ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති සීයට 30ක තීරුබදු ප්‍රමාණය ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වයක් බවත්, එහෙත් තවත් අඩු කරවාගැනීම සඳහා සාකච්ඡා පවත්වන බව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.
කෙසේ වෙතත්, එම සාකච්ඡා පවත්වන්නේ කුමනාකාරයෙන්ද, ඇමෙරිකාවට කුමන ප්‍රතිචාරයක් දක්වන්නේද යන්න සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඉදිරි දින කිහිපයේදී තීන්දු කරන බව මාධ්‍යවේදීන් කළ විමසීම්වලදී ඔහු ප්‍රකාශ කළා.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවති සාකච්ඡාවකින් පසු මුදල් අමාත්‍යාංශය, වෙළඳ අමාත්‍යාංශය සහ මහ බැංකුව ඇතුළු ආයතන කිහිපයක් ඒකාබද්ධව පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාව වෙත සීයට 30ක තීරුබදු පනවන බව සඳහන් කරමින් එවා ඇති ලිපිය පිළිබඳ අදහස් දැක්වීමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එහිදී පැවසුවේ සීයට 44ක් වූ තීරුබදු ප්‍රමාණය සීයට 30 දක්වා අඩු කරවාගැනීම ජයග්‍රහණයක් බව. ඒ සඳහා රජය විසින් සියලු පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගෙන ගෙන ආ වැඩපිළිවෙල හේතු වූ බව ඔහු ප්‍රකාශ කළා.
මේ අතර මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ දැන් පවතින තත්වය ගැන සම්පූර්ණයෙන් සෑහීමට පත් විය නොහැකි නමුත්, පෙර පැවති තත්වයට වඩා යහපත් තැනක සිටින බවයි. ඒ අනුව තරගකාරී වශයෙන් ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්වයක් දැන් පවතින බව ඔහු ප්‍රකාශ කළා. එහෙත්, ශ්‍රී ලංකාව තවදුරටත් සාකච්ඡා පවත්වන බව ප්‍රකාශ කළා.
මෙම මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවට ලැබී තිබෙන සීයට 30ක අනයෝන්‍ය බද්ද ප්‍රමාණවත් නොවන බව කරුණු දන්නා පුද්ගලයන් ඉලක්ක කරගනිමින් ඉදිරියට සාකච්ඡා පවත්වන බව කීමත්, කරුණු නොදන්නා පුද්ගලයන්ට ප්‍රගතියක් ඇතැයි හැඟවීමත් පෙනෙන්නට තිබුණා.
හර්ෂණ සූරියප්පෙරුම මහතා දැක්වූ අදහස් පහතින්.
‘ඊයේ ප්‍රකාශයට පත් වෙලා තියෙන බදු පිළිබඳ තොරතුරු අපි දකිනවා ඉතා හොඳ වාතාවරණයකට ආරම්භයක් ලෙස ගොඩනැගිලා තියෙන බව. සීයට 44 තිබුණු බදු ප්‍රමාණය සීයට 30 දක්වා අඩුවෙලා තියෙනවා. මේ කලාපයේ තියෙන රටවල් වගේම ලෝකයේ තියෙන රටවල් මේ බදු සම්බන්ධ වෙච්ච සාකච්ඡාවලට රටවල් අතින් ඉහළම අඩු වීමක් ලැබුණු රටක් විදියට ශ්‍රී ලංකාව හඳුනාගෙන තියෙනවා.
ඒ ප්‍රගතිය ලබාගැනීමට හැකියාව ලැබුණේ මේකට සම්බන්ධ වෙච්ච විද්වත් මණ්ඩලයේ තිබුණු දායකත්වය, කර්මාන්තකරුවන්ගෙන් ලැබුණු දායකත්වය, යූඑස්ටීආර් කණ්ඩායමෙන් ලැබුණු දායකත්වය අනුව තමයි මේ මට්ටමට මේක අඩු කරගන්නට ඉතාම හොඳ තලයට ආරම්භක අවස්ථාවක් විදියට ලබා ගන්නට පුළුවන් වෙලා තියෙන්නේ.
මේ කටයුත්ත කරනකොට රජයේ අවධානය කොතරම් යොමු වුණාද කියනවා නම් මුල සිටම ජනාධිපතිවරයා ඍජුවම මැදිහත්වෙලා පාර්ශ්වකරුවන් හා සාකච්ඡා පවත්වමින් මේ දක්වා ගෙනාවා. ඊයේ රාත්‍රියේදී අවශ්‍ය සම්බන්ධ කිරීම් කරලා, අද පෝය දවසක් වුණත් අද උදේ අටට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් සාකච්ඡාවක් කැඳවලා මේ වාතාවරණය ඇගයීමට ලක් කළා. අපි ඉන්න තත්වය සහ ඊළඟට කල යුත්තේ මොකක්ද ආදී වශයෙන් කතාකළා. මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, කර්මාන්තකරුවන්, වෙළඳ අමාත්‍යාංශය සහ ආයෝජන ප්‍රවර්ධනමණ්ඩලය යනාදී රාජ්‍ය ආයතන සහ කර්මාන්තකරුවන්ගෙන් ලැබෙන සහයෝගයත් එක්ක මේ මට්ටමට ආවේ. කර්මාන්තකරුවන් සම්බන්ධ කරගෙන ආවා වගේම ඉදිරියටත් දැන් නිකුත් වෙලා තියෙන නිවේදයත් සමඟ ක්ෂණිකව පාර්ශවකරුවන් සම්බන්ධ කරගෙන මේ සංවාදය ඉදිරියට ගෙනියෑමට තමයි මුදල් අමාත්‍යාංශ්‍ය විදියටත්, මහ බැංකුව විදියටත් අපේ බලාපොරොත්තුව තියෙන්නේ.
මේකට ප්‍රවෙශය ගන්නකොට එක කර්මාන්තයක් දිහා බලලා තීරණය කරනවා වෙනුවට සමස්ත රටේම තියෙන කර්මාන්තකරුවන්ට මේ තුළින් වෙන්න පුළුවන් බලපෑම පිළිබඳ අධ්‍යනයක් එක්ක තමයි මේ පිළිබඳ කටයුතු කළේ. සියලු කර්මාන්තවලට තියෙන බලපෑම මොකක්ද යනාදී විදියට තක්සේරුවක් අරගෙන, ඒ තුළින් ආර්ථිකයට තියෙන්න පුළුවන් ඍජු හෝ වක්‍ර බලපෑම ගැන සොයා බලන ගමන්ම, සමාජයට වෙන් පුලුවන් බලපෑම සොයා බලනවා වගේම ව්‍යාපාරවලට, ආයෝජනයන්ට සිදුවන බලපෑම වගේ පැතිකඩ ගණනාවකින්ම බලමින් තමයි අධ්‍යනය ඉදිරියට ගෙනියලා ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡාව සාර්ථක මට්ටමකට ගේනන් පුලුවන් වෙලා තියෙනවා. අපේ අරමුණ තමයි ඉදිරියටත් අපට අවස්ථාව තියෙනවා අගේස්තු 01 වැනිදා දක්වා කාලසීමාවක් තියෙන බව ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ලිපියේ සඳහන් වෙලා තියෙනවා. ඒ කාලසීමාවත් උපයෝගී කරගෙන තවදුරටත් මේකට සම්බන්ධ වෙලා සාකච්ඡාව ඉදිරියට ගෙනියන එක තමයි බලාපොරොත්තුව.‘
මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මෙසේ ප්‍රකාශ කළා.
‘ශ්‍රී ලංකාව අනෙකුත් රටවල්වලට සාපේක්ෂව අවාසිදායක තත්වයක හිටියේ. අපට සීයට 44ක බද්දක් පැනවූවා. අප සමඟ තරග කරන සමාන රටවල්වලට අඩු බදු ප්‍රතිශතයක් තිබුණේ. මුලින්ම තිබුණේ අපට අවාසිදායක මට්ටම අඩු කරගැනීම. මේ කාලය තුළ කරපු සාකච්ඡාවලින් දැන් ඇවිල්ලා තියෙන මට්ටම බැලුවහම මේ ලැයිස්තුවේ තියෙනවා ලාඕස්, මියන්මාර්, කාම්බෝජය, තායිලන්තය, බංග්ලාදේශය, සර්බියාව සහ ඉන්දුනීසියාව කියන රටවලට සීයට 40 ඉඳන් 32 වෙනකල්.
අපේ මට්ටමේ තියෙන රටවල් තියෙනවා ඇල්ජීරියා, බොස්නියා, ඉරාක්, ලිබියා, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව වගේ රටවල් සීයට 30 මට්ටමේ. ඊට පහළ මට්ටමේ තියෙන්නේ බෘනායි, ජපානය, කසකස්ථානය, මැලේසියාව, දකුණු කොරියාව සහ ටියුනීසියාව වගේ රටවල් සීයට 25යි. අපට සාපේක්ෂ තරගකාරීත්වය අනුව ඉන්නේ වඩා යහපත් තැනක. එතකොට අපි බලන්නේ දිගටම තිබුණු අවාසිදායක තත්වය නැති කරගෙන සාධාරණ තරගකාරීත්වයට ළංවෙන්න පුළුවන් කියන පළවැනි අභියෝගය ජයගත්තා. මුල ඉඳන්ම අපි අවංක ආකාරයෙන්, උනන්දුවෙන් සහ අවංකභාවයෙන් රටට වඩාත් යහපත් දේ ලබාගැනීමට කරපු සාකච්ඡාව හඳුනාගෙන අපට වැඩිම අඩුවීම ලබාගෙන තියෙනවා.
ඒ එක්කම සඳහන් කරලා තියෙනවා ජනාධිපතිතුමාගේ ලිපියේ, තවදුරටත් මේකට අවස්ථාවක් තියෙනවා. ඇයි මේ තරම් ප්‍රමාද වුණේ හෝ මීට වඩා අඩු කරගන්න බැරි වුණේ කියන එකට හේතුව තමයි සාකච්ඡා කරගෙන යනකොට හැකි ඉක්මනින්ම තීන්දු ගන්න බෑ. අපේ රටේ සියලු අංශවලට බලපාන කාරණයක් නිසා අපට ක්‍රියාවලිය වෙනුවෙන් කාලයක් අවශ්‍ය වුණා. සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරන්න. අපි හතරපස්දෙනා විතරක් සහභාගී වුණාට මේ ක්‍රියාවලිය ඉතා පුළුල් උපදේශනාත්මක ක්‍රියාවලියකින් ගියේ. වෙළඳ අමාත්‍යාංශ ලේකම්තුමා හරහා සියලු රාජ්‍ය ආයතන, විදේශ කටයුත අමාත්‍යාංශය, විදේශ කටයුතු දෙපාරතමේන්තුව, කර්මාන්ත අමාත්‍යාංශය සහ නියාමන ආයතන එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ විශේෂඥ දැනුම අරගෙන, අනෙක් පැත්තට කරුණු ඉදිරිපත් කරලා ගියේ.
පුද්ගලික අංශයේ සියලුම පාර්ශ්කරුවන්, විශේෂයෙන් දුමින්ද හුලංගමුව මැතිතුමා සියලු අදහස් විමසලා විශේෂඥ අදහස් අරගෙන තමයි හැම සාකච්ඡා වාරයකටම ගියේ. ඒ නිසා තමයි යම්කිසි ආකාරයට ප්‍රමාද වෙන්න හේතු වුණේ. ඇමෙරිකාව පැත්තෙන් තිබුණේ ජුලි 9ට කලින් නිවේදනය කරන්න ඕනෑ නිසා. අපේ උත්සහය හඳුනාගෙන තමයි දැනට තියෙන 44 තිබුණ එක 30 කරලා තව අඩු කරගැනීමට සාකච්ඡා මාර්ගය විවෘත වෙලා තියෙනවා. ඉදිරියට ගෙනයෑමට තමයි අපි උත්සාහ කරන්නේ. සහතික කරන්න ඕනෑ රට වෙනුවෙන් නියෝජන කළ කණ්ඩායම හැම පාර්ශ්වකරුවෙක් එක්කම සාකච්ඡා කරලා පුළුල් වශයෙන් අරගෙන රටට වඩාත් වාසිදායක කුමක්ද කියන පදනම මත තමයි ඉදිරි පියවරවලට යන්නේ. අපි හිතනවා මෙතෙක් ගෙනා සාකච්ඡා නිවැරදි මාර්ගයකට ඇවිල්ලා තියෙනවා.‘
