මහාචාර්ය සරත් චන්ද්‍රජීව
පුරාණ තවලම් මාර්ග ඔස්සේ, ඉන්දියානු කුළුබඩු සහ අනෙකුත් භාණ්ඩ මෙසපොතේමියාව, ඊජිප්තුව, ඉතාලිය සහ ග්‍රීසිය වෙත ප්‍රවාහනය කරන ලද අතර එම රටවලින් ද විවිධ භාණ්ඩ ඉන්දියාවට ප්‍රවාහනය කරන ලදී. එබැවින් පුරාණ භාරතය ලෝකයේ ඈත ප්‍රදේශ සමඟ සබඳතා පැවැත්වූ බව පැහැදිලිය.

ඉන්දියාවේ ඍෂිවරුන්ගේ දර්ශන හා ආගමික දර්ශන සමග තොරතුරු ද මෙම වෙළඳ මාර්ග හරහා ලොව පුරා පැතිර ගිය බවට විශ්වාස කෙරේ. ඉන්දියාවට ද පිටතින් එලෙසම දැනුම් සම්භාරයක් එම වෙළෙඳ මාර්ග ඔස්සේම පැමිණෙන්නට ඇතැයි සිතිය හැකිය.
භාරතය හෙවත් ඉන්දියාව යනු අසංඛ්‍යාත දෙවියන් පිළිබඳ සංකල්ප, තාපසයන්, ඍෂිවරුන්, අධ්‍යාත්මික ගුරුවරුන් සහ බොහෝ ආගම් නිර්මාණය කර ඇති විශාල සංස්කෘතික විවිධත්වයකින් යුත් දේශයකි.
ක්‍රි. පූ. 5 වන සියවස වන විට ශතවර්ෂ කිහිපයක් තිස්සේ ඉපැරණි ඉන්දියාව තුළ සංවර්ධනය වී තිබූ දේශපාලන පරිපාලන රටාව හා මෝක්ෂය සාක්ෂාත් කරගැනීම පිණිස ශතවර්ෂ ගණනාවක් තිස්සේ වෑයම් කළ ආධ්‍යාත්මක ගවේශන රටාව යන කරුණු දෙක වගේම ඒ වන විට තිබූ අවට ලෝකය පිළිබඳව නිරීක්ෂණය කිරීම ගෞතම සිද්ධාර්ථ බුදුවරයා තේරුම් ගැනීමට බෙහෙවින් ඉවහල් වේ.
කුඩා ග්‍රාම මට්ටමේ සිට ඉහළ රාජ්‍ය පාලනය දක්වා මහජනයාගේ අදහස් හා ප්‍රශ්න සැලකිල්ලට ගන්නා ලද දේශපාලන පරිපාලන ක්‍රමයක් උතුරු ඉන්දියාවේ වැඩිපුර භූමි කලාපයක් තුළ ක්‍රි. පූ. 5 වන සියවස වන විට ගොඩනැගී තිබුණි.

කුඩා ජනරජ විශාල ජනරජ සමඟ සහයෝගයෙන් කටයුතු කළ අතර කුඩා ජනවාර්ගික රාජධානි දේශීය ස්වයං පාලනයක් භුක්ති විද තිබේ. සෑම ජනවාර්ගික කණ්ඩායමක්ම සිය පාලක මණ්ඩලය තුළ නායකයින් ලෙස ගෘහාශ්‍රිත මූලිකයන් හා කැපී පෙනෙන පුද්ගලයින් නියෝජනය සදහා තෝරා ගෙන තිබේ.
මෙම සෑම නායකයෙකුම නිශ්චිත දිනයක පවත්වන ලද රැස්වීම්වලට සහභාගී වූ අතර එහි අරමුණ වූයේ ඔවුන්ගේ ගැටළු සහ දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කර තීරණ ගැනීමයි. රැස්වීම් ශාලාව ‘සන්තාගාර’ ලෙස නම් කරන ලදී. විධායක ප්‍රධානියා හෝ රජු සහ අමාත්‍ය මණ්ඩලය අවසන් තීරණ ගන්නා සංයුතිය විය. සන්තාගාරවල පැවති නිත්‍ය රැස්වීම්වලින් එවන ලද මහජන ගැටලු පිළිබද සාකච්ඡාවලට සහභාගි වීමට, සවන් දීමට සහ ගැටලු විසඳීමට රජුට සහ අමාත්‍ය මණ්ඩලයට බලය පැවරිණි.මෙම රාජ්‍යයන් හඳුන්වන ලද්දේ ජනපද සහ මහජනපද යනුවෙනි.
මෙම ක්‍රමය තුළ වැඩ වසම් රාජාණ්ඩු ලක්ෂණ වෙනුවට ජනසම්මතවාදී පාලන රටාවක් ක්‍රියාවට නගා තිබුණු අතර රජු සහ අමාත්‍ය මණ්ඩලය මහජන අවශ්‍යතා විමසීමට ලක්කරමින් සිය ප්‍රදේශ පාලනය කරන ලදි.
මෙම කුඩා ජනරජ සහ මහාජනපද ක්‍රි.පූ. හත්වන සියවස සිට රාජාණ්ඩු බවට පරිණාමය වී ඇත. මෙම රාජාණ්ඩු අතරින් විශාලතම රාජධානි වූයේ කාසි, කෝසල, මගධ, සහ වජ්ජි ය. කුඩා රාජධානි වූයේ කාම්බෝජ, ගන්ධාර, කුරු, පංචාල, මල්ල, අංග, වත්සා, මත්ස්‍ය, සූරසේන, අවන්ති, චේදි හා අස්මක යන පාලන කලාපයන්ය.
ඇතැම් අවස්ථාවල මෙම ජනරජ අතර එකිනෙකාට එරෙහිව තරඟකාරී ස්වරූපයන් ද ගොඩනැගී තිබුණි. ශතවර්ෂ දෙකකට වැඩි කාලයක් මෙම පාලන විධි ක්‍රමය සහිත ප්‍රදේශ විවිධ නම්වලින් හා වපසරිය කුඩා වෙමින් හා ලොකු වෙමින් ඉන්දියාව තුළ වැඩී තිබේ.
ව්‍යාකරණ හා වාග් විද්‍යා ශාස්ත්‍ර පඩිවරයෙකු වූ පානිනී විසින් ක්‍රි.පූ. 400 සහ 350 අතර ලියා ඇති ඔහුගේ ‘ව්‍යාකරණ’ නම්වූ ග්‍රන්ථයේ ජනරජ වර්ග දෙකක් සඳහන් කරයි. ඒවා ඔහු නම් කර ඇත්තේ ‘සංඝ සහ ඝණ’ යනුවෙනි. සංඝ යනු කුඩා ජනපදත් ඝණ යනු මහා ජනපදත් මෙයින් අර්ථ නිරූපිතය.
ක්‍රි.පූ. 6 වන සියවස වන විට රෝමවරුන් අතර ද ජනරජ සංකල්පය ක්‍රියාවට නගා තිබුණි. ‘ජනරජය’ (republic) යන වචනය ව්‍යුත්පන්න වී ඇත්තේ ලතින් භාෂාවේ රෙස් පබ්ලිකා (res-publica) හෙවත් ‘පොදු දේ’ යන අරුතිනි. එය ක්‍රි.පූ. 6 වන සියවසේදී ලුසියස් ජූනියස් බෲටස් සහ කොලටිනස් විසින් රෝමයෙන් රජවරුන් නෙරපා හැරීමෙන් පසුව ඇති වූ පාලන ක්‍රමයයි. එය ඉපැරණි ඉන්දියානු ජනසම්මතවාදී ක්‍රමයට සමාන විය.
ඒ අනුව, උතුරු බිහාර් සහ ගෞතම සිද්ධාර්ථගේ පාරම්පරික නිවහන වූ හිමාලයේ ටෙරායි ප්‍රදේශය ස්වාධීනව තේරී පත් වූ ප්‍රධානීන් සහිත ජනවර්ග සමූහාණ්ඩු ගණනාවකට බෙදී තිබුණේය. බුදුන් වහන්සේගේ ජීවමාන කාලය තුළ ඉන්දියානු උපමහාද්වීපය රාජධානි දහසයක් හෙවත් ජනරජ පිහිටා තිබුණේ පුරාණ ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ නැගෙනහිර සිට බටහිර දක්වා විහිදුණු සාරවත් ඉන්දු-ගංගා නිම්නයේ ය.
බුද්ධ කාලයේ තිබූ ජනසම්මතවාදය පිළිබද ප්‍රසිද්ධ මූලාශ්‍රය වන්නේ නේපාලය ආශ්‍රිතව තිබූ ලිච්ඡවි වරුන්ගේ පාලන තන්ත්‍රයයි. මෙම කාලයේම ග්‍රීසියේ ප්ලේටෝ (ක්‍රි.පූ. 428-348) ඔහුගේ සුප්‍රකට රිපබ්ලික් (The Republic) නම්වූ ලේඛනය ප්‍රකාශයට පත්කර තිබුණි. මෙයින් මහජනයාගේ ප්‍රීතිය උදෙසා යුක්තිය සහ නීතියේ පාලනයක් යෝජනා කෙරිණි.
එමෙන්ම සියලු දේවල හොද හා නරක දන්නා පාලන කුමයක් සහිත රටවැසියන් ආරක්ෂා කරන සේවා සහ භාණ්ඩ සපයන කාල්පනික නගරයක් පිළිබද සංකල්පය ද ප්ලේටෝ විසින් ඉදිරිපත් කරන ලදි. මේ හා සමානව චීනයේ කොන්ෆියුසියස් ද (ක්‍රි.පූ. 551- 479) ලා-ඕට් චි ද (ක්‍රි.පූ.6-5), නීතියේ පාලනයක වැදගත්කම සිය ඉගැන්වීම්වල අවධාරණය කර තිබුණි.
ගෞතම සිද්ධාර්ථ කුමරා උපදින අවධියේ පැවති මෙම මානව හිතකාමී දේශපාලන ක්‍රමය නිසා යහපත් පාලකයෙකු හෙවත් දසරාජධර්මය අනුගමනය කරන ‘සක්විති රජ’ කෙනෙකුගේ ආගමනය පිළිබද විශාල මතයක් ඉන්දියාවේ පැවත තිබේ. සිදුහත් කුමාරයා උපන් වෙලාවේ කුමාරයාගේ දේහ ලක්ෂණ පරික්ෂා කිරීමට පැමිණි අනාවැකි කියන බ්‍රාහ්මණයන් කුමාරයා ගිහි ගෙයි සිටියහොත් ඔහු ‘චක්‍රවර්ති’ රජ කෙනෙකු බවට පත්වන බව ප්‍රකාශ කරන්නේ මේ පසුබිම මතය.
ඉන්දු ගංගා මිටියාවතේ අවුරුදු දහස් ගණනක් තිස්සේ වර්ධනය වූ ‘සනාතන ධර්ම’ න්‍යායන් ලේඛනගත කර ඇති වෛදික, පුරාණම් සහ උපනිෂද් ඉගැන්වීම්වලින් ගොඩනැගුණු ආගමික විශ්වාස මගින් ‘මෝක්ෂය’ සොයා යෑම ආධ්‍යාත්මික ඉලක්කයක් බවට පත්ව තිබුණි. මෙහි දළ ආරම්භය ක්‍රි.පූ. 2500 දක්වා ඈතට ගමන් කරයි. දෙවියන්ට පුද පූජා පැවැත්වීම, ස්තෝත්‍ර ගායනා කිරීම, යාග පැවැත්වීම ඉන් එක් මාර්ගයක් වූ අතර අධික සැප සම්පත් බුක්ති විඳීම හෙවත් ‘කාමසුකල්ලිතානු යෝගය’ දෙවැනි මෝක්ෂ මාර්ගය විය. සියලූ සම්පත් සහිත, දරුපවුල් හැරදමා වනගතව ආධ්‍යාත්මික සුවය සඳහා යෝගී ස්වරූපයකින් ශරීරයට දුක්දීම තුන්වැනි මෝක්ෂ සෙවීමේ ක්‍රමය විය. එය ‘අත්තකිලමතානු යෝගය’ නම් විය. ක්‍රි.පූ. 5 වන සියවසේ ගංගා ගගේ මිටියාවත් සහ වන ලැහැබ් මෙවැනි සාධුවරුන්ගෙන් පිරී පැවති යුගයකි. මෙසේ ගිය බොහෝ දෙනෙක් අතර රාජකීයන්, පඩිවරුන් සහ උගතුන් ද විය.
ගෞතම සිද්ධාර්ථ ද අනුගමනය කළේ මේ තුන්වන ක්‍රමයයි. සිද්ධාර්ථ තවුසාගේ දුෂ්කර ක්‍රියාව එහි ‘අත්තකිලමතානු යෝගයේ’ උපරිම තත්වයකි.
ඉන්පසුව සිද්ධාර්ථ තවුසා තමාගේම ක්‍රමයක් ලෙස ඉහත සඳහන් ක්‍රමවේද තුනම අතහැර මැද මාවතට (මජ්ජිමපටිපදාව) පැමිණ එය අනුගමනය කරමින් බුද්ධත්වය සාක්ෂාත් කරන ලදි. ගෞතම සිද්ධාර්ථ තවුසාට ‘බුද්ධ’ හා ‘ගෞතම ශාක්‍යමුනි’ යන නාම පිරිනමනු ලැබුවේ එකල සමාජය විසින්ය. උන්වහන්සේ තමන් හඳුන්වා දුන්නේ ‘තථාගත’ යනුවෙනි.
ඉන්දියානු සමාජයේ එකල පැවති මේ ආධ්‍යාත්මික ප්‍රවණතාවය නිසා එහි අග්‍ර ඵලය ලෙස බුදුවරයෙකු පහළ වන බව සමාජය පුරා පැතිර තිබුණි. සිද්ධාර්ථ කුමාරයා උපන් වෙලාවේ කුමාරයා ගිහිගෙය හැර ගියොත් බුද්ධත්වයට පත්වන බවට දෛවඥයන් අනාවැකි කියන්නේ මේ දෙවන පසුබිම මතය.
ගෞතම සිද්ධාර්ථගේ සමකාලීනයෙකු වන මහාවීර ද (ක්‍රි.පූ. 599-527) ඉන්දියානු ක්ෂත්‍රීය කුලය හෙවත් රණකාමීන්ගේ කුලයේ ඉපදී වයස අවුරුදු 30 දී ගිහිගෙය හැර තැන තැන යමින් සිගා කා ජීවත් වන සාධුවරයෙකුගේ තත්වයට පත්විය. වසර 12ක ශරීරය ප්‍රතික්ෂේප කිරීමේ තපස් ජීවිතය තුළින් ‘අරහත්’ භාවයට පත්වන මහාවීර ශ්‍රාවකයන් 12 දෙනෙකු මගින් සිය ඉගැන්වීම් තම ජීවමාන කාලයේම ලේඛනගත කර තිබේ. මහාවීර තාපසයා තේරුම්ගැනීම සිද්ධාර්ථ තාපසයා තේරුම් ගැනීම සඳහා හොඳම මාර්ගය වේ. සිද්ධාර්ථ කුමාරයා ද ගිහිගෙය හැර යන්නේ මහාවීර කුමාරයා මෙනි. මහාවීර ශාන්තුවරයෙකු බවට පත්වීමෙන් පසු එතුමාව ජෛනවරුන් හැඳින්වූයේ ‘තීර්තංකර’ ලෙසයි. ඉන් පෙර සිටි තීර්තංකරවරයා ක්‍රි.පූ.800 බරණැස විසූ පර්ෂවනාථය. මෙම තීර්තංකරවරයා ජෛන ආගම අනුව 23 වන විමුක්ති දායකයාය. මහාවීර තීර්තංකරවරයා හඳුන්වන්නේ 24වන තීර්තංකරවරයා ලෙසයි. ජෛන සූත්‍රවල බුදුන්වහන්සේ ගැන ද උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් ගැන ද සඳහන් වේ. බුදුන්ගේ දේශනා මුඛ පරම්පරාවෙන් තිබී ශතවර්ෂ ගණනාවකට පසු ලේඛනගත කිරීම නිසා අතිශයෝක්ති සහ වර්ණනාවලින් දූෂ්‍ය තත්වයට පත්ව ඇති හෙයින් ආරම්භක ඉගැන්වීම් තෝරා බේරා සැලකිල්ලෙන් ගත යුතුව තිබේ.
මෙම කාලය ලෝකයේ බොහෝ තැන්වල ද ආධ්‍යාත්මික පිබිදීමක් තිබූ වකවානුවක් ලෙස හදුනාගත හැකිය. ඉපැරණි ඉන්දියාව එහි කේන්ද්‍රස්ථානය විය. චීන විශ්වාස අනුව තාඕ වාදයේ නිර්මාතෘවරයා වන ලා-ඕට් චි ද චීනයෙන් ස්වයංව පිටුවහල් වී බුදුන් සොයා ඉන්දියාවට සංක්‍රමණය වූ බව කියැවේ. තවද, මේ කාලයේ පර්සියානු (වර්තමාන ඉරානය) අධිරාජ්‍යය යටතේ අතිශය මානුෂීයවාදී දහමක් වන ‘සරතෘෂ්වාදය’ සයිරස්, ග්‍රීසිය, ඊජිප්තුව හා උතුරු ඉන්දියාව දක්වා ව්‍යාප්තව තිබුණි.
පැරණි බයිබලයේ සදහන් ‘වැලපෙන අනාගතවක්තෘ’ ලෙස හැදින්වෙන ජෙරෙමියා (ක්‍රි.පූ. 586-538), බැබිලෝනියාවේ යුදෙව්වන්ට අවිහිංසාව පිළිබඳ දේශනා කරමින් අහිංසක සතුන්ගේ ලේවලින් දෙවියන්ගේ පූජාසනය ස්නානය කිරීමේ ඵලදායිත්වය කුමක්දැයි ප්‍රශ්න කළේය. එමෙන්ම ඊශ්‍රායෙලයේ දිවැසිවරයෙක්වූ එසකියෙල් (ක්‍රි.පූ. 622-570) දේශනා කරමින් ජෙරුසලමේ විනාශය ගැන ද අනාවැකි පළ කළේය.
සිය වයස අවුරුදු 40 දී, පයිතගරස් (ක්‍රි.පූ. 570-495) නැගෙනහිර ඒජියන් හි සමොස් දූපතේ ඔහුගේ උපන් ස්ථානයෙන් පිටත්ව දකුණු ඉතාලියේ ක්‍රෝටන් වෙත ගමන් කර එහිදී ආධ්‍යාත්මික ඉගැන්වීම් පාසලක් ආරම්භ කළ අතර තපස් ජීවන රටාවක් ගත කර තිබේ. තම ශ්‍රාවකයන්ට අමරණීයභාවය ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව උපදෙස් දුන් පයිතගරස් ‘ආත්ම සංක්‍රමණය’ සමඟ පුනරුත්පත්තිය පිළිබද අදහස් හඳුන්වා දුන්නේය.
ක්‍රිස්තු පූර්ව 535 සහ 475 අතර ජීවත් වූ හෙරක්ලිටස් සිය දර්ශනය ග්‍රීසියේ දේශනා කළ දාර්ශනිකයෙක් ලෙස සැලකේ. ‘සියල්ල ගලා යන අතර කිසිම මිනිසෙක් එකම ගඟකට දෙවරක් නොබසින්නේය.’ යනුවෙන් දේශනා කළ හෙරක්ලිටස්ගේ දර්ශනයේ කේන්ද්‍රීය සංකල්පය වූයේ ප්‍රතිවිරුද්ධ දේවල එකමුතුකම සහ වෙනස් වීමේ සිද්ධාන්තයයි.
බුදුන්ගේ ඉගැන්වීම් විද්‍යාත්මක සැකිල්ලකට ගොනුකර ඇතිබව විද්‍යාමාන වේ. හේතුව, මාර්ගය සහ එහි ඵලය ලෙස එය කොටස් තුනකින් සමන්විතය. හේතුව චතුරාර්ය සත්‍ය වන අතර මාර්ගය සංයුක්තවූ විධි අටකින් සමන්විතය. ඵලය ආරම්භයේ සිට අවසානය දක්වා පියවර හතරකින් ද අවසාන ඉලක්කය අරහත්භාවය අවබෝධ කර සාක්ෂාත් කරගැනීම ලෙසත් සම්පිණ්ඩනය කළ හැකිය. මෝක්ෂය වෙනුවට ‘නිර්වාණය’ ආදේශ කළ බුදුන්ගේ පළමු දේශනාව වූ ධර්ම චක්‍රය ක්‍රියාත්මක කිරීම හෙවත් ‘දම්මචක්කපවත්වන සූත්‍රය’ මේ සියලූ කාරණා අඩංගු දේශනා වන්නේය. ඇතැම් බුද්ධිමතුන් හා භික්ෂූන් විශ්වාස කරන්නේ මෙම දේශනය විනාඩි 10-15 ත් අතර කාලයකින් දේශනා කළ බවයි. එය ශ්‍රවණය කර කොන්ඩඥ භික්ෂුව අරහත්භාවයට පත්වූ බවට කියැවේ. ඉතිරි අයගේ අවබෝධය සඳහා ‘අනත්ත ලක්ෂණ සූත්‍රය’ ඉන්පසුව දේශනා කිරීමෙන් ඒ අය ද අරහත් භාවයට පත්වූ බව සඳහන් වේ. අනත්ත ලක්ෂණ සූත්‍රය මෙන් අනිකුත් සූත්‍ර සියල්ලම ප්‍රධාන දේශනාව හෙවත් ‘දම්මචක්කපවත්වන සූත්‍රය’ පැහැදිලි කිරීම සඳහා දේශනා කරන ලද අවශේෂ සූත්‍ර බව පිලිගනු ලැබේ.
බුදුන් විසින් ජනපදවල තිබූ පාලන තන්ත්‍රය හෙවත් පහළ සිට ඉහළට සබඳතාවය පැවැත්වූ සන්තාගාර ක්‍රමය භික්ෂු සමාජය සඳහා ද ආදේශ කර තිබුණි. මගධ හා කෝසල රාජධානි කේන්ද්‍රව පා ගමනින් තැනින් තැන යමින් දේශනා කළ බුදුන් දකුණු ඉන්දියාවට පැමිණ නැත. එමෙන්ම උතුරු ඉන්දියාවෙන් පිටතට ගමන් නොකළ බව දිගුකාලීනව සිදුකළ පර්යේෂණ මගින් තහවුරු කර තිබේ.
බුද්ධ පරිනිර්වාණයෙන් වසර 300කට පමණ පසු ක්‍රමයෙන් බුද්ධ චරිතය ඍධි ප්‍රාතිහාර්ය සමග මුසුකර ආශ්චර්යජනක (Supernatural) ඉපැරණි ඉන්දීය මිත්‍යා දේව චරිත මෙන් පරිවර්තනයකට ලක්කිරීම ආරම්භවී තිබේ. බුදුන් භක්තිවාදය, කාමසුකල්ලිතානුවාදය හා අත්තකිලමතානුවාදය මෙන්ම ඍධි ප්‍රාතිහාර්ය බැහැර කර, ප්‍රඥාව හා සානුකම්පාව කේන්ද්‍රගතව දේශනා කළ මනුෂ්‍ය ශාස්තෘවරයෙක් විය.
චක්‍රවර්ති රජකෙනෙක් වීම වෙනුවට බුද්ධත්වය තෝරාගත් ගෞතම සිද්ධාර්ථ ක්‍රි.පූ. 5 වන සියවසේ අග්‍රඵලයක් ලෙස මනුෂ්‍ය වර්ගයා හඳුනාගත් ඓතිහාසික ආධ්‍යාත්මික ගුරුවරයෙකි. ‘මනිමේකලායි’ කවියා බුදුන් චිත්‍රණය කරනු පහත දැක්වේ.
“ස්වාමීනි! ඔබ අල්පේච්ඡතාවයෙන් අන් සියල්ලටම වඩා ඉහළය. නුවණැති, නිර්මලත්වයෙන් ධාර්මිකය, පුරාණත්වයෙන් ආදර්ශමත්ය. ස්වාමීනි! ඔබ නපුර විනාශ කර කෝපය ඉවත දැමූ සේක; ඔබ සර්වඥයන් වහන්සේ ය. ස්වාමීනි! ඔබ මාරයා ජයගත් සේක. ඔබ අතිශයින් ප්‍රීතිමත් ය, ඔබ අශුද්ධ හා බොරු මාර්ග ඉවත් කළේය.
ස්වාමීනි! ඔබේ පාද දහස් ගණන් චක්‍රවලින් සලකුණු කර ඇති බවට ඔබේ ප්‍රඥාව මහා කාරුණිකත්වය හා අල්පේච්ඡ පැවැත්ම සාක්ෂි දරයි. මට දිව දහසක් නැත! මම ඔබට ප්‍රශංසා කරන්නේ කෙසේද?”
(2 වන සියවසට අයත් දකුණු ඉන්දීය සිත්තලෙයි සත්තානර්ය කවියාගේ මනිමේකලායි කාව්‍යයේ එන මෙම කවියේ මුල් භාෂාව දෙමළ ය. – කතයි V හි, පේළි 98-105)
සරත් චන්ද්‍රජීවගේ මුහුණු පොතෙන්.
