දයාපාල තිරණාගම
අද ජුලි 14 වැනි දින බැස්ටිල දිනය අනුස්මරණය කරන්නේ මෙයට වසර 236 කට පෙර අද වැනි දිනක ප්‍රංශ ජනතාව විසින් බැස්ටිල හිර ගෙදර ට බලහත්කාරයෙන් කඩා වැදී එය අල්වා ගෙන ප්‍රංශ මහා විප්ලවයට මුල පිරීමයි. මෙය පැරිසියේ ජනතාවට කැරැල්ල දියත් කරමින් නැගී සිටි දිනයක් විය.
ප්‍රංශය මහා ආර්ථික අර්බුදයකට මුහුණ පාමින් බංකොලොත් බවේ දොරකඩට පැමිණ සිටියා ය. එමෙන්ම කෘෂිකාර්මික අස්වැන්න අඩුවීම, නියඟය, ගව රෝගය ආර්ථිකයට දැඩි බල පෑමක් කරමින් තිබුණි. පාන් මිල අහස උසට නගිමින් තිබුණි. මේ සාධකයන් ගොවීන් සහ නාගරික දුප්පතුන් අතර අසහනකාරී තත්වයක් වර්ධනය වෙමින් පැවතුණි. රජයට එරෙහිව තම අතෘප්තිය සහ අසහනය ඔවුන් ප්‍රකාශ කලේ අධික ලෙස බදු ගෙවීමට සිදු වූ බැවිනි. නමුත් කිසිම සහනයක් දීමට ආණ්ඩුව අපොහොසත් විය. ධනපති සහ වංශ කාර කොටස් සුඛෝපභෝගී ජිවිත ග කරමින් සිටියහ. බැස්ටිලයට කඩ වැදීමට ජනතාව පෙලඹුණේ එවැනි ආර්ථික සහ සමාජීය තත්වයක් යටතේය.
ජනතාවගේ නැගී සිටීම සමානත්වය,නිදහස සහ සහෝදරත්වය පිලිබඳ සිහිනය සාක්ෂාත් කර ගැනීම මත පදනම් විය.
බැස්ටිලයට කඩා වදින විට එහි සිටියේ සිරකරුවන් 7 ක් පමණක් වුව ද එය ආඥාදායකත්වයේ සංකේතයක් විය. ජනතාව කඩා වැදී ආයුධ ඉල්ලා සිටියහ. ආයුධ කැරලි කරුවන් අතට පත් කිරීම බන්ධනාගාර අධිකාරිවරයා ප්‍රතික්ෂේප කරනු ලැබිය. ජනතාව ඔහු අල්ලා මර දමන ලදී. එසේම අනෙක් නිලධාරීන්ට ද අත් වුයේ එම ඉරණමයි.
බැස්ටිලයට කඩ වැදීම 9 වැනි සියවසේ සිට පැවති ප්‍රංශ රාජාණ්ඩු ක්‍රමය අහෝසි කල පමණක් නොව එයට පසු ජනතා විප්ලවීය වුවමණාවන් ඉදිරියට ගෙන යාමේ ඉඩ ප්‍රස්තාවන් විවර කරනු ලැබිණ. 1972 දී රාජාණ්ඩු ක්‍රමය අහෝසි කරනු ලැබිණ. 1793 දී 16 වැනි ලුවී රජු සහ ඔහුගේ බිරිඳ මාරි ඇන්ටෝනෙට් ගිලටීනයට දක්කා ජනතා ද්‍රෝහී පාලකයන් ලෙස මරා දමන ලදී. එමෙන්ම ප්‍රංශයේ පළමු වැනි ජන රජය පිහිටවනු ලැබිණ. මිනිසාගේ සහ රටවැසියාගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශය පිලි ගනු ලැබිණි.
ප්‍රංශ ජනතාවගේ නැගී සිටීම කොතරම් දේශපාලන වශයෙන් තීරණාත්මක වුවාදැයි කිවහොත් මාක්ස් සහ එංගල්ස් පසු කාලිනව 1789 පමණක් නොව පසු කාලින 19 වැනි සිය වසේ ප්‍රංශ දේශපාලන සටන් පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වුහ. එංගල්ස් 1895 දී මාක්ස් ගේ 18 වැනි බ්රුම්රයේ ජර්මානු මුද්‍රණයට පෙර වදනක් සපයමින් මෙසේ ලියයි.
“නමුත් මේ සඳහා ප්‍රංශ ඉතිහාසය පිළිබඳව මාක්ස් ට අතිමහත් දැනුමක් අවශ්‍ය විය. වෙන කිසිම තැනකට වඩා ඓතිහාසික පංති අරගලයන් සැම විටකම අවසානයක් දක්වා සහ එම හේතුව නිසා ඒවා චලනය වන ඉතාමත් තියුණු රාමූන් සහිත ව ඒවායේ ප්‍රතිඵලයන් සංක්ෂිප්තව සලකුණු කොට ඇති භුමිය වුයේ ප්‍රංශය යි. මධ්‍යකාලීන යුගයේ වැඩවසම්වාදයේ මධ්‍යස්ථානය, වතු මත පදනම වෙමින් ඒකාග්‍රකල රාජවංශයක ආකෘතිමය රට පුනරුදයෙන් පසුව මහා විප්ලවයේදී ප්‍රංශය වැඩවසම්වාදය පෙරලාදමා වෙනත් කිසිම යුරෝපීය භූමියකට විසින් නොකළ අසමානවූ සම්භාවනීය පාරිශුද්ධතාවයකින් යුතු ධනේශ්වර පංතියේ අමිශ්‍ර පාලනය ස්ථාපිත කරනු ලැබිය. එමෙන්ම පාලක ධනේශ්වර පංතියට එරෙහිව ඉහළට යාමට පරිශ්‍රමය දරන නිර්ධන පංතියේ අරගලය වෙන කිසිම තැනක නො දුටු පරිදි උග්‍ර ආකාරයකින් මෙහිදී දකින්නට ලැබුණි. මාක්ස් විසින් බලවත් ලැදියාවකින් යුක්තව ප්‍රංශයේ පසුගිය ඉතිහාසය පමණක් නොව ඇයගේ වර්තමානය සෑම විස්තරයක් සහිතව සොයා බලමින් අනාගත පාවිච්චිය පිණිස කරුණු කාරණා එකතු කල හේතුව මෙය වූ අතර එම නිසා ඔහුට එහි සිදු වූ සිද්ධීන් පුදුමයක් නොවිය.”

මාක්ස් සහ එංගල්ස් ප්‍රංශ විප්ලවාදී දේශපාලන ඉතිහාසයට එතරම්ම අවධාරණයක් කරනු ලැබුවේ එය ප්‍රංශයේ පමණක් නොව මුළු මහත් යුරෝපයේ දේශපාලන තත්වය වෙනස් කිරීමට ඉවහල් වන බව අවබෝධ කරගෙන සිටි බැවිනි. එපමනක් නොව රුසියානු බෝල්ෂෙවික් විප්ලවය කෙරෙහිද ප්‍රංශ මහා විප්ලවය මහත් බල පෑමක් ඇති කල බව අපි දනිමු.
අවසාන වශයෙන් බැස්ටිලය ට කඩා වැදී ජනතාව එය අත් පත් කර ගැනීම මගින් පෙන්වා දුන්නේ ඒකාධිකාරී අඥාදායක ආණ්ඩු විසින් ජනතාවට සිය පරමාධිපත්ය අභ්‍යාස කිරීම වළකන විට එළියේ බලය ගොඩ නගමින් නව දේශපාලන අවධියකට ගමන් කිරීමේ ඇති හැකියාවයි.
