සුනිල් විජේසිරිවර්ධන
සේපියන් මානවයා පොළොව මත ඇවිදින්නට ආරම්භ වී දැනට වසර ලක්ෂ දෙකක් පමණ වේ යැයි කියනු ලැබේ. වසර මිලියන දෙකකට මඳක් වැඩි කාලයක් තිස්සේ වරින් වර පැමිණි අනෙක් පුරා-මානව විශේෂ මිහිමතින් අතුරුදන් වී යද්දී, මේ නව මානවයා සමාජ පරිණාමයේ අදියර කිහිපයක් පසු කරමින් – බලශක්තිය, තොරතුරු නිෂ්පාදනය, සමාජ සංවිධානයේ සංකීර්ණබව – යනාදී දර්ශකවලට අනුව ශිෂ්ටාචාර මට්ටම් තුනක් පසුකරමින් අද්‍යතනය වෙත සම්ප්‍රාප්ත වී ඇත; එලෙස එමින් සිය පැවැත්ම සහතික කරගත්තා පමණක් නොව මේ වනවිට පෘථිවි ඉරණමට බලපාන ප්‍රධානතම භූවේදීය බලවේගය (Geological force) බවටද සේපියන් මානවයා පත් වී තිබේ. මේ හේතුව නිසා කාර්මික යුගය හෝ සමහරවිට ඊට පෙරම පපෘථිවිය (Anthropocene) යන නව භූවේදී යුගයකට ඇතුළු වී ඇතැයි ද මේ ඥාන ක්ෂේත්‍රයයේ ඉහළ විද්වත්තු යෝජනා කරති.

කථන (හා අනතුරුව ලිඛිත) භාෂාව මේ මානවයාගේ පැවැත්ම සහතික කරමින් ඉදිරි වර්ධනයට පසුබිම සැකසූ ප්‍රධානතම සංස්කෘතික සාධකය යැයි මුලදී මානව විද්‍යාව විසින් යෝජනා කළත්, සේපියන් මානව විඥානයේ සැකැස්මට අදාළ භාෂාව ගැන වඩා සංකීර්ණ ධාරණාවන් සමුච්ඡයක් වෙත අද අපි පැමිණෙමින් සිටිමු. කතන්දරය, රංග භාෂාව, සංගීත භාෂාව සහ දෘශ්‍ය භාෂාව යන සියලු කලා – භාෂා වර්ග / හෙවත් සංඥා පද්ධතීන් ඒකාබද්ධව වැඩෙන්නට ඇතැයි ද එමගින් මිනිසාගේ සංස්කෘතික පරිණාමයට සංස්ලේෂණාත්මක හා සාකල්‍ය අයුරින් දායක වන්නට ඇතැයි ද දැන් බැරෑරුම් ලෙස අනුමාන කෙරේ. මේ අනුව කලාවෝ මිනිසාගේ පැවැත්මට අදාළ අමතර දෙයක් නොව ඒවා මනුෂ්‍යත්වයේ ඓන්ද්‍රීය සංරචකයන් වශයෙන් හඳුනා ගැනීම වඩා උචිතය. (බටහිර/නූතන මානවවිද්‍යාව nature vs culture යන ද්විභේදය මුල් කොට සිතන්නට ආරම්භ කළත් මේ වනවිට එම කතිකාව අර්බුදයට ගොස් තිබේ; ස්වභාවික මිනිසෙක් කිසිදා නොසිටි බවත් මිනිසා ‘ස්වභාවයෙන්ම’ සංස්කෘතික සත්වයෙක් බවත් අද අපි වඩා හොඳින් වටහා ගන්නෙමු. බුදුන්ගේ සංස්කාර න්‍යායය ද සනාථ කරන්නේ මේ කරුණයි.

කෙසේ හෝ වේවා ඉහත කී ප්‍රාග්-ඓතිහාසික යුගවලදී මානව පිරිස් සිය විඥාන සැකැස්ම තුළ කිසිදු ලෙසකින් හෝ ස්වභාවධර්මයට එරෙහිව සිටගෙන ඉන් පරාරෝපිතව සිටියේ නැත. ඔවුන් ස්වභාවධර්මය, එහි අනේක බලවේග සමග පැවැත්වූයේ ආදර ගෞරවය හා කෘතඥතාව මූලික සම්බන්ධයකි. ඔවුන්ගේ මුල් විශ්වවේදී ධාරණාවන් තුළ පිළිබිඹු වූයේ මහා අචින්ත්‍ය විශ්වයකි. එය තුළ තමා ගේ පැවැත්ම පිළිබඳ වූ පර්යාලෝකය අතිශයින් නිහතමානී එකක් විය. මහීමාතා, ජගන් මා, හේරා, ගයියා – ආදි වශයෙන් නම් කෙරුණු මහා සප්‍රාණී සත්තාවක් වශයෙන් පෘථිවිය ඔවුන්ගේ ධාරණාවන් තුළ ජීවමාන විය.
දළ වශයෙන් වසර 20000 කට පමණ ඔබින් වූ යුරෝපයේ ජීවත් වූ මානවයාගේ ඇස පෙන්වන විශිෂ්ට අවකාශ ගැන දෘශ්‍ය කලාවේදියෝ හොඳින්ම දනිති; පුරාශිලා යුගයට අයත් ස්පාඤ්ඤයේ Altamira සහ ප්‍රංශයේ Toris – Freres මෙන්ම Lascaux වැනි ගුහා චිත්‍ර සංඥා කරන්නේ මොනවාද? ප්‍රථම කොට යාතුකර්ම සන්දර්භයක් තුළ ස්වභාවධර්මයේ සංසිද්ධීන් තුළට මිනිසා ආවේශ වීමේ තත්වයකි. පුරාතන මිනිසාගේ අභිචාර ලෝකය මෙකී ආවේශ වීම නොහොත් ආරූඪකරණය සඳහා සන්දර්භය සැකසීය.

මුල් අභිචාරත්මක රංගය වූ කලී මිනිසාට ආහාර ‘පරිත්‍යාග කළ’ සතුන් හා අවට පරිසරයේ සංසිද්ධීන් (ගල් පර්වත, දිය දහර, තුරු) බවට පෙනී සිටීමේ අපූරු භාවිතාවකි. මේ කී අනෙකා බවට පෙරළීමේ ශක්‍යතාව මිනිසාගේ සාර්ථකත්වයට පිටුබලය දුන් ආවේණික අභ්‍යන්තර ගුණයක් මෙන් පෙනී යයි. ඉහත සඳහන් ගුහා චිත්‍රද මේ ආරූඪකරණය තුළම නිපන් ප්‍රතිඵල බව අපට පෙනේ. එයින් සමහර චිත්‍ර දඩයම් රංගය හෝ දඩයම් ක්‍රියාව තුළ ජීවමාන වූ සුවිශේෂ ආරූඪ වීම් ද (උදාහරණ ප්‍රංශයේ Triois Freres ගුහාවේ චිත්‍ර අතර ඇති ඉතා ප්‍රකට sorcerer – යාතුකර්මාචාරි, හූනියම්කරු) හසු කරගත් සෙයකි.
කෘෂි යුගය වෙත පැමිණෙන මිනිසාගේ සමාජ සංවිධානය සංකීර්ණ වන්නට පටන් ගනී. මේ යුගයේ සමාරම්භක අවධියට අයත් ඉන්දියාවේ නම් ‘කෘෂි-එඬේර ජනපද’ හෝ යුරෝපයේ මෙන්ම අමෙරිකාවේ එවක පැවැති එබඳු සාංඝික ප්‍රජා -මූලික සමාජ ක්‍රම ඓතිහාසිකව ගත් කල ඉක්මනින් වාගේ බිඳවැටුණි; ඊට හේතුවූයේ යකඩ තාක්ෂණය සමග කෘෂි මෙවලම් පිම්මේ වර්ධනය වීම නිසා ඇතිවූ නිෂ්පාදනයේ අතිරික්ත වටිනාකම් මත නැගී ආ පිතෘමූලික බලයන් විසින් මෙම ජනසංඝ බොහෝ විට ඇතුළින්ම හෝ බැහැරින් පැමිණි ආක්‍රමණ මගින් ප්‍රචණ්ඩ ලෙස විනාශ කරනු ලැබීමයි. මෙලෙස පාලක රජවරුන් හා යටත්වැසියන් යන භේදය වැනි මිනිසා ඉහළ හා පහළ ලෙස බෙදන බලය මුල් කරගත් සමාජ ධූරාවලීන් මුල් වරට පැමිණ මිනිස් විඥානය එම සන්දර්භයට අනුරූපව ප්‍රති-සංස්කරණය කරන්නෝය. අන්න ඒ ක්‍රියාවලීන් තුළ ස්වභාවධර්මය හඟින ඇසද නව ආකාරයකින් සකස් වෙනු අපට දැනේ; එක් මිනිස් කොට්ඨාසයක් තවත් මිනිසුන් කොටසක් යටත් කරගැනීමේ තත්වයට අදාළ බලය හා ආත්මකේන්ද්‍රීය අවශ්‍යතා – බුදුන්ගේ බසින් කිවහොත් තණහාව, ද්වේශය, මෝහය – විසින් මිනිස් විඥානය තත්වාරෝපණය කරනු ලැබේ. මේ තත්ත්වය තුළ මිනිසා ස්වභාවධර්මය සමග දක්වන සම්බන්ධතාවද ඊට අනුරූපව සකස් නොවී තිබිය නොහැකිය.
ආසියාවේ මෙන්ම යුරෝපයේ ප්‍රධාන උද්‍යාන කලාව දෙස බලන්න; සියල්ල තම සිතැඟි අනුව සකස් කරගන්නට කැස කවන බලවන්ත රජෙක් හෝ ප්‍රභූවරයෙක් උද්‍යානය තුළ අප දෙස බලා සිටිනවා සේය; ඔහු ස්වභාවිකත්වයට අයත් පැවැත්ම තුළට කිසියම් ආක්‍රමණශීලී ආකාරයකින් මැදිහත් වී උද්‍යාන සැකසුම් සිය බලය ප්‍රකාශ කරන්නා වූ අවකාශ බවට පත්කරන්නට යත්න දරයි. දෘඪ සමමිතික සැකසුම් ස්වභාවධර්මයට අයත් නැත; එහෙත් රජු විසල් ස්ථම්භ හා සමමිතික සැකසුම් සහිත අවකාශයක් මගින් සිය ආධිපත්‍ය කියා පාන්නේය. කිසියම් හේතුවක් නිසා ස්වභාවධර්මය එලෙස යටත් කිරීමේ ආශාවක් නොපෙනෙන්නේ අප හඳුනන සංස්කෘතීන් අතුරින් ජපන් උද්‍යාන කලාව තුළ පමණි; ඔවුන්ගේ වාබි සාබි සෞන්දර්ය මූලධර්ම තුළ සොබාදහමට හරස්ව නොයා, ඊට එරෙහිව ප්‍රචණ්ඩත්වය නොපා එය මුදු ලෙස අනුකරණය කිරීමේ මාර්ගයක් පෙන්වන්නා සේය. නමුත් ඒ වූ කලී සොබාදහම පිටපත් කිරීමේ සරල අනුකරණ ක්‍රමයක් නොවේ; එය එහි නීති හඳුනාගනිමින් නිර්මාණශීලී ලෙස කලාත්මක අවකාශයක් ගොඩ නැගීමේ සියුම් භාවිතාවක් නියෝජනය කරයි.

ඇත්ත වශයෙන් මේ කී වැඩවසම් යුගය මැද්දේ පවා ජීවමාන වූ චීනයේ තාඕ දහමත් ජපානයේ සෙන් දහමත් ජන ජීවිතය තුළ අන්තර්කරණය වීමේ තත්ත්වය විසින්, බටහිරට වෙනස්ව, සොබාදහමින් මිනිස් ඇස පරාරෝපණය වීම වැළැක්වීමට ක්‍රියාත්මක වූ බවක් පෙනේ යැයි කෙනෙකුට අනුමාන කළ හැකිය; පුරාණ චීන කාව්‍යය (උදා: Shanshuyi poetry) සහ ජපන් තන්ක සහ හයිකු කාව්‍ය තුළ කවියා සම්පූර්ණයෙන් අදෘශ්‍යමානය. කවි මනස සොබාදහමින් ආරූඪ වීම නිසා අවසානයේ කවියා හරහා ප්‍රකාශිත වන්නේ එහි සප්‍රාණික මොහොතක්ම වන්නා සේය. තාඕ දහමින් හෝ සෙන් දහමින් තත්වාරෝපණය වූ සිත්තර ඇස ද ක්‍රියාත්මක වන්නේ එකී රීතියට අනුකූලවයි. ඇත්ත වශයෙන් ඉහත සඳහන් පුරාණ චීන ශන්ෂුයි කාව්‍ය මාර්ගය උද්භව වූයේ එනමින් යුත් සිත්තර සම්ප්‍රදායයක් ඇසුරිනි. ශන්ෂුයි සිත්තර පරම්පරාවක් සිය ප්‍රකට භූමි දර්ශන අඳින්නට ආරම්භ කළේ පස්වන සියවස තරම් ඈත යුගයකයි. ජාත්‍යන්තර වශයෙන් ගත් කල සැබැවින්ම මෙය දුලබ හා විස්මිත සංසිද්ධියක් යැයි කිව හැකිය. යුරෝපයේ සිත්තරු ස්වභාවධර්මය වෙත ඇස් යොමා භූමි දර්ශන සිතුවම් කරන්නට සිතන්නේ කාර්මික විප්ලවයෙන් පසුව නූතන යුගයේ මුල් මොහොතේය. ඒ භූමි දර්ශන පසුපස ඇති ඇස කෙසේ නමුත්, ආසියාතික සංසිද්ධියෙන් සපුරාම වෙනස් ආකාරයක් නියෝජනය කරන බව කිව යුතුයි.
20 සියවසේ මාක්ස්වාදී සංස්කෘතික විශ්ලේෂණයට පුරෝගාමී දායකත්වයක් දැක්වූ රේමන්ඩ් විලියම්ස් පෙන්වා දෙන්නේ යුරෝපා භූමි දර්ශන කලාවට හේතුසාධක වන්නේ ඒ දක්වා ස්වභාවික ලෝකය දෙස මිනිසුන් හෙලූ බැල්මේ ඛණ්ඩනයක් නාගරික මිනිසා තුළින් මතු වීම නිසා බවයි. නූතන නගර නිර්මාණය වීමට පෙර ග්‍රාමීය ජනාවාස මැද, වරින්වර ප්‍රභූන්ගෙන් එන තාඩන පීඩන හැරෙන්නට, සාපේක්ෂව ආරක්ෂිතව දන්නා හඳුනන පරිසරයක ජීවත් වූ යුරෝපීය මිනිසාට වනයෙන් වැසුණු විසල් කඳු පෙනුණේ එතරම් මිත්‍රශීලී ස්ථාන වශයෙන් නොවේ; නොදන්නා අනතුරු සැඟවී ඇති අවදානම් අනාරක්ෂිත භූමීන් වශයෙනි; මන්ද යත් ඔවුන්ගේ විඥානයට අනුව මේවා තුළ අනතුරුදායක සතුන් පමණක් නොව ඊටත් වඩා බියකරු අමනුෂ්‍ය විශේෂ මෙන්ම ඇතැම් විට මංපහරන්නන්ද සිටියහ. කොටින්ම වනය බියජනක තැනක් විනා සුන්දර තැනක් නොවේ.
එනමුත් කාර්මික විප්ලවය ඉදිරියට ගොස් අවට පරිසරය හා වායුගෝලය දූෂණය කරන කර්මාන්තශාලා සහිත ජනගහනය බහුල නූතන නගර ගොඩනැගෙන විට නාගරික වාසස්ථාන මිනිසාට අතෘප්තිකර ස්ථාන බවට පත්වන්නට ගත්තේය. ප්‍රබුද්ධ යුගයෙන් ආරම්භ වී පරිපාකයට පත්වන නූතන තර්කානුසාරිත්වය නිසා, සම්ප්‍රදායික ගැමියාගේ මනස අරක් ගත් වන ආරන්‍යයන් පිළිබඳ තිබූ බියද නාගරික මිනිසා තුළින් ශමනය වූයෙන් ඒවා සුන්දර, අත්පත්කරගත යුතු, වටිනාකම් සහිත විෂයක් වශයෙන් ක්‍රමයෙන් දර්ශනය වන්නට විය. එබැවින් භූමි දර්ශනය යුරෝපා සම්භාව්‍ය කලාවේ වැදගත් නිර්මාණ අඩවියක් ලෙස ඉක්මනින්ම වැඩී ගියේය. කෙසේ නමුත් යුරෝපා භූමි දර්ශන කලාව රැගෙන එන ඇස හා පුරාණ චීන හෝ ජපන් භූමි දර්ශන කලාවන් පසුබිමේ වූ ඇස එකිනෙකින් හරයාත්මකව වෙනස් වන ආකාරය අපේ අවධානයට මෙහිදී හසුවිය යුතුය.

කාර්මික විප්ලවය විසින් මිනිසාව පූර්ණ වශයෙන් ස්වභාවධර්මයෙන් පරාරෝපණය කර දමනු ලැබිණි. නූතන මිනිසාගේ ඇස මෙහිදී සම්පූර්ණ පරිවර්තනයකට භාජනය වෙයි. බුදුහු තමන්ගේ කාලයේදී පුරාණ ඉන්දියාවේ පංචාල දේශයේ මනුෂ්‍ය ජීවිතය ගැන විමසමින් මිනිසාගේ ඇසේ රෝගයක් – ‘දිට්ඨි’ රෝගයක් – ව්‍යාප්ත වන බව කියති. ‘එක් මිනිසෙකුට අනෙකා තමා සේම මනුෂ්‍යයෙක් ලෙස නොපෙනී යාම’ යි මේ කියන ඇසේ රෝගය. එයට හේතුව වශයෙන් ඔවුන් දකින්නේ කුල ජාති ගෝත්‍ර භේදයන් ව්‍යුහගත වූ සමාජයක ව්‍යාප්තියයි. මිනිස් සංඥාව අහෝසි වී භේදකාරී සංඥා විසින් මිනිස් ඇස තත්වාරෝපණය කරනු ලබන්නේය; රජුන්ට මිනිසුන් පෙනෙන්නේ නැත, පෙනෙන්නේ යටත් වැසියන්ය, ඉහළ කුලීනයාට පෙන්නේ දාසයින්ය, …, ආදී වශයෙනි. බුදුන්ගේ කාලයේ ඉහළට එසවෙන ‘ගහපති’ හෙවත් ඉඩම් හා දැසිදසුන්ගේ ස්වාමීන් වූ වඩා විශාල කෘෂි නිෂ්පාදකයන්ගේ දෘෂ්ටියට ස්වභාවධර්මයද මෙසේම යටවන්නට ඇත. කෙසේ නමුත් බුදුන්ගේ මාර්ගය ගන්නා ආරම්භක භික්ෂූන්ගේ ඇස සෑම ආකාරයෙන්ම – මනුෂ්‍යත්වය මෙන්ම ස්වභාවධර්මය විෂයෙහි – සුවපත් වෙන්නට ඇති බව අද්‍යතනයේ ඉතිරිව ඇති ත්‍රිපිටකය මෙන්ම ඊට බැහැරින් වූ නොයෙක් බෞද්ධ සංහිතා ඉඟි කරති.
අප වනාහි ප්‍රථම කොට නූතන යුගයේ දරුවෝ වෙමු. වසර 500කට ආසන්න කාලයක් තිස්සේ ගලා එන අපේ යුගය මේ වන විට මහා අර්බුදයක නිමග්න වී ඇත. මේ අර්බුදය ගැඹුරු ලෙස වටහා ගැනීමට කෙටි දාර්ශනික අවලෝකනයක් අවශ්‍යය. නූතන මානව ශාස්ත්‍ර දැනුම් ඔස්සේ ගොස් මිනිස් ජීවිතය තේරුම් ගැනීමේ සීමා හා ගැටලු ගැන විමසන අපට දිගින් දිගටම පෙනෙන්නේ කාටීසියානු ද්වි-භේදිත පර්යාලෝකයෙන් හා ඒක මාර්ගික හේතුඵල සිතීමෙන් තොර වූ ඇසක් ඒවා සතුව නොමැති බවයි. විචක්ෂණ නූතන දාර්ශනිකයෙක් වූ බර්ට්‍රන්ඩ් රසල් මිනිස් ඉරණම විමසීම අරමුණු කොට 1951 දී සංග්‍රහ කළ ග්‍රන්ථයක් තුළ ගොඩනගන ප්‍රධානතම සංකල්පීය ප්‍රවර්ගයක් වන්නේ ගැටුම යන්නයි. වියුක්තව ගතහොත් ගැටුම යන සංකල්පය මිනිස් සමාජ ජීවිතයේ මැදට ගැනීම ගැන කොහෙත්ම උරණ වන්නට කරුණක් නැත; එහෙත් නූතන ඇසට අනුව ගැටුම යනු කුමක්ද යන්නයි ප්‍රශ්නය. රසල් ගැටුම දකින්නේ කෙසේද යන්න ගැන කෙටියෙන් විමසමු; රසල් මිනිස් ජීවිතය හා මිනිස් ඉරණම විශිෂ්ට ලෙසින් ගැටුම් ත්‍රිත්වයක් තුළට හකුළයි; ඒවා මෙසේය; තමා තමා සමග, අනෙකා සමග, ස්වභාවධර්මය සමග වශයෙනි. රසල්ගේ සිතීම අනුව ඉහත කී ගැටුම් එකිනෙකින් වෙන්ව වෙන වෙනම රඟ දෙන අතර ඒවා ක්‍රියාත්මක වන්නේ අත්‍යවශ්‍යයෙන්ම ජය/පරාජය පිළිබඳ ද්විභේදිත රාමුවක් තුළය. එනම් මේ ගැටුම් තුළ කිසිවෙක් ජයගත යුතුයි, කිසිවෙක් පරාජය විය යුතුය – වෙනත් විකල්පයක් නැත. ඉදින් ගැටලුව වන්නේ ජය සහ පරාජය යන ප්‍රවර්ගවලින් තොරව / නොඑසේ නම් එම ද්විභේදිතය අතික්‍රමණය කරන්නාවූ මගක් ඔස්සේ යමින් මානව ගැටුම්වල ක්‍රියාකාරීත්වය දැකීමට රසල් හෝ නූතන විද්වතුන් හැමදෙනාම පාහේ පෙන්වන අසමත් භාවයයි.
එහෙත් පාර -නූතන පර්යාලෝකය ඔස්සේ, හෙවත් පද්ධතිමය ඇසින් විමසන අපට රසල් විසින් යෝජිත ගැටුම් ත්‍රිත්වය දිස්වන්නේ කෙසේද? මිනිස් ඉතිහාසය හා සමාජය ගැන ඒ වනවිට (1950) ගොඩ ගැසී තිබුණ විද්‍යාත්මක නිරීක්ෂණ කන්දරාව විචක්ෂණ හා තියුණු ලෙස විනිවිද ගොස් ගැටුම් තුනක් පෙරා ඉදිරිපත් කිරීම ගැන අප රසල්ට කෘතවේදී වන අතරේම ඔහුගේ සුසමාදර්ශී ආස්ථානයේ ගැටලුව නොදැක සිටීමට එහෙත් අපට නොහැකිය. රසල්ගේ ගැටුම් ත්‍රිත්වය වෙන් වෙන්ව පවතින සංසිද්ධීන් ලෙස නොව ත්‍රිකෝණාකාර සම්බන්ධතා පද්ධතියක් ලෙස නව ඇසින් දකින්නෙකුට පහසුවෙන්ම දැකගත හැකි යයි සිතමි.
රසල්ගේ නූතන දැක්ම අතික්‍රමණය කරන නව සුසමාදර්ශී රාමුවේ පිහිටෙන් දැන් අපට අපේ ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් අපූරු දෙයක් හඳුනා ගත හැකිය; දැන් අපට පෙනී යනු ඇත්තේ අප සඳහන් කළ නූතනත්වයේ අර්බුදය දෙස මෙම අන්‍යෝන්‍ය සහභාගි සම්බන්ධතා පද්ධතියේ පර්යාලෝකය ඇසුරින් විමසුම් බැල්මක් හෙලුවොත්, එම අර්බුදය ගැන ඉතා විශේෂ දැනුමක් සපයා ගත හැකි බවයි. අපට පෙනී යනු ඇත්තේ නූතන ශිෂ්ටාචාර අර්බුදය යනු අන් කිසිවක් නොව, ඉතා මූලික වශයෙන්ම මෙම මිනිස් සබඳතා ත්‍රිත්වය දැඩි ලෙස රෝගී වීමේ තත්ත්වයක් වශයෙන් වටහාගත හැකි බවයි.
ඒ අනුව, බුදුන්ගේ දිට්ඨි රෝගය පිළිබඳ අදහසට තවත් මානයක් නූතන යුගයේදී එකතු කළ හැකිය. එය නම් මිනිස් සංඥාව අහිමිවීමට අමතරව ස්වභාවධර්මයද තත්වාකාරයෙන් නොපෙනීමේ නූතන දිට්ඨි (දෘෂ්ටිවාදී) රෝගී තත්වයයි. නූතන ඇසට සොබාදහම දිස්වන්නේ තමන්ට බඩුභාණ්ඩ සාදා ගැනීමට ඇති අමුද්‍රව්‍ය ගොඩක් වශයෙන් විනා අචින්ත්යා සප්‍රාණී පද්ධතියක් ලෙස නොවේ;
ස්වභාවධර්මය නූතන විද්‍යාවේ හා තාක්ෂණ මග ඔස්සේ යටත් කොට අපට අවශ්‍යද ඕනෑම දෙයක් එය කඩා බිඳ සකස් කරගත හැකිය යන නූතන මිනිසාගේ උද්දච්ඡ හැඟීම මෙකී නූතන ඇසින් ප්‍රක්ෂේපණය වන්නේ යැයි අපට තවදුරටත් කිව හැකිය.
කෙසේ හෝ වේවා දශක ගණනාවක් තිස්සේ මනුෂ්‍ය වර්ගයා වශයෙන් නූතන මිනිසා අත්විඳින අර්බුද තත්ත්වය එක්තරා තීරණාත්මක මංසන්ධියකට පැමිණ ඇතැයි අද අපට පෙනී යයි. නූතන සමාජ ක්‍රම සහ පද්ධතින්, නූතන ජීවන රටාවන්, නූතන ලෝක දැක්ම සහ නූතන විද්‍යාව යන සියල්ල ගැඹුරු අර්බුදයක් තුළ ගිලෙමින් පවතින්නේය. හකුළා කියන්නේ නම්, නූතනත්වය සමග බිහිවූ කාර්මික වර්ධක ශිෂ්ටාචාරය (Industrial Groeth Civilization) මේ වනවිට යල්පැන ගොස් එය ගැඹුරුතම අර්බුද අවධියකට සේන්දු වී තිබේ. පද්ධති (පාර-නූතන / para modern) චින්තකයන් (system thinker) කිහිප දෙනෙකු විසින් පෙන්වා දෙන්නා සේ මිනිස් සමාජ පරිණාම ගමන් පථය කරුවක් ඇතිකරන දෙබෙදුම් සන්ධියකට පැමිණ ඇත. අප වැනි, ලොව පුරා බිහිවෙමින් සිටින පාර-නූතන සිතන්නන් විසින් කාලයක් තිස්සේ සාකච්ඡා කරන ලද, පුරෝකථනය කරන ලද මහා හැරවුමක් උදෙසා ලෝකය පද්ධතියක් වශයෙන් සූදානම් වෙමින් සිටින බව හඟවන ලකුණු අපට පැහැදිලිව පෙනේ. එනම් නූතන ශිෂ්ටාචාර මට්ටම අතික්රනමණය කරමින් මතුවන නව ශිෂ්ටාචාරයක – ජීව ධරණී ශිෂ්ටාචාරයක (Life sustaining civilization) – ලකුණු තැන් තැන්වල මතුවන එක්තරා සංක්‍රාන්තික අවධියකට මනුෂ්‍යයා වර්ගයක් වශයෙන් සේන්දු වී ඇති බව ඉතා පැහැදිලිව විද්‍යමානය. කෝවිඩ් 19 ගෝලීය වසංගතය විසින් මෙම නව සන්දර්භීය නැඹුරුව එක්තරා සුවිශේෂී ආකාරයකට අවධාරණය කරන්නේ යැයිද තවදුරටත් අපට කිව හැකිය.
නූතනත්වය අතික්‍රමණය කරන ජීවධරණී ශිෂ්ටාචාරයක නැගීම සමග ස්වභාවධර්මය සමග මිනිසාගේ ප්‍රති-සම්බන්ධනයක්ද (reconecting with nature) සිදුවෙමින් පවතින බවට ලකුණු විද්‍යමාන වේ, ඒ සමග නූතන ඇස පරිවර්තනය වෙමින් ජීවධරණී ඇසක්ද බිහිවෙමින් පවතී; මෙම නව ඇස වෙසෙසින්ම අද්‍යතන කලාවන් තුළ සෙමෙන් සෙමෙන් හෝ මතුවන ලකුණු විද්‍යමාන වෙමින් පවතී යැයිද කිව හැකිය. ඒ ඇසට ස්වභාවධර්මය වනාහී තවදුරටත් පරිභෝජන වස්තුවක් නොව තමාද ඇතුළත්- තමාගේම දිගුවක් වන – සප්‍රාණී පද්ධතිමය පැවැත්මකි.
මේ සඳහා ලාංකික උදාහරණයක් අවශ්‍ය නම් ලාල් හෑගොඩගේ කාව්‍ය අස්වැන්න ගත හැකිය. ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය නම් කෙරුණේ ‘මා මිනිසෙක් ඔබ ගඟක් නිසා’ යනුවෙනි! එය පළ වූයේ 20 වෙනි සියවස අග 1994 වසරේ තරම් ඈතකය. කාලය වශයෙන් බැලූ කල ජාත්‍යන්තර කලාවේ පවා මේ අලුත් ඇස නියෝජනය කරන පුරෝගාමි කලාකරුවෙක් සේ ලාල් හෑගොඩ මතුවන බවක් කීමේ වැරැද්දක් නැතැයි සිතමි. සිංහල කාව්‍ය තුළම එයින් පසු කාලයක, එනම් 21 සියවසේ මුල් දශකය අග තරමේ සිට බිහිවන නන්දන වීරසිංහගේ අලුත් කවි මේ ඇසේ ලකුණු පෙන්වන්නට පටන්ගෙන ඇතැයි කිව හැකිය. ඔහු විසින් කරන ලද පුරාණ චීන හා ජපන් කාව්‍ය මාර්ග පිළිබඳ දීර්ඝ හා ගැඹුරු අවලෝකනයන් ඔහුගේ නව සංවේදනයන්ට සමහර විට අනුප්‍රාණය දෙන්නට ඇතැයි අපට අනුමාන කළ හැකිය.
21 සියවස මුල සිට ජාත්‍යන්තර කලාවේද පාර-නූතන ධාරණාවන් මතුවෙමින් පවතී. නවකතා කලාවේ මේ නව්‍ය මාර්ගයට අයත් වෙසෙසින් ජාත්‍යන්තර මට්ටමින් කැපී පෙනෙන නිර්මාණයක් මා හිතන අන්දමට බිහිවන්නේ ඉතා මෑතදීයි; ස්වභාවධර්මය මානව ක්‍රියාකාරකම්වල හුදු පසුතලයක් ලෙස දකින දැක්ම පරයා ගොස් එය ප්‍රධාන චරිතයක් බවට පත්කරන පළමු නවකතාව සමහර විට ඔයැ The Overstory නම් නවකථාව විය හැකිය. රිචඩ් පවර්ස්ගේ පුලිට්සර් ත්‍යාගලාභී මෙකී විශිෂ්ට කෘතිය පළ වන්නේ 2018 තරම් මෑතකයි.
එනමුත් නොබෙල් ත්‍යාගලාභී පෝලන්ත ලේඛිකා ඔල්ගා තෝකර්ෂූක්ගේ 2019 වසරේ ඉංග්‍රීසි බසට පෙරළුණු (ඇය එය පෝලන්ත බසින් පළකොට තිබෙන්නේ ඊට කලින් 2010 වසරේ පමණය) Drive Your Plow Over Bones of the Dead නම් විශිෂ්ට නවකතාවද අනියම් අයුරකින් මෙකී සංවේදනා ප්‍රකාශ කරන බවක් කිව හැකිය. (එය 2020 වසර වනවිටම රශ්මික මණ්ඩාවල අතින් මරණයේ රළ නැගුම නමින් සිංහලට පෙරළනු ලැබීම අතිශයින් ප්‍රසාදජනක සිද්ධියකියි කියනු කැමැත්තෙමි.)
එමෙන්ම විචාර ලෝකයේද මෙකී නව සංවේදනා ගැන උනන්දු වන මාර්ගයක් ලෙස ecocriticism (ජීවවාස විචාරය) කළ එළි බසින්නේ ඉතා මෑතකයි. 21 සියවස මුල සිට වේගයෙන් වැඩෙන මේ විචාර මාර්ගය නූතන යුගයේ පමණක් නොව ඊට පෙර යුගවලත් සාහිත්‍ය කලා මෙන්ම දෘශ්‍ය කලා නිර්මාණ පිළිබඳ නාභිගත කියවීම් අපට ඉදිරිපත් කරමින් සිටි.
මේ පුළුල් සන්දර්භය තුළ තබා ලාංකික සිත්තර කලාව දෙස බලන විට ස්වභාවධර්මය/පරිසරය සමග වූ මානව සම්බන්ධය ගැන නව සංවේදනාවන් නාභිගත ආකාරයෙන් ප්‍රකාශ කරන්නට දරන මුල්ම ප්‍රබල වෑයම ප්‍රගීත් රත්නායකගේ Humanscape සිත්තම් සරණිය තුළින් කිසියම් අයුරකින් නියෝජනය වන්නේ යැයි කියනු කැමැත්තෙමි.
– සුනිල් විජේසිරිවර්ධන
