තරිඳු උඩුවරගෙදර
මෙහි සිරස්තලයට කේලාත්මා කියන වචනය යෙදුවාට, එය කලාත්මාව උපහාසයට නැගීම පිණිස යෙදූවක් නෙවෙයි. එය ඔබට වැටහෙනවා ඇති. ඒ වචනය බොහෝ අය යොදා තිබෙනවා දුටුවා.
කලාත්මා ඡායාරූපයක් සමඟ දැමූ වීඩියෝ පෝස්ට් එක මිලියන දෙකහමාරක් දක්වා බලලා. කමෙන්ට් විසිදාහක් විතර ලැබිලා. ඒ සියල්ලෙහි අප්‍රසන්න කතා, ඇඟ කිලිපොලන කතා, බොරු කතා, ඇත්ත කතා, බාගෙට ඇත්ත කතා මෙන්ම ඇත්ත වුණත් බොරු වුණත් කාටවත් හානියක් නැති කතා යනාදී බොහෝ දේ තිබුණා. ඇතැමුන් දැඩි අපහසුතාවට පත්වෙන අදහස් තිබුණා. ඒ සියල්ල මැද අනෙක් ප්‍රධාන ලක්ෂණය වුණේ මේ කමෙන්ට් ඉංග්‍රීසියෙන් මෙන්ම නූතන ඉසෙඩ් පරම්පරාවේ හෙවත් ජෙන් සී එක පරිහරණය කරන ඉංග්‍රීසි යෙදුම් තොගයක් එක්ක ඉංග්‍රීසි භාෂාවෙන් මේ කමෙන්ට් වැටී තිබීම. ඒ නිසාම බොහෝ අය කිව්වා මේක ‘පොෂ් ළිඳ ළඟ සංගමයක්‘ විදියට. කලාත්මා මේ වීඩියෝවෙන් පසු සිදුවීම ගැන සැහැල්ලුවෙන් සහ හාස්‍යමය අයුරකින් පෝස්ට් එකක් දමා තිබුණා. සිදුවීමට අදාල නැති පෝස්ට් දමා තිබුණා. ඒවාත් විශාල පිරිසක් බැලුවා. ඒ සියල්ල අතරමැද්දේ ඇය නිවේදනයකුත් දාලා.
ඒත්! අපි මෙතැන කතා කරන්නේ කලාත්මාගේ වීඩියෝවෙන් ලියුම්කරු හොයාගත් වැදගත්ම දේ. ඔය ගොසිප් මොකක්වත් නෙවෙයි. මීට කලිනුත් ලියුම්කරුගේ කණට වැටී ඇති නමුත් වැඩි විස්තරයක් නොසෙවූ සංගීත ඛණ්ඩයක්. මේ සර්ජියෝ ප්රොකොෆියෙව් කියන රුසියානු සංගීතවේදියා විසිවැනි සියවසේ විශිෂ්ඨතම සංගීත නිර්මාණකරුවෙකු ලෙස නිර්මාණය කළ සංගීත ඛණ්ඩයක්. මෙය, 1935 දී නිෂ්පාදිත රෝමියෝ ජුලියට් නම් මුද්‍රා නාටකය වෙනුවෙන් කළ 13 වැනි සංගීත ඛණ්ඩය. එය ‘ඩාන්ස් ඔෆ් ද නයිට්ස්‘ නමින් හැඳින්වුවා.

ඇත්තටම කලාත්මාගේ පෝස්ටුවෙහි කලාත්මා පාවිච්චි කළ එම සංගීත ඛණ්ඩයත්, බෙන්ස් (වියයුතුයි) මෝටර් රථයක අසුනෙහි ඇය ගසා තිබුණු වෙනස් විදියේ ඡායාරූපයත් නැත්නම් මේ සිදුවීමට මේ තරම් අවධානයක් නොලැබෙන්න ඉඩ තිබුණා. කොහොම නමුත්, බැසයන ට්‍රෙන්ඩ් එකක් ගැන හෑල්ලක් ලියනවා වෙනුවට ප්රොකොෆියෙව් ගැන පොඩි කෑල්ලක් බෙදදාගනන හිතුණා.
කලාත්මාගේ පෝස්ටුවේ ඇය විමසන්නේ තමන් අත්වින්ද සෙලිබ්‍රිටි මූමන්ට්ස් ගැන. ඇය කියන්නී, තමන්ට මුණගැසුණු සෙලිබ්‍රිටි කෙනෙක් ගැන තිරශ්චීන, ආන්දෝලනාත්මක, ලැජ්ජා සහගත සිදුවීම් බෙදාගන්න කියලයි. ඒත්, බොහෝ අය තමන් දන්න ගොසිප් බෙදාගන්න පටන් අරන් තිබුණා. ඒ කොහොම වුණත්, මේ ‘සෙලිබ්‍රිටි‘ කියන ගණයට ක්‍රීඩකයන්, ව්‍යාපාරිකයන්,දේශපාලුවන් හැරුණාම එකතු වන බොහෝ අය නළුනිළියන් සහ ගායක ගායිකාවන්. ඒ කියන්නේ ‘කලාවට‘ අදාල අය. අනිවාර්යයෙන්ම වඩාත් ජනකීර්තිමත්, ප්‍රසිද්ධ කලාකරුවන් ඕනෑ කාලෙක ඉන්න බව ඇත්ත. ඒකේ කිසි ගැටලුවක් නැහැ පමණක් නෙවෙයි, ඔවුන් අපි ආදරය කරනවා. ඒත්, අපි ප්රොකොෆියෙව්, ෂේක්ෂ්පියර් වැනි අයත් කලාකරුවන්. රුසියානු සාහිත්‍ය ගැන කියද්දී දොස්තයෙවුස්කි ගැන නොසිතා බෑ. ඔහු ලොව මානවවාදීම ලේඛකයෙක්. ඒත්, ඔහු සැබෑ ජීවිතයේදී හිංසාකාරී ලෙස හැසිරුණු බව අසා තියෙනවා. ආ, තව යමක් බෙදාගන්න ඕනෑ. ඒ අප කලාත්මාගේ සිදුවීම් අතරතුරේ ජීවිතයෙන් සමුගත් මාරියෝ වර්ගාස් යෝසා නම් වූ ලේඛකයා ගැනත් කතා කළා. ඇත්තටම ඔහු ගැන පොඩ්ඩක් කියවා, පොඩි සටහනක් ලියන්නට පැයකටත් වැඩි කාලයක් ලියුම්කරු පුද්ගලිකව වැය කළා. ඒත්, කලාත්මා ඊයේ දැම්ම නිවේදනය සිංහලට පරිවර්තනය කරලා විනාඩි 15- 20ක් ඇතුළත පළ කළ ප්‍රවෘත්තියට වීව්ස් 10,000ක් ලැබෙද්දී උනන්දුවෙන් ලියූ යෝසාගේ සමුගැනීම් සටහන කියවා තිබුණේ 500ක් පමණයි.
සමාජයක ජනප්‍රිය දේවල් සහ කලාත්මක දේවල්වලට දක්වන උනන්දුවෙහි කොහොමත් පරතරයක් තියෙනවා. ඒත්, මට ඇති ගැටලුව කෙතරම් අසීරු වුණත් අප යම්කිසි විදියකට හෝ සරල රසවින්දනය සහ උසස් රසවින්දනය අතර පරාසයන්වලට ගමන් කරන්න ඕනෑ. කලාත්මා නිසා ඇතිවෙච්ච සංවාදය අපේ සමාජය ගැන හරස්කඩක්. ඒත්, ඒ අතරේම කලාත්මාගේ සංවාදයෙන් එළියට යද්දී මම යෝජනා කරන්න කැමතියි, ඇය දැන හෝ නොදැන පාවිච්චි කර තිබූ සංගීතයට ඇහුම්කන් දෙන්න. එවැනි සංගීත කොටස් අහන්න හුරුවෙන්න. තමන්ගෙ ජීවිතේට ටිකක් භාවයක් උද්දීපනය කරන කලාකෘතීනුත් යම් දුරකට ගාවගන්න.
ඩාන්ස් ඔෆ් ද නයිට්ස් හෙවත් නයිට්වරුන්ගේ නර්තනය එන්නේ රෝමියෝ සහ ජුලියට් අයිති තරහකාර ප්‍රභූ පවුල් දෙකේ පැමිණීම හඳුන්වාදෙන්නයි. මේ පවුල් දෙකේ වෛරී ඉතිහාසය, ආතතිය, කැළඹීම මෙන්ම ඉදිරියේදී එන්නට නියමිත ගැටුම පිළිබඳ කල් තියා පෙන්වාදෙන්නට මේ සංගීතය යොදා ගන්නවා. අනෙක් අතට මේ පවුල් සතු බලය, ප්‍රසිද්ධය, ආනුභාවයත් සංගීතය තුළින් ඉස්මතු කෙරෙනවා.
හෝන්, ට්‍රම්පට් යනාදී බ්රාස් සංගීත භාණ්ඩ සහ වයලීන්, චෙලෝ යනාදී තත් භාණ්ඩ සමඟ සංගීතයේ සුමුදු කොටස් උදෙසා බටනලාත්, තාල භාණ්ඩ කිහිපයකුත් යොදාගෙන තිබුණා. සංගීතයේ අග ඇති, සුමුදු කොටස් ටික වෙනුවෙනුයි දැවමය බටනලා, ඉංග්ලිෂ් හෝන්, ක්ලැරිනෙට් යනාදී භාණ්ඩ යොදාගෙන තිබුණේ.
සංගීතයේ ස්වභාවය උස් පහත් වෙන රිද්මයක් විටෙක ආතතිකාරී, විටෙක මන්ද්‍ර අයුරින් උස්පහත් වීමයි. මේ ගොසිප් කතාන්දර බලන්නෙකුට මනා පසුබිම් සංගීතයක් බවට ප්රොකොෆියෙව්ගේ මේ සංගීත ඛණ්ඩය පත් වුණේ එහි තිබුණු නාට්‍යකාරී ගුණය නිසයි.
රෝමියෝගේ සහ ජුලියට්ගේ පවුල්වල වාගේම මේ එන කතාවල සිටින සෙලිබ්රටිලාගේ බලය, ප්‍රසිද්ධිය මෙන්ම යටින් සැඟව ඇතැයි ඒ කමෙන්ට්වලින් ඉඟි කරන ප්රචණ්ඩත්වය, ආතතිය සහ ගැටුම, අවිනිශ්චිත බව යනාදී සියල්ල සංගීත ඛණ්ඩයෙන් නිරූපණය වෙනවා. මේ ආතතිය යම්කිසි අපහසුකාරී හැඟීමක් උද්දීපනය කරනවා. ඒත්, ඒ අපහසුව මැද්දේ එහි ඇති බලයට ආසක්ත වීමකුත් සිද්ධ වෙනවා. ඒ එක්කම දැව වාදනය නැවත සුමුදු බවකුත්, නැවත බ්රාස් භාණ්ඩවලින් ආපහු ගැටුමත් උථ්සන්න වෙනවා. ගැටුමකදී මනුෂ්‍ය ස්වභාවය එයින් ඉස්මතු වුණා.
ලියුම්කරු මේ සංගීතය ගැන කරපු වීඩියෝවේදී කිව්වා ‘ද ඇප්‍රන්ටිස්‘ කියන රියැලිටි වැඩසටහනේදී හෝ මාස්ටර් චෙෆ් කියන වැඩසටහනේදී මේ මියුසික් එක ඇසී තිබෙන බව. එහිදී ‘ද ඇප්‍රන්ටිස්‘ ගැන කියද්දී ක්ෂණිකව මතකයට ආවේ ඩොනල්ඩ් ට්‍රම්ප්. කෙසේ නමුත්, එය මේ සංගීතය ගැන ලාවට ඇති මතකයන් අවුස්මින් කී කතාවක්. එහෙත්, ඇත්තෙන්ම මෙම සංගීතය යොදාගෙන තිබුණේ බ්‍රිතාන්‍යයේ බීබීසී නාළිකාවේ විකාශය වූ ‘ද ඇප්‍රන්ටිස්‘ රියැලිටි වැඩසටහනේදීයි. ට්‍රම්ප් ඉන්නේ ඇමෙරිකන් එකේ.
කෙසේ නමුත්, සෙලිබ්‍රිටිලා ගොන්නක් අතරේ ජීවිතය කැමරාවට අල්ලාගනිමින් ඒ සෙලිබ්රිටිලාගේ ජීවිතයට එබීමට ප්‍රේක්ෂකයාට ඉඩ සලස්වන එවැනි රියැලිටි ෂෝ එකක ඩාන්ස් ඔෆ් ද නයිට්ස් වාදනය වීම තමයි කලාත්මා ලංකාවේ සෙලිබ්‍රිටිලා ස්ටෝරීස්වලට ඒ සංගීතය යොදාගැනීමට ආසන්නම අවස්ථාව.
රෝමියෝ ජුලියට් ඉවර වෙන්නේ ඛේදවාචකයකින්. ඩාන්ස් ඔෆ් ද නයිට්ස් නිරූපණය කරන්නේ එන්නට නියමිත ඛේදවාචකය.
මෙයට අමතරව මේ සංගීත ඛණ්ඩයට දේශපාලනමය අර්ථයකුත් දෙන්න පුළුවන්. ප්රොකොෆියෙව් යුක්රේනයේ ඉපදුණු කලාකරුවෙක්. ඔහු 1917 විප්ලවයට සමගාමීව ඇමෙරිකාවටත් පසුව ප්‍රංශයටත් ගියේලු. ප්‍රංශයේ සිට නවසිය තිස් ගණන්වලදී නැවත සෝවියට් දේශයට එන්න හිතුවාලු. ඒ වෙනුවෙන් මොස්කව්වලට යන එන අතරේයි ඔහු රෝමියෝ ජුලියට් එළිදැක්වීමටත් ලෑස්ති වුණේ. මුලින්ම මෙය 1935 දී එළිදැක්වුවා. එයින් පසු පළවැනිම ප්‍රසංගය චෙකොස්ලෝවැකියාවේ කළාලු. ඔහු 1940 දී මොස්කව්හි පළවැනි ප්‍රසංගය කරන විට සෝවියට් දේශයේ ඒකාධිකර පාලකයා වූ ජෝසෆ් ස්ටාලින් පාලනය නිසා යම්කිසි වෙනස්කම් පවා සිද්ධ වුණාලු.
කෙසේ නමුත්, ඩාන්ස් ඔෆ් ද නයිට්ස් එද්දී මනුෂ්‍ය ශිෂ්ඨාචාරය සිය ඉතිහාසයේ බිහිසුණුම නර්තනයට සූදානම් වෙමින් සිටියා. ඇඩොල්ෆ් හිට්ලර්, බෙනිටෝ මුසලෝනි, තියරෝර් ඩී රූසවෙල්ට්, ජෝසෆ් ස්ටාලින්, වින්ස්ටන්ට් චර්චිල් සහ හිරෝහිතෝ යනාදීන් ඒ වෙද්දී දෙවැනි ලෝක යුද්ධය නම් වූ බිහිසුණුම නර්තනයට සූදානම් වෙමින් සිටියා.
ඇත්තටම! අද අප මේ කතා කරන මොහොතේ මේ සංගීතය හුදෙක් ලංකාව කියන පුංචි රටේ හිංචි පිංචි සෙලිබ්රිටිලාට වඩා මේ වෙද්දී ලෝකයේ සිද්ධවෙමින් පවතින දේවල්වලට ගැලපෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්, ෂි ජින් පින්, ව්ලැඩ්මීර් පුටින්, නරේන්ද්‍ර මෝඩි යනාදීන් මේ වෙද්දී බල නර්තනයක යෙදෙමින් සිටිනවා. මේ මොහොතේ ලෝකයම මුහුණදෙන අවිනිශ්චිත, සැකසහිත, ඩයබොලිකල් දේශපාලන තත්වයට ප්රොකොෆියෙව්ගේ ඩාන්ස් ඔෆ් ද නයිට් මනාව ගැලපෙනවා.
ඒ නිසා! අවුරුදු ඉවරයි. දැන් ප්රොකොෆියෙව්ගේ සංගීතයට ඇහුම්කන්දෙමින් කලාත්මා අමතක කරමින් ලියුම්කරුගේ කාලය සහ අවධානය යළිත් නැවත ඒ පැත්තට යොමු කළ යුතුයි.
