රාගම පොල්පිතිමූකලානේ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසට ඉකුත් පස්වැනි වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව කියන වෙඩික්කරුවකු අත්අඩංගුවට ගැනීමට අද අලුයම් කාලයේ පොලිසිය ගිය අවස්ථාවේ පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මෙම පුද්ගලයා මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මෑත දිනවලදී අධිකරණයට පිටින් සිදු කරන පොලිස් ඝාතන රැල්ලේ තවත් ඝාතනයක් ලෙස මෙය හැඳින්විය හැකියි. මෙලෙස මරා දමා ඇත්තේ අධිකරණයෙන් වැරදිකරුවෙක් වූ කෙනෙක් නෙවෙයි, සැකයක් පමණක් තිබුණු කෙනෙක්ව.
රාමායියා ජෙයරාජ් තමයි එලෙස මරා දැමූ මිනිසාගේ නම. ඔහු සපුගස්කන්ද ගෝනවිල ප්‍රදේශයේ නිවෙසක සිටින බවට පොලිසිය ලද තොරතුරකට අනුව පොලිසිය එම නිවස වටලා තිබෙනවාලු. ඒ අවස්ථාවේ සැකකරු පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කළාලු. එහිදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පසු තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියාලු.
මීට පෙර ඉතිහාසයේදී පොලීසිය මෙලෙස පුද්ගලයන් ඝාතනය කොට, එය සාධාරණීකරණය කිරීම සඳහා විවිධාකාර කතාන්දර ගොතා තිබෙනවා. මෙරට පාතාලයේ සැබෑ තොරතුරුත්, පාතාලයට සහයෝගය දක්වන දේශපාලනඥයන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු රජයේ සම්බන්ධතාත් අධිකරණය ඉදිරියේ හෙළිදරව් නොවීමට අධිකරණයට පිටින් සිදුකරන මෙවැනි ඝාතන හේතු වී තිබෙනවා. එමෙන්ම කිසිදු වරදක් නොකර පුද්ගලයන් හෝ, නීතිය ඉදිරියේ මරණ දඬුවමක් ලැබීමට තරම් බරපතල වැරදි නොකළ පුද්ගලයන්ව ඝාතනය කරන අලුගෝසුවන් ලෙස පොලීසිය කළ ආකාරය මෑත කාලයේදී දැක ගැනීමට හැකි වුණා.
