූයේ ඔවුන්ගේ ව්‍යාප්ත පවුල්වලට විදේශ විනිමයෙන් ආධාර ලැබීමය.
දෙවනුව, එසේ ශක්ති සම්පන්න නොවූ බොහෝදෙනා පහසුම ක්ෂේම භූමිය වූ දකුණු ඉන්දියාවට පලා ගියහ. විශේෂයෙන්ම තමිල්නාඩුවට පලාගිය පුද්ගලයින් රැකබලා ගැනීමට, ඔවුන් වෙනුවෙන් ප්‍රාන්ත රජයට හා මධ්‍යම රජයට කරුණු දැක්වීමට හැකි, සහෝදරත්වයක් දැක් වූ, දමිළම පිරිසක් එහි සිටියහ.
එමගින් අවතැන් වූ සරණාගතයින් පිළිබඳ ඉන්දීය මධ්‍ය රජයේ චින්තන, ප්‍රතිපත්ති, උපාය මාර්ග ආදියට ඔවුන්ගෙන් යම් බලපෑමක් සිදුවිය.
තෙවනුව, බටහිරට පලාගිය අය දමිළයන් ලෙස සන්ධානගතව, එරට රජයන්ට ශ්‍රී ලංකාවට ආධාර සැපයීමටත්, ඒ ආධාර දමිළ ජන බහුල ප්‍රදේශවලට ලබාදීමටත්, සබඳකම් තිබුණු විදේශීය නිලයන්ගේ ආධාර ලබාගත්හ. ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණ ජාතික කමිටුවේ ප්‍රධාන විධායක ලෙස, 1987න් පසු සමයේ පෞද්ගලිකව මා උගත් පාඩමක් වූයේ, විදේශ නිලධාරීන් මේ රටට පා තබන විටම ආධාර බෙදී යායුතු අන්දම, ස්ථාන, ප්‍රමාණයන් ආදිය කලින් තීරණය කර පැමිණි බවය. ඒ, විදේශවල අප තානාපතිවරුන්ගෙන් ලද තොරතුරු අනුව නොව, ඩයස්පෝරාව සමගින් ලබාගත් නියෝජන මතය.
සිව්වැනි වැදගත් කරුණ වනුයේ ජිනීවාහිදී වසරකට දෙවරක් ඇතිවන උණුසුමයි. උදාහරණයකට, මේ දිනවල චෙම්මිනි මිනීවළ, ඉඩම් නිදහස් කිරීම වැනි කරුණු මත කොළඹදී සිදුවන ඝෝෂා, ලබන සැප්තැම්බරයේ ජිනීවාහි ආමන්ත්‍රණයට පෙරහුරුය; අනුපානුය. මාගේ රාජ්‍ය සේවා කාලයේදී රාජකාරිමව ඇසුරු කළ දමිළ ඩයස්පෝරාව, මෙවන් දේ පිළිබඳව තවමත් මහත් බලපෑමක් කරයි. ජූලි කලබල මෙම තත්ත්වයට අත්තිවාරමක් දැමීය.
කළු – ජූලිය දෙස තුන්කල් දැක්ම
කළු-ජූලිය ඇති කළ දමිළ ආකල්පමය වෙනස්කම්, සරණාගතවූ තුන්වන පරම්පරාව වනවිට වෙනස් වනු ඇතැයි සිතිවිල්ලක් සමහරුන් තුළ ඇත. 1983න් පසු විදේශගත දමිළ තරුණයකුවූ ලෝරන්ස් වැලින් විසින්, අගට් ෆිල්ම්ස් මගින්, 2024 අප්‍රේල්වලදී, පැරිසියේ නිෂ්පාදනය කළ,‘Little Jaffna’ චිත්‍රපටය, තුන්වන පරම්පරාව දමිළ වාර්ගික පසුබිමට දක්වන සබැඳියාව හා එල්ටීටීඊය බලවත් අවදියේ සිදුවූ දෑ (උදා: මුදල් එකතු කිරීම, අපරාධවල නියැලීම, මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ආදිය) වත්මන් දමිළ කණ්ඩායම් අතර සිදුවන අන්දමත්, මානසික අනන්‍යතා ගැටලුත් පෙන්වයි. එය දමිළ දැක්ම ගැන මනා උපදේශයකි.
කෙදිනක හෝ විදේශගත වුවන් සමග සම්බන්ධතා ‘Little Jaffna’හි සිටින අන්දමේ කණ්ඩායම් සමග කළයුතු වන හෙයින් ඔවුන්ගේ සිතැඟි හැඳින ගැනීම වැදගත්ය. විදේශ විනිමය ලැබීම පමණක් නොව විදේශවල සිට මත්ද්‍රව්‍ය, කප්පම් හා අන් මාර්ගවලින් මුදල් ගරන පාර්ශවයන් සමනය නොවීම එතරම් සුබදායක නොවන බවට අලුතින් සාක්ෂි සෙවීම අනවශ්‍යය.
දෙවනුව, ඉන්දියාවට පලා ගියවුන් දිගටම බලපෑම් කරන අතර, එය දේශීය දමිළ දේශපාලනඥයින්ට මෙන්ම දකුණු ඉන්දීය (තමිල්නාඩු) දේශපාලනඥයන්ට ද වැදගත්ය. තමිල්නාඩුවේ තම සවිය ස්ථාපිත කළ නොහැකිවුණු භාරතීය ජනතා පක්ෂය, අනාගතයේදීත් එම බලපෑම් නතර නොකරනු ඇති හෙයින් රජය එය හසුරුවන අන්දම විමසිය යුතුය.
තෙවනුව, බටහිරට පලාගිය දමිළ කණ්ඩායම් පසුගිය මැතිවරණ ව්‍යාපාරයන්හිදී ඔවුන්ගේ මූලධනය ශ්‍රී ලංකාවේ ආයෝජනය ගැන සාධනීය මත ප්‍රකාශ කළහ. එය සිදුවීමක් ප්‍රසිද්ධියේ දක්නට නැත.
අනික් අතට දේශපාලනික වශයෙන් අපට හානිකර ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ද ඔවුන් උත්සාහ කරනු ඇති හෙයින් ඒ පිළිබඳව සිත් යොමු කළ යුතුය. එහෙත්, එය අනිවාර්යෙන්ම සිදුවන්නේ තුන්වැනි සරණාගත පරම්පරාව සමග වියයුතු හෙයින් අප රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට එහිදී සන්ධානය වූ දමිළ කණ්ඩායම් සමග මිත්‍රශීලී සන්නිවේදනය පැහැදිලි අවශ්‍යතාවකි. ඒ සඳහා ඩයස්පෝරා කණ්ඩායම් සමග සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම අවශ්‍ය වේ.
සිව්වැනි වැදගත් කරුණ වනුයේ ජිනීවාහිදී රජය මුහුණපාන සංසිද්ධීන්ය. රජයත්, ජනාධිපති මාධ්‍ය ඒකකයත් අපට පෙන්වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකත්, අන් නිලධාරීනුත් මානව හිමිකම් මහකොමසාරිස් වෝකර් ටර්ක් සමගින් ඉතා සාර්ථක සන්නිවේදනයක් වූ බවයි. වීරකේසරී වාර්තා කළ අන්දමට, ග්‍රීසියේ, ස්කියතෝස්හි පැවැත්වූ ‘27th Symi Symposium 2025’ දී ටර්ක් මහකොමසාරිස්වරයා අවධාරණය කළේ ගැටුම් විසඳීමේදී මානව අයිතීන්, වගවීම හා සාම සාධනය හදවතේ මුල්බැස තිබිය යුතු බවයි. ශ්‍රී ලංකා සංචාරය ඇතුළු මෑතදී ඔහුගේ සංචාර වෙත අවධාරණය කරමින්, ඔහු දරුණු අපරාධවලට වගවීම, අතුරුදන් වූවන්ගේ පවුල්වලට යුක්තිය හා සත්‍ය පැවසීම ගැන සඳහන් කර තිබුණි. ඔහුගේ පණිවිඩය ගැන ජනාධිපතිවරයාට හා විදේශ ඇමැතිවරයාට සිහිපත් කිරීම අනවශ්‍යය.
කාලීන සංහිඳියා ගැටලු
කළු ජූලි දිනවල ආන්දෝලාත්මක නොවූ, එහෙත් අද පැවතෙන ගැටලු ලෙස චෙම්මිනි මිනීවළ හා ඉඩම් නිදහස් කිරීම වැනි කරුණු මත කොළඹදී සිදුවන ඝෝෂා දක්වත හැකිය. ඒවා, ලබන සැප්තැම්බරයේ ජිනීවාහි ආමන්ත්‍රණයට අනුපානු වන හෙයින් හා ටර්ක් මහකොමසාරිස්වරයා ජිනීවා රැස්වීමේදී කුමක් ප්‍රකාශ කරතැයි ග්‍රීසියේ ප්‍රකාශ අනුව උපගමනය කළ හැකි හෙයින්, දැන්ම සිට ප්‍රතිචාරයට සූදානම් වීම සුදුසුය. උදාහරණයකට, ආංශික වශයෙන් ඉඩම් ප්‍රතිපත්තියක් 13 ව්‍යවස්ථා සශෝධනයේ දෙවන පරිශිෂ්ටය පරිදි සකස් කිරීමෙන් විශේෂ පියවර ගැනීමෙන්, පෙර රජයන් ඒ පියවර ගැනීමට දැක්වූ මැලිකම නිවැරදි ද කරගත හැකිය. 13 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද අර්ධ වශයෙන් හෝ සාධනීය පියවරක් වනු ඇත.
හමුදා නිලධාරීන් ද මරා වළ දමා ඇතැයි සැකයක් ජාතිකවාදීහු ඉදිරිපත් කරති. එය ද අනිවාර්යයෙන්ම විමර්ශනය කළ යුතුය. නැඟෙනහිර පොලිස් නිලධාරීන් 1990 දී මරාදැමූ අවස්ථාවේ රුෆස්කුලම් වනයේ වළ දැමුවේ යැයි එක්තරා පරීක්ෂණයක පැවසුනැයි දනුමක් ද අදහසක් ද ඇත. එහෙයින් විමර්ශන නතර කිරීම නොමැනවි. ත්‍රස්තවාදීන් දසසිල් රකින්නන් නොවන නිසා අනිවාර්යයෙන්ම එය විමර්ශනය කළ යුතුය.
හමුදාවල වුවද අපරාධවලට සම්බන්ධිත වූ නිලධාරීන් ඇත්තේ ඉතාමත්ම සුළු සංඛ්‍යාවකි. ඔවුන් පොදුවේ අපරාධකරුවන් ලෙස සැලකෙන්නන් විමර්ශනවලින් තීරණයකට එළඹීමට ඉඩක් නොමැති හෙයිනි. එය බහුතර රණවිරු සංඛ්‍යාවකට කෙරෙන අසාධාරණයක් ද වේ.
තිනුකුරල් අනුව මන්ත්‍රී ගජන් පොන්නම්බලම්, දේශීය විමර්ශන කෙරෙහි අවිශ්වාසයෙන් චෙම්මිනි සඳහා ඉල්ලා සිටින්නේ අන්තර්ජාතික පරීක්ෂණයකි. රජය කෙරෙහි ජනතා හා විදේශිකයන් මහා විශ්වාසය තබා ඇති බවට ස්වයං-ඇගයීම් කරන විටක, මෙවැනි ඉල්ලීම්, විශේෂයෙන්ම ජිනීවාවේදී ලොවට ඉදිරිපත් කිරීම හෝ නොවීමට බලපාන්නේ ටර්ක් මහකොමසාරිස්වරයාට ඉදිරිපත් වන කරුණුය.
තමිලන් පුවත් මීට වඩා විශ්ලේෂණාත්මක කරුණු දැක්වීමක් කොක්කුතුඩුවායිහි හමු වූ මිනිස් අස්ථි 52ක් ගැන කරුණු දක්වයි. ඉන් බොහොමයක් තරුණ අයගේ යයි ද, හඳුනාගත් අය 31ද කාන්තාවන් ද, 21 පිරිමින් ද වේ. ඔවුන් වයස අවුරුදු 13-30 දක්වා වේ. විශ්ලේෂණ අනුව 32ක් පිපිරුම් මගින් ද, 7 දෙනෙක් වෙඩි පහරින් ද, 12 දෙනෙක් දෙවිධියෙන් ද මියගොස් ද ඇත. විමර්ශනය කර ඇත්තේ මහාචාර්ය රාජ් සෝමදේවයි. මෙවන් තොරතුරු අන්තර්ජාතිකයන්ට රස මසවුලකි!
සමාප්තිය
කළු-ජූලිය පමණක්ම නොවුවද, අපගේ ජාතික ප්‍රශ්නයට එය සක්‍රීය දායකත්වයක් ඉටුකර ඇත. එය සංහිඳියා ප්‍රතිකර්මයන්ට අත වනයි. එය පහසු කාර්යක් ද නොවේ. සංහඳියාවේ මූලික අංගයන් වන සත්‍ය ගවේෂණය, යුක්ති ගවේෂණය, හානි පූර්ණය හා නැවත සිදුවීම වැළැක්වීම යන කරුණු සියල්ලම මානව හිම්කම් බලධාරීන්ගේ අන්වීක්ෂයට හසුව ඇත.
අවශ්‍යව ඇත්තේ එකී කාර්යයන්හි නිර්භයව යෙදීමයි. ඒ සඳහා නව රජයට භාර කාර්යයන් තුනක් මට පෙනේ. මුලින්ම සංහිඳියාව අවශ්‍ය බව දැඩිව වටහාගත යුතුය. එහිදී අගතීන්ගෙන් විනිර්මුක්ත විය. යුතුය. දෙවනුව කළ යුත්තේ ගත යුතු පියවර ගැන කැපවීමක් ඇතිකර ගැනීමයි. එය අදාළ සෑම පාර්ශ්වයකම සිදුවිය යුතුය. තෙවනුව, වෙනස් ආකල්ප ක්‍රියාත්මකයට දේශපාලනික හා පෞද්ගලික පුනරුත්ථාපනයක් සිදුවිය යුතුය. පැරණි මලු කරේ තබා ගැනීමෙන් ඉවත්විය යුතුය. එය සාර්ථක වුවහොත්, කළු ජූලියෙන් වූ විනාශය යහමඟට හරවා ගැනීමට රජය කටයුතු කළ ඓතිහාසික වෘද්ධියක් වනු ඇත.
