සභාපති සිවගුරුනාදන් හෙවත් සිවා සහෝදරයා හෙවත් ජීවමාන බුදුවරයෙකු බඳු අසිරිමත් මිනිසා… – මංජුල වෙඩිවර්ධන ලියයි

සිවගුරුනාදන් සහෝදරයා හෙවත් සිවා මට මුලින්ම මුණ ගැසෙන්නේ මීට වසර 32 කට පමණ ඉහතදී ‘විභවි’ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ය.

ජීවිතයේ එක් දිනකටවත් ජාතිවාදියෙකු, යුධවාදියෙකු නොවූ, අප ජීවත්වන සමාජය බහු ආගමික, බහු වාර්ගික මෙන්ම බහු සංස්කෘතික එකක් බව දිවි හිමියෙන් සැළකූ, ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වූ මා වැන්නෙකුට සිවා ව මුණ ගැසී නොතිබෙන්නට කිසිම හේතුවක් නැත.

මා ඉතා තරුණ වියෙහි සිටියදී, ජනවාර්ගික අර්බුධය එහි මුදුනෙහි තිබියදී යුධ විරෝධී මෙන්ම අන්තර් වාර්ගික සුහදබව වෙනුවෙන් බොහෝ කටයුතු වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් සහභාගී වූවන්ට සිවා ව ඒ හැම තැනකදීම දකිත හැකි විය. මන්ද ඒ අන්තර් වාර්ගික සුහදත්වයේ භාෂාත්මක පාලම හැමවිටම ගොඩ නැගුවේ සිවා සහෝදරයා විසින් බැවිණි.

සිවා සහෝදරයා අති විශිෂ්ට සිංහල – දෙමළ භාෂා පරිවර්තකයෙකු වූ අතර එතරම් විශිෂ්ටව හා එතරම් ක්ෂණිකව එම දෙබස පරිවර්තනය කළ අන් අයෙකු මෙතෙක් මට මුණ ගැසී නැත.

සිවා යනු ජීවමාන බුදුවරයෙකු වැනි මිනිසෙකි. අඩුවෙන් කතා කරන, වැඩියෙන් සවන්දෙන, කිසිවිටෙක කලබල නොවන, කෝප නොගැන්වෙන, සෞම්‍ය හඬින් සැවොම අමතන, අනෙකා වෙනුවෙන් කළ හැකි ඕනෑම දෙයකදී නොසැළෙන මේ නිහඬ, චාම් මිනිසා බුදුවරයෙකු ලෙස හැඳින්වීම කිසිසේත්ම නොකටයුත්තක් නොවේ.

දුටු දා සිට සිවා තවමත් එක වගේමය. කිසිදු වෙනසක් ඔහුගේ ශරීර ස්වභාවයේ, සරළ පැවැත්මේ, සන්සුන් බවෙහි නැත. මීට මාස කිහිපයකට පෙර ‘විභවි’ මිතුරු මිතුරියන් වෙත අප නිවසේ පැවති ප්‍රිය සම්භාෂණයකදී ද මා පැසුවේ ‘සිවා නම් කවදාවත් වෙනස් නොවන කෙනෙක්’ කියා ය.

වයස 21 ක් තරම් තරුණ වයසේදී මම තටම තටමා තනිවම දෙමළ භාෂාව ඉගෙන ගනිද්දී මට බොහෝ විට ගුරුවරයෙකු වූයේ සිවා ය. එකල මට තරමක් හොඳින් දෙමළ ලිවීමට, කියවීමට හැකියාව තිබුණේ සිවා දැමූ ඒ මුල් පදනම් නිසා ය.

සිවා වෙනුවෙන් පොතක් ලියන්න තරම් දේ ඇත.

තමා ජීවත් වූ සමජයට, එහි ජීවත්වන මිනිසුන්ට අප්‍රමාණව ආදරය කළ, යුද්ධය, ගැටුම අනුමත නොකළ, අන්තර් වාර්ගික සාමය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ මේ ජීවමාන බුදුවරයා වෙනුවෙන් අද දින පැවැත්වෙන උපහාර උත්සවයට හැකි හැම කෙනෙක්ම පැමිණෙන්න.

සිවා ව නොදැන සිටියවුන් හැකිනම් පැමිණ මේ අසිරිමත් මිනිසාව දැක, හඳුනා ගන්න.

*

පහතින් අමුණන්නේ අද උදෑසන මංජුල වෙඩිවර්ධන මිතුරා වට්සැප් කර තිබූ සිවා වෙනුවෙන් ඔහු ලියූ කවියකි.

සිවා
——-

විවරණ ලැබුණු තැන සනුහරයක් මැද්දේ
තිසරණ සරණ පරිචය නැතුවද ලද්දේ
විසිරුණ මතක මැද විසිරෙන්නැති සද්දේ
වියරණ බිඳුණු දෙබසකි ඔබ පිරිමැද්දේ

වසන්තෙට කලින් එරබදු පිපෙනකොට
ඇසක් ඇසක් පාසා රතු කඳුළු කැට
බසක් ඇසක් වූයෙ ම කවියට අපට
වසක් විසක් නැති ඔය හඬ කරණකොට

තිස්තුන්කෝටියක් උන්නත් මුරකාමී
දෙයියෙක් කොහිද ඔය හද තරමට දෑමී
කැල්මෙන් දෙ ඇස් නලවන සිවගුරුසාමී
කොයියම් බසත් ඔබ ළඟ අවනතකාමී

– මංජුල වෙඩිවර්ධන අන්තර්ජාලයට එකතු කරන ලද සටහනක් උපුටා ගන්නා ලදී. අයිතිය ඔහු සතුය.
2024 අගෝස්තු 28

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading