ශ්‍රී ලාංකිකයන් අන්දුන්කුන්දුන් කළ අවුරුද්දේ ශේෂපත්‍රය! කැවිල්ලේ සිට කිරිබතට අධි මිල ගණන් සහ සොච්චම් වැටුපේ කතාව!

කැවිලිවලට ගන්න හාල්පිටි මිලත්, සීනි මිලත් 180 ගුණයකින් වැඩි වෙලා

ලුණුමිරිසට ලූණු ගන්නත් බැරි තත්ත්වයක්

කෙසෙල් මිල 300 ගුණයකින් ඉහළට

(තරිඳු ජයවර්ධන)

සිංහල දෙමළ අලුත් අවුරුද්ද මෙවර ශ්‍රී ලාංකිකයන් අන්දුන්කුන්දුන් කරනවන අලුත් අවුරුද්දක් බවට පත්වූයේ නැකත් සීට්ටුවේ ගැටලුව නිසාම නොවේ. දෙපිළ බෙදී නක්ෂශ්‍රකරුවන් නැකැත් සීට්ටු සෑදුවේ එවැනි නැකැත් සීට්ටුවලට අනුව අවුරුදු සැමරීමට තරම් ආර්ථික තත්ත්වයක් ශ්‍රී ලාංකිකයන්ට නොමැති වටපිටාවකය.  එවැනි වටපිටාවක රජයේ දේපොළ අවභාවිත කරමින් ජනාධිපතිවරයා එස්.එම්.එස් මගින් මහජනතාවට සුබ පැතුවේ සාමය සහ සතුට ප්‍රාර්ථනා කරමිනි. ඒ ජනාධිපතිවරයාගේ එකම සතුට පුරවැසියා බඩගින්නේ අවුරුදු සමරනවා දැකීම නිසාදැයි දන්නේ ඔවුන්ම පමණි.

අවුරුදු කැවිලි

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ ප්‍රධානම අංගයක් වනුයේ අවුරුදු කැවිලි මේසයයි. අතීතයේ සිට අලුත් අවුරුදු උදාවත් සමග පවුලේ සියලු දෙනා එකම වේලාවක එකම ස්ථානයකට එක්වී නැකතට කිරිබත් අනුබව කිරීම සිදුකරන අතර කිරිබත් සමග කොකිස්, අතිරස, මුං කැවුම් ආදී කැවිලි සෑදීම සිදු කරයි.

කැවිලි සඳහා ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කිහිපයකි. හාල්පිටි, පොල්තෙල් සහ සීනි ඉන් ප්‍රධාන වේ. හාල් පිටි කොටා ගැනීමට ගන්නා සුදු කැකුළු සහල් කිලෝවක මිල රජයේ ලේඛනවලට අනුව රුපියල් 210ක් වන අතර සාමාන්‍ය කඩයක  සුදු කැකුළු කිලෝවක මිල 230ක් පමණ වේ. 2019 වසරේ අලුත් අවුරුදු සමරද්දී සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 75කි. වසර පහක් යද්දී සුදු කැකුළු කිලෝවක මිල සියයට 180කින් වැඩි වී තිබේ. කිරිබත් සඳහා ද ගන්නේ සුදු කැකුළු බැවින් මෙවර අලුත් අවුරුදු කිරිබත සඳහා දැරීමට වන වියදම 2019 වසරේ සුදු කැකුළු මිල මෙන් 180 ගුණයකි.

ඇතැම් කැවිලි වර්ග සකස් කිරීම සඳහා පැණි යොදා ගත්තද පැණි සඳහා වන වියදම තවත් වැඩි නිසා ඒ වෙනුවට යොදා ගන්නේ සීනි ය. මේ අලුත් අවුරුද්ද සමරද්දී සීනි කිලෝවක මිල රජයේ සංඛ්‍යාලේඛන අනුව රුපියල් 280කි. 2019 අලුත් අවුරුදු සමයේ සීනි කිලෝවක මිල රුපියල් 100කි. ඒ අනුව සීනි කිලෝවක් 2019 වසරට සාපේක්ෂව සියයට 180කින් වැඩි වී තිබේ.

කැවිලි වර්ග බැද ගැනීම සඳහා අත්‍යවශ්‍යම පොල්තෙල් ලීටයක මිල මේ අවුරුදු සමයේ රජයේ ලේඛනවලට අනුව රුපියල් 593කි. එය 2019 වසරට වඩා රුපියල් 233ක වැඩිවීමකි.

කැවිලි සඳහා අත්‍යාවශ්‍ය මෙම ද්‍රව්‍ය තුනෙහි මිල වැඩිවීම 2019 වසරට සාපේක්ෂව පහත ප්‍රස්ථාරයේ දැක්වේ.

වර්ගය20192024වැඩිවීමප්‍රතිශතය
සුදු කැකුළු75210135180
සීනි100280180180
පොල් තෙල්36059323364.72222

කෑම මේසය

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ කැවිලි මේසයෙන් පසු නෑගම් යෑම සිදු කරන අතර පවුලේ සියලුදෙනා එකතුව ආහාරවේලක් දීම පෙර සිට පැවැති සම්ප්‍රදායකි. වර්තමානයේ බඩුමිල වැඩිවීමත් සමග කැවිලි මේසය තියා අඩු තරමේ බත් සහ සරල කෑම ටිකක් සමග කෑමවේලක් දීමට පවා නොහැකි තත්ත්වයක බොහෝ දෙනෙක් සිටිති.

බත් පිසීම සඳහා සම්බා සහල් කිලෝවක මිල (රජයේ ලේඛන අනුව) රුපියල් 260කි. එය 2019 වසරට සාපේක්ෂව රුපියල් 165ක වැඩිවීමකි. අලුත් අවුරුද්දට පෙර සහල් මිල අඩු කරන ලෙස බල කරමින් පසුගිය සතියේ උතුරු නැගෙනහිර පළාත්වල කාන්තාවෝ පාරට බැස විරෝධතා පැවැත්වූහ. ඒ ඇතැම් පවුල්වලට දිනකට එක වේලක් කෑමටවත් සහල් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගත වී ඇති හෙයිනි.

මීට වසර පහකට පෙර එනම් 2019 අලුත් අවුරුද්ද සමරද්දී රුපියල් 120කට තිබූ පරිප්පු කිලෝවක මීල මේ වසරේ අවුරුදු සමය වන විට රුපියල්  320කි. පරිප්පුවල වසර පහට රුපියල් 200කින් වැඩිවී ඇති අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 166කි. බෝංචි කිලෝවක් මේ වසරේ රුපියල් 320ක් වෙද්දි වට්ට්කා කිලෝවක මිල රුපියල් 240. කැරට් කිලෝවක මිල රුපියල් 360ක් වන අතර පතෝල කිලෝවක මිලද රුපියල් 360කි. එලවළුවල 2019 මිල සහ 2024ත් මිල සංසදනයක් පහත දැක්වේ.

වර්ගය20192024වැඩිවීමප්‍රතිශතය
බෝංචි130320190146.1538
කැරට්110360250227.2727
තක්කාලි70240170242.8571
බණ්ඩක්කා110480370336.3636
වට්ටක්කා100240140140
පතෝල115360245213.0435

මෙවර අවුරුදු කෑම මේසය සකස් කිරීමට තබා කිරිබත් සඳහා ලුණුමිරිස් සකස් කර ගැනීමටත් අපහසු තරමට ලොකු ලූණු මිල වැඩිවී තිබේ. 2019 වසරට සාපේක්ෂව මෙම අලුත් අවුරුද්දේ ලොකු ලූණු මිල වැඩිවීම සියයට 405කටත් වැඩිය. එනම් 2019 වසරේ රුපියල් 95ට පැවැති ලොකු ලූණු කිලෝවක දැන් මිල රුපියල් 480කි. රජයේ සංඛ්‍යාලේඛන අනුව මිල එසේ වුවද සාමාන්‍ය සිල්ලර කඩවල ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 500 ඉක්මවා තිබේ.  රතු ලූණු කිලෝවක් 2019 වසරේ දී රුපියල් 120ක් වෙද්දී 2024 අප්‍රේල් වනවිට රුපියල් 220කින්  එය වැඩි වී තිබේ.

දේශීය අල කිලෝවක මිල මෙම වසරේ රුපියල් 360් වන අතර ආනයණික අල කිලෝවක මිල රුපියල් 180කි. එම වර්ග දෙකේම 2019ට සාපේකෂව මිල වැඩිවීම පිළිවෙළින් සියයට 118ක් සහ සියයට 71ක් වේ. 2019 අප්‍රේල් අලුත් අවුරුද්දට කිරිබත් පිසීම සඳහා රුපියල් 50ට මිලදී ගත් පොල්ගෙඩියක මිල මේ අලුත් අවුරුද්ද වෙද්දී රුපියල් 125 දක්වා වැඩි වී ඇත. එදා රුපියල් 20ට ගත් බිත්තරයක දැන් මිල රුපියල් 45කි.

මාළු වර්ගවල මිලද මේ වසර වෙද්දී විශාල ගණනකින් වැඩි වී තිබේ. එම වැඩිවීම පිළිබඳ විස්තර පහත ප්‍රස්ථාරයේ දැක්වේ.

වර්ගය20192024වැඩිවීමප්‍රතිශතය
කෙලවල්ලා850158073085.88235
තලපත්100021001100110
බලයා50086036072
ඉස්සෝ80019501150143.75
සාලයා230540310134.7826
හුරුල්ලා42075033078.57143

පළතුරු මිලත් අහස උසට

සියලුම කෑමබීම වර්ගවල මිල විෂාල ප්‍රමාණවලින් වැඩි වෙද්දී මේ අලුත් අවුරුද්දේ පළතුරුවල මිලද පසුගිය වසරවලට වඩා වැඩි අගයක් ගනී. එම වැඩි වීම ගැන විස්තර පහත වගුවේ දැක්වේ.

 20192024වැඩිවීමප්‍රතිෂතය
ඇඹුල් කෙසෙල්80320240300
ගස්ලබු75280205273.3333
අන්නාසි130850720553.8462
ඇපල්40250210525
දොඩම්50250200400

වැටුප් වැඩිවීම

අලුත් අවුරුද්දේ අත්‍යවශ්‍ය බොහෝ ද්‍රව්‍ය සහ අමුද්‍රව්‍යවල මිල විශාල ප්‍රමාණවලින් ඉහළ ගියද පුද්ගලයන්ගේ වැටුප ඊට සාපේක්ෂව වැඩි වී නැත. මෙම වැඩි වූ බඩු මිලට සාපේක්ෂව වැඩි වී ඇත්තේ මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප පමණක් වීම විශේෂත්වයකි. බඩු මිල වැඩිවීමත් සමග පෙර පරිදිම අලුත් අවුරුද්ද සැමරීමට හොඳටම හැකියාව ඇත්තේ ඒ අනුව මහබැංකු සේවකයන්ටත්, රජයෙ ආයතන මිලදී ගැනීමට බලා සිටින කුප්‍රකට ව්‍යාපාරිකයන්ට සහ දේශපාලනඥයන්ටත් පමණි.

රටේ තත්ත්වය මෙවැනි වාතාවරණයක තිබෙද්දී ජනාධිපතිවරයා සුබ පැතුම් පණිවුඩ එවන්නේ ජනතාවට කෙසේ වෙතත් ‘පිනට‘ ලැබුණු ජනාධිපතිකම නිසා ඔහුගේ සහ මිතුරු කැලගේ අවුරුද්ද සුබ නිසා විය යුතුය.

(මෙ ලිපියට අදාල සියලු සංඛ්‍යා ලේඛන මහ බැංකුව මගින් ප්‍රසිද්ධියට පත් කරන වාර්තා මගින් ලබාගෙන ඇත. සංඛ්‍යා සංසන්ධනය කර ඇත්තේ 2019 අප්‍රේල් 09 වැනිදාට අදාලව සහ 2024 අප්‍රේල් 09 වැනිදාට අදාලව බවත්, මහ බැංකු සංඛ්‍යා ලේඛනවල පෙන්වන ගණනට වඩා වර්තමාන වෙළඳපොළ මිල යම් යම් ප්‍රමාණවලින් වැඩි බවත් සැලකිය යුතුය.)

Author

1 Comment

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading