ශ්‍රී ලංකාව ඇතුළු තුන්වැනි ලෝකයේ රටවල් ගණනාවක් මුහුණ දෙන ණය අර්බුදයට එරෙහිව ගෝලීය වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ ක්‍රියාදාමයක් ආරම්භ කිරීම උදෙසා ‘කොල්ලකාරී ණයට එරෙහි තුන්වැනි ලෝක කම්කරු සන්ධානයක්‘ ඇති කර ගැනීම වෙනුවෙන් වෘත්තිය සමිති නියෝජිත හමුවක් මාර්තු 01 වැනිදා වැල්ලවත්ත මිරාජ් හෝටලයේ, යුනයිට්- වෘත්තිය සමිති සන්ධානය විසින් සංවිධානය කර තිබුණි.
එහිදී ණය අර්බුදයට එරෙහි ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම සහ ණය අර්බුදය පිළිබද සංවාදයක් පැවැත්වීම සිදු විය. එහිදී ණය අර්බුදය පිළිබද වැඩකරන ජනතාවගේ විශේෂ ප්‍රකාශනයක් එළිදැක්වීමත්, ඒ පිළිබද යෝජනා ලබාගෙන ඉදිරියේදී ඒකාබද්ධ ගෝලීය ප්‍රකාශනයක් දක්වා වර්ධනය කිරීමත් පිළිබද එකගතාව පළ විය.
වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, කාම්බෝජය ඇතුළු දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල් කිහිපයක නියෝජිතයන් සහභාගී විය.
එහිදී තාක්ෂණ විදුලි අධිකාරී සංගමයේ සම ලේකම් නන්දන උදයකුමාර ගෝලීය ණය අර්බුදය පිළිබද ප්‍රකාශනය ඉදිරිපත් කළේය. ණය ලබාගත් ණයගැති රටවල්වල පුරවැසි සහභාගීත්වයෙන් යුතුව, ණය විගණනයක් සිදු කර වංචනික සහ පිළිකුල් සහගත ණය හදුනාගත යුතු බවත්, සියලු ණය ගෙවීම් ආර්ථිකය යළි ප්‍රතිස්ථාපනය කිරීම සහ එම ණය පිළිකුල් සහගත ණය නොවන බව තහවුරු කිරීම තෙක් කල් දැමිය යුතු බවත්, ණයගැති රාජ්‍යයන් පීඩාවට පත් කරන අසාධාරණ ප්‍රතිපත්ති හදුනාගැනීම සදහා ණය හිමියන් විමර්ශනයට ලක් කළ යුතු බවත් එම ප්‍රකාශනයේ ඉල්ලීම් අතර වේ.
එම වැඩසටහනේදී පැවැත්වූ වෘත්තිය සමිති නායකයන් සහභාගී වූ විද්වත් හමුවක්ද පැවැත්වීය. එහිදී ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අනූප නන්දුල, එක්සත් කම්කරු සම්මේලනයේ ලේකම් ස්වස්තිකා අරුලිංගම්, යුනයිට් සංවිධානයේ ආර්ථික විමර්ශන කමිටුවේ සාමාජික ආර්ථික විශ්ලේෂක ධනූෂ පතිරණ ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අතර, ඉන්දුනීසියාවේ සෙරිකට් පෙකෙර්ජා නැෂනල් (Serikat Pekerja National) වෘත්තිය සමිති සන්ධානයේ සභාපති ඉවාන් කුස්මාවන් සහ ඉන්දියාවේ හින්ද් මස්ඩූර් කිසන් පන්චායත් (Hind Mazdoor Kisan Panchayat) වෘත්තිය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් අෂිම් රෝයි අදහස් දැක්වීය.
අෂිම් රෝයි මහතතා එහිදී ප්‍රකාශ කළේ මේ වන විට ලෝකය තුළ ඇතිව තිබෙන යුධමය වාතාවරණය සහ ණය අර්බුදය ඇතුළු සියලු කාරණාවල මූලය ලෙස ගෝලීය බලය ගොඩනැගී ඇති ආකාරය පෙන්වා දුන්නේය. මීට පෙර ඉතිහාසයේදී ලෝකයේ රටවල් ණය ගැනීමට පාදක වූ හේතු සහ දැන් ණය ගැනීමට හේතු අතර වෙනසක් පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය. අද වන විට ණය අර්බුදය ක්‍රියාත්මක වන්නේ ගෝලීය අධිරාජ්‍යවාදයක කොටසක් ලෙස බවද ඔහු පැවසීය.
ඊට අමතරව ඇගලුම් කලාපයේ ස්ටෑන්ඩ් අප් මූමන්ට් සංවිධානයේ අශිලා දන්දෙණිය, ටෙලිකොම් සියලු සේවක සංගමයේ සභාපති ජේ.බී. ගුරුසිංහ ඇතුළු නියෝජිතයන් එම වැඩසටහනේදී අදහස් දැක්වීය. තැපැල්, විදුලිබල, ගෘහ සේවක, ජනමාධ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිය සමිති එම වැඩසටහනට සහභාගී විය.




