
ලංකාවේ වැඩබලන පොලිස්පතිවරයා විදියට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන නොනිල වශයෙන් පත්වෙලා, පොලීසියේ සියලු කටයුතු තිරය පසුපස පාලනය කරමින් සිටින බව ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරලා තියෙනවා. අපි කරපු හොයාබැලීම්වලදී මේ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු තහවුරු කළා පමණක් නෙවෙයි, අපට ආරංචි විදියට නිලන්තට සහයෝගය දෙන්නේ සාගල රත්නායක.
ඒ පසුබිමේ අප මෙහිදී කිරීමට බලාපොරොත්තු වෙන්නේ, පොලීසිය ඉදිරියේ කෙසේ වනු ඇතිදැයි කෙටි අනුමානයන් ටිකක් කරන්න. දැන් පවතින කරුණු අනුව. මීට පෙර ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව පනත් ආදිය හදලා, විවිධ කැළඹිලිවලට නිදහසේ වැඩෙන්නට ඉඩ හැරලා, පාලකයන්ගේ වුවමනාවට රට් ත්‍රස්තවාදය ඇති කළා. පාලකයන් තරම් ත්‍රස්තවාදීන් තවත් නෑ. ඒ අනුව දැන් මහ ත්‍රස්තයා රනිල් ආර්ථික පීඩනය සහ ජනවාර්ගික පීඩනය මත ත්‍රස්තවාදය ගොඩනගන්න සැලසුම් කරන බව අපි දකිනවා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් ගැන නොයෙකුත් කතා තිබෙනවා. ඒත්, අපට අනුවනම් වාර්තා ගණනාවකින් පැහැදිලි වෙන ආකාරයට අත්අඩංගුවට ගෙන- දඬුවම් ලබා දී – ප්‍රශ්න කළ යුතු අංක එකේ මහමොළකරුවා තමයි මේ නිලන්ත ජයවර්ධන. මෙය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පවා පැහැදිලි වෙනවා. ඇත්තටම දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව නිලන්ත ජයවර්ධනට එරෙහිව විමර්ශනයක් කළ යුතුයි.
නිකමට හිතන්න! ලංකාවේ මෑත ඉතිහාසයේ දැවැන්තම අපරාධයේ වගඋත්තරකරුවෙක් ලංකාවේ පොලීසිය පාලනය කරනවාය කියන එකේ බරපතලකම.
නිලන්ත ජයවර්ධන ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස පැහැදිලිව පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කුඩා කල්ලිය ගැන දැන සිටියා. එමෙන්ම අප්‍රේල් මාසයේදී බෝම්බ ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු ලැබී තිබුණා. එසේ තොරතුරු තිබියදීයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදේශගත වුණේ.
කොහොම නමුත් මහලොකු ජනාධිපතියාට දෙවැනි වතාවටත් පොලිස්පති කෙනෙක් පත් කරගන්ඩ බැරි වෙලා- (සමහරවිට වයස නිසා අමතක වෙන්න ඇති.) – ධුරය හිස් කරලා තියෙනවා. (සමහරවිට මේක ඔබ කියවද්දී යන්තම් පොලිස්පති ප්‍රශ්නයට පැලැස්තරයක් හෝ උත්තරයක් දීලා තියෙන්න පුළුවන්.)
කෙසේ වෙතත් අප අවධානය යොමු කරන්නේ පොලීසියේ දැඩි මර්දනයට, නිරීක්ෂණයට ලක් වෙන ප්‍රධාන පාර්ශ්ව දෙකක් ගැන.
ඔබ දකින්න ඇති, පසුගිය සතියේ මඩකලපුවේ දෙමළ ජාතිකයන් පැවැත්වූ විරෝධයේදී, පොලිස් නිලධාරීන් අතුරුදන්වූවන්ගේ පවුල්වල අම්මලාට තමන්ගේ සපත්තුවලින් පයින් ගැසූ හැටි. ඇදගෙන් යන්නැයි කී හැටි.
ඒ වගේම, ඊට කලින් දවසේ අම්පිටියේ සුමන හිමියන් පොලීසියේ ලොකු බාධාවක් නැතිව කොස්සක් අරන් ඇවිත් නාඩගම් නටලා, ඊට පස්සේ පොලීසියට තර්ජනයත් කරලා රඟපු රැඟීම දකින්න ඇති.
තුන්වැනියට කළුතර පැත්තේ සිට තිබුණු පාගමනකට පොලීසිය බාධා කරපු හැටිත්, ඉන් පස්සේ ත්‍රීවීලර් රියැදුරෙක්ව පැහැරගන්න හැදූ හැටිත් ඔබ දකින්න ඇති.
මේ ඇවිල්ලා මහපොළොවේ සිද්ධවෙන සරල දේවල්. පොලීසිය කරනවායැයි අපට ඇහැට, කනට පේන දේවල්. නමුත්- ඊට යටින් බුද්ධි අංශ ක්‍රියාකාරීත්වයන්, ආයතනගත විදියට පොලිස් හැසිරීම් සියල්ල හැඩගැහිලා තියෙන්නේ මේ රට හොඳ පැත්තට ගෙන යන්නට නොවන බව අපට දක්නට ඇති කරුණු අනුව පැහැදිලිව කිව හැකියි.
පොලිස්පති
මේ සටහන ලියන මොහොත වෙද්දී වෙද්දී පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට දීලා තිබුණ දෙවැනි සේවා දිගුවත් ඉවර වෙලා තියෙනවා. 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු- එම ප්‍රහාරයට වගකිවයුත්තන් දෙන්නා විදියට එදා පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාව සිටි හේමසිරි ප්‍රනාන්දු නම් කරලා තමන්ගේ සහ නිලන්ත ජයවර්ධන කියන දෙපළගේ ඇඟ බේරාගන්නට එදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමත් වුණා.
ඊට පස්සේ, පොලිස්පති ධුරයේ වැඩ බැලූ සී.ඩී. වික්‍රමරත්න 2020 නොවැම්බර් මාසයේදී පොලිස්පති විදියට පත්වුණා. 2023 මාර්තු මාසයේදී පොලිස්පති තනතුර හිස් වූ විට ඔහුට සේවා දිගුවක් දුන්නා. ඉන් පසු ජුනි මාසයේදීත් දී ඔහුගේ ධුර කාලය අවසන් වුණා. ඊට පස්සේ සති දෙකක් පමණ පොලිස්පති ධුරය හිස් වෙලා තිබුණා. ජුලි 09 වැනිදා තමයි ඊළඟ පොලිස්පති පත් වුණේ. පසුගිය 09 වැනිදා එම මාස තුනත් අවසන් වුණා.
දැන් තවත් වතාවක් සේවා දිගුවක් දෙනවාද, අලුත් පොලිස්පති පත් කරනවාද කියන ප්‍රශ්නය තියෙනවා.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ලංකා ඉතිහාසයේ දූෂිතම පොලිස්පතිවරයෙක්. දූෂණ යන්නට තමන්ගේ හෝ යම් කෙනෙකුගේ වාසියට හෝ අවාසියට ධුරයේ බලතල අවභාවිත කිරීම ප්‍රධාන අංගයක් වෙනවා. මහජන මුදල් මිලියන ගණන් නාස්ති කරමින් දිනපතා දහස් ගණන් පොලිස් සෙබළුන්ව පාරේ හිටවා- වාහන අවභාවිත කරමින් දේශපාලන නායකයන්ගේ බලය ආරක්ෂා කරන්නට සී.ඩී. වික්‍රමරත්න කටයුතු කළා. ඊළඟ ආණ්ඩුවක් ආ විගස වහාම මේ මහා දූෂණය පිළිබඳ වෝහාරික විගණනයක් කරන්න ඕනෑ. මොන තරම් පොලිස් නිලධාරීන්ව විරෝධතා මර්දනයට යෙදෙව්වාද, සම්පත් අවභාවිත කළාද, නීතිය අවභාවිත කළාද, මානව හිමිකම් කඩ කිරීම්, අනීතිකව සාමකාමී විරෝධතාවලට බාධා කිරීම් කොපමණ සිද්ධ කළාද, එවැනි නීතිවිරෝධී නියෝග ක්‍රියාත්මක කළේ කවුද, ඒවාට අණ දුන්නේ කවුද ආදී සියලු දේවල් සෙවීම සඳහා ලංකාවේ පොලිස් ඉතිහාසයේ දැවැන්තම විගණනය ඊළඟ ආණ්ඩුවකින් කරන්නම ඕනෑ.
මේ පොලිස්පති පත් කිරීමේ අර්බුදය තනි පුද්ගල අර්බුදයක් නෙවෙයි. ඉන් එහා ගියපු, ආයතනගත අර්බුදයක්. පොලීසිය පාලනය කරන්න රනිල්ට ඕනෑ. ජනමාධ්‍යවලින් කියන කරන දේවල් වගේම, පොලීසිය කරන කියන දේවල් අනාගතයේ රනිල් පතන ජාතිවාදී යුද්ධවලින් කැළඹුණු බිහිසුණු රට හදන්නට ඉතා තීරණාත්මක ලෙස වැදගත් වෙනවා.
සාගලගේ පාලනය
මේ වෙද්දී සාගල රත්නායකව යොදා ගනිමින් පොලීසිය සම්පූර්ණයෙන් තමන්ට ඕනෑ විදියට පාලනය කිරීමේ කටයුතු ඍජුවම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කරමින් සිටින බව ආරංචිමාර්ග කියනවා. 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සරු පස සකසන්නට එදා රනිල්- සාගල යටතේ තිබුණ පොලීසිය සිදුකළ කාර්යභාරය කිසිසේත් අමතක කරන්න බැහැ. ඩෑන් ප්‍රියසාද්ලාට නිදැල්ලේ සැරිසරන්නට- වෙළඳසැල් සහ වීදි පිටින් ගිනි තබන්නට- කලින් ගිනිතැබූ සිදුවීම්වලට යුක්තිය ඉටු නොකර සිටින්නට- උතුරේ මෝටර් සයිකල් කල්ලි ගැන මෙන්ම නොයෙකුත් ‘කොටි නැගිටීම‘ ගැන බිය පතුරන්නට රනිල් සහ සාගල යුවල ඉහළ කාර්යභාරයක් ඉටු කළා.
අපේ කතාව ඔවුන්ගේ ත්‍රස්ත සැලසුම් ගැන. මහ ත්‍රස්තයන් ත්‍රස්තවාදයක් සැලසුම් කරද්දී, තමන්ගේ ත්‍රස්තවාදය කාගේ හෝ පිටේ ලේබලයක් විදියට අලවන්න ඕනෑ. යම්කිසි ත්‍රස්ත කොට්ඨාශයක ඉන්න ඕනෑ. අනෙක් බහුතර සමාජය ඒ ත්‍රස්ත කොට්ඨාශයට එරෙහි වෙන්න ඕනෑ.
වසන්ත මුදලිගේව ත්‍රස්තයෙක් කිරීමේ උත්සාහය අසාර්ථක වුණේ මුළු සමාජයම ඒක පිළිගත්තෙ නැති නිසා. සමාජයට වසා ත්‍රස්තයෙක් නෙවෙයි. ඒ නිසා, ත්‍රස්තයන්ව සමාජයෙන් වෙන් කරලා ඉරක් ඇඳීම වැදගත්. ඒ අනුව රනිල් කොට්ඨාශ දෙකක් හැර අනෙක් හැමෝටම සමාජය තුළ සිවිල්- දේශපාලන නිදහස ඉදිරියේදී තහවුරු කරයි. ඒ කියන්නේ පොඩි විරෝධයක් කරන්න, පා ගමනක් යන්න, මාධ්‍ය සාකච්ඡාවක් කරන්න ඉඩ දෙයි. බුද්ධි අංශවල කරදරවලින් මිදිලා ඉන්න ඉඩ ලැබෙයි.
කොට්ඨාශ දෙකකට විතරක් මර්දනය දැන් තියෙන විදියට ඉදිරියටත් පවතීවි.
සුළුජනවර්ග මර්දනය
පොලීසියේ මර්දනයට දිගටම ලක් වූ, ඉදිරියේදීත් ලක් වෙන පිරිස පළවැනි කොටස තමයි සුළුතර ජනවර්ග.
ලංකාවේ සිටින ජාතිවාදීන්ගේ ජාතිවාදියා රනිල් වික්‍රමසිංහ. මෙතෙක් ඉතිහාසයට කළු ජූලිය සැමරුමට කොටි සැමරුම් කියා ලේබල් ඇලෙව්වේ නෑ. හැමෝම කළු ජූලිය පිළිකුලෙන් බැහැර කළා.
ඒත්- රනිල් ජනාධිපති වුණා විතරයි, එදා රනිල්ගේ මාමා විසින් යූඇන්පී ආණ්ඩු මෙහෙයවීමෙන් කරපු කළු ජූලියවත් සමරන්න නොදෙන තැනට ජාතිවාදීන් ඔලුව ඉස්සුවා. පොලීසිය නැවත වතාවක් ලංකාවේ දැවැන්තම ජාතිවාදී ප්‍රවණතාවක් ඇති කරන්නට සරු පස සකසමින් ඉන්නවා. ඉතාම සීරුවට, ඉතාම හෙමිහිට ඒ ජාතිවාදය හිස ඔසවද්දී- පොලීසියට ලොකු වගකීමක් තිබෙනවා. ඒ, කිසිදු හානියක් සිද්ධවෙන්න නොදී, ඒ ජාතිවාදයට නැගිටින්නට සරු පස සැකසීම.
කලින් තෙල්දෙණිය ගිනිතැබීම දක්වා ජාතිවාදයට රනිල් වික්‍රමසිංහලා ඉඩ හදා දුන්නා. ඊළඟට කෙබඳු විනාශයක් දක්වා ඉඩ හදනු ඇතිදැයි අප දන්නේ නෑ. එහෙත්, ඒ විනාශයට දැනටමත් පිඹුරුපත් සැකසෙනවා.
පසුගිය දිනෙක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට පවා ජාතිවාදී මැර කල්ලියක් පහරදුන් හැටි දකින්න ඇති.
ඊටත් වඩා ඉතාම පැහැදිලි සිදුවීම් පෙළ තමයි මඩකලපුවේ සිද්ධ වුණේ. මේ වෙද්දී දින ගණනක් තිස්සේ මඩකලපුවේ කිරි ගොවීන් පිරිසක් උපවාසයක ඉන්නවා. ඒ උපවාසයට සමගාමීව රනිල් වික්‍රමසිංහ පොළොන්නරුවේ ගිය වෙලාවේදී විරෝධයකුත් පැවැත්වුවා. ඒ වෙලාවේ අතුරුදන්වූවන්ගේ අම්මලාත් එතැනට සහභාගී වෙලා තිබුණේ තමන්ගෙ ප්‍රශ්නය අරගෙන.
මඩකලපුවේ මයිලත්තමඩු මාදවනෙයි කියන තෘණ භූමිය ආශ්‍රිතව දෙමළ ජාතිකයන් දීර්ඝ කාලයක් තිස්සේ සත්ව පාලනයේ යෙදුණා. දැන් ඒ කැලෑ සුද්ධ කරලා, ගිනි තියලා, හේන් කරන්න සිංහල ජාතිකයන් පිරිසක් පටන් අරන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, හරකුන් අරන් ආවාම ඒ හරකුන්ට වෙඩි තියනවා, තුවාල කරනවා. දැන් හරකුන් 7000ක් විතර විනාශ වෙලා තියෙනවා. මේ ඉඩම් අවුරුදු 60ක් විතර තිස්සේ නිත්‍යානුකූලව කිරි ගොවීන්ට වෙන් කරලා තියෙනවා. ඒත්, පිටින් ආපු සිංහල ජාතිකයන්- ඔව්, පිටින් ආපු සිංහල ජාතිකයන්ට මේ ඉඩම් බලහත්කාරයෙන් ලබා දෙන දේශපාලන ව්‍යාපෘතියක් තියෙනවා.
2011 ඉඳලා රාජපක්ෂ ආණ්ඩුව මේ නැවත පදිංචිකිරීම් පටන් අරන් තිබුණා. අප ඒ කාලයේ සිට මේ ගැන ඇහැ ගහගෙන හිටියා. මෙවැනිම පදිංචිකිරීම් වවුනියාවේ බෝගස්වැව ඇතුළු වෙනත් ප්‍රදේශවලත් කරලා තියෙනවා. පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, අරණගංවිල ආදී නොයෙකුත් ප්‍රදේශවලින් ආපු සිංහල ජාතිකයන්ව මේ විදියට පදිංචි කරලා තියෙනවා. හැබැයි, හෙමින් සිදු වූ මේ සිදුවීම් මාලාව උග්‍ර වෙලා තියෙන්නේ දැන්.
කෙසේ වෙතත් මේ ගැන ගොවීන් මතු කරන ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා.
2009/06/08 දින මඩකලපුව දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකරි විසින් සකස්කළ KI/KRP/(S)/2010/100/101/102/104/152/153/154 අංක දරණ පිඹුරු පතට අදාළ ප්‍රදේශය තෘණ භූමියක් විදියට ප්‍රකාශ කළා.
2011.06.05 දින හෙක්ටයාර 28034ක භූමිය තෘණ භූමියක් ලෙස ප්‍රකාශයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තුවේදී කරන ලද ඉල්ලීම අනුව, හෙක්ටයාර 15035ක් තෘණ භූමියක් ලෙස ලබා දීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශයට පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමි වුණා.
මහවැලි අධිකාරිය සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් විසින් වසරක කාලයක් තිස්සේ ක්‍රියාත්මක නොකර තිබෙන කොළඹ අභියාචනාධිකරණයේ CA(wrt)36/2021 අංක දරණ නඩුවේ 2022/07/21 දින එකඟතාවකට ඇවිත් තියෙනවා.
මේ කතාවේ සිංහල ගොවියන්- දෙමළ කිරි ගොවියන් කියලා ජාතිය සඳහන් කරන්න සිද්ධ වෙන්නේ, අපි ඒකට කැමති හින්දා නෙවෙයි. අම්පිටියේ සුමනරතන හාමුදුරුවන් වගේ අය ඒක ෆ්‍රේම් කරන්නේ ඒ විදියට තමයි. සිංහල- දෙමළ කියලා. ඒ විතරක් නෙවෙයි, සුමන හාමුදුරුවන් අරගලයයි- රනිලුයි- දෙමළ ජනතාවයි සම්බන්ධ කරනවා.
ඉතා පැහැදිලිව කියන්න ඕනෑ. මෙතැන ඉන්න සිංහල මිනිස්සුන්ටත් කිසි ප්‍රශ්නයක් නැතිව නෙවෙයි. හුදෙක් ඇඟේ ජාතිවාදී ලේ දුවන නිසා නෙවෙයි සිංහල හේන් ගොවියන් ඔය කට්ට කාගෙන ඉඩමවල ඉන්නේ. ඒ මිනිස්සුන්ටත් තියෙන්නේ දැවැන්ත ජීවන අරගලයක්.
ඒත්, හැමදාම ජාතීන් අවුලවන්නට ඔය දුප්පත් මිනිස්සුන්ව පාවිච්චි කළා. ඇත්ත ප්‍රශ්න ජාතිවාදී ආකාරයට පෙළගැස්සුවා. මතක තබාගන්න, ඔබ පීඩිතයෙක් වුණත්- ඔබේ සටන කරන්නේ ජාතිවාදයත් මුසු කරගෙන නම් මේ ලංකා රාජ්‍යය තුළ ඔබට ආවරණය ලැබෙනවා.
මයිලත්තමඩු මාදවනෙයි ගොවිජනසේවා කිරි ගොවි සංගමයේ සී. නිමලන් මේ ගැන විකල්ප වෙබ් අඩවියට මෙසේ කියා තිබුණා.
‘‘මේ ගවයන් මත යැපෙන පවුල් 3000ක් ඉන්නවා. මේ පැත්තේ ගොවිපළවල් 980කට වැඩි ගාණක් තියෙනවා. අපි දවසකට කිරි ලීටර් 3000ක් මිල්කෝ සමාගමට දුන්නා. දැන් මාස පහක ඉඳන් කිරිත් නැහැ මොකුත් නැහැ. මයිලත්තමඩු මාදවනෙයි තණබිමේ සතුන්ට බොන්න තිබුණ වතුර ටිකත් දැන් නැති වෙලා. මඩකලපුව දිස්ත්‍රික් මායිමේ, මේ ඉඩම අපිට වෙන් කරලා දුන්නේ, දිස්ත්‍රික් ලේකම් සහ අමාත්‍යවරයා. මයිලත්තමඩු මාදවනෙයි තණ බිමෙන් අනවසරයෙන් වගා කරන අයව අයින් කරලා දුන්නොත් තමා අපේ ගවයින්ට කන්න දෙන්න පුළුවන් වෙන්නේ. හයවෙනි මාසේ 25 වෙනිදා ඉඳලා මේ වෙනකම් ගවයින් 15 දෙනෙකුට වෙඩි තියලා මැරුවා. මේ ගැන පොලිසියට පැමිණිලි කරන්න ගියොතින් විස්තර අහනවා. නමුත් පියවරක් ගත්තේ නැහැ.”
අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නය වෙනුවෙන් ප්‍රදේශයේ දේශපාලනඥයෙකු වන ශානක්‍යන් රාසපුතිරන් මැදිහත් වෙලා තියෙනවා. එය පුදුම වෙන්නට දෙයක් නෙවෙයි. ශානක්‍යන් මැදිහත් වූ නිසා, මේක ‘දෙමළ දේශපාලනඥයන්ගේ ජාතිවාදී වැඩක්‘ කියන ලෙහෙසි තර්කයට ගිහින්- දෙමළ ජනතාවගේ සැබෑ බිමේ ප්‍රශ්නය අමතක කරනවා නම් එය ඉතා බිහිසුණුයි.
අනෙක් පැත්තෙන් මේ ජාතිවාදී වැඩේට මැදි කරගත් සිංහල මිනිස්සුත් පීඩනයෙන් පෙළෙනවා. මේ ලංකාවේ ඉඩම් නැතිව නෙවෙයි. ගොවිතැන් කරන්න තැන් නැතිව නෙවෙයි. ප්‍රශ්නය වන්නේ මොන අස්සක රිංගුවත් ගොවිතැනක් කරගන්න- ජීවත් වෙන්න බැරි තැනට මේ වියළි කලාපීය මිනිස්සුන්ව තල්ලු කරලා තියෙනවා. ඒ මිනිස්සු ගැන අබමල් රේණුවක අදහසක්- සැලසුමක් ආණ්ඩුවට නෑ. ඒ මිනිස්සු ජාතිවාදයට තල්ලු කරලා- සැබෑ ප්‍රශ්නය වෙනුවට වෙනත් ප්‍රශ්නවලට තල්ලු කරනවා හැර.
පොලීසියේ ඉදිරි රාජකාරිය වනු ඇත්තේ ජාතිවාදයට එරෙහි වීම පමණක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ තවත් නිශ්චිත කාර්යභාරයක් පවරා තිබෙනවා. ඒ පීඩිත ජනතාව වෙනුවෙන් අරගල කරන්නන්ව- විශේෂයෙන්ම ජනතාවාදීන්ව දඩයම් කිරීම.
ජනතාවාදීන් දඩයම
අපි හිතමු ගොඩක් සල්ලි තියෙන බලවත් ව්‍යාපාරිකයන් හෝ ටයිකෝට් අඳින ඉහළ පෙළේ වෘත්තිකයන් යම්කිසි ප්‍රශ්නයකට මුහුණදෙනවා කියලා. ඒ අය ඒ ප්‍රශ්නය සඳහන් කරලා ඉංග්‍රීසියෙන් ලියුමක් හෙම ලියනවා. සමහරවිට ඉංග්‍රීසි පුවත්පත්වල ඒ ගැන ලිපි දානවා. පාලකයන් එක්ක නිල හෝ නිල නොවන සාකච්ඡාවක් ගන්නවා. ප්‍රශ්නය විසඳාගන්නවා.
ඒ හැරුණාම ලංකාවේ මේ වෙද්දී නොයෙකුත් සිවිල් සංවිධාන රට හදන හැටි කතා කරනවා, සිස්ටම් චේන්ජ් ගැන කතා කරනවා, දේශපාලන පක්ෂ සහ ව්‍යාපාර හදනවා, පොඩි පොඩි විරෝධතා ආදිය පවා පවත්වනවා.
ඒ අයගේ ප්‍රකාශනයට, විරෝධයට ඇති අයිතිය පැහැරගන්නේ නෑ. ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ විරෝධයේ අයිතිය සම්පූර්ණයෙන් තහවුරු කෙරෙනු ඇති. ඒත්, කිසිසේත්ම අයිතිය නොලැබෙන පිරිසක් ඉන්නවා. ඒ, ඇත්තටම ජනතාවාදී විදියට සටන් කරන අය.
ඇත්තටම මේ ආර්ථික සිස්ටම් එකේ අවුල කතා කරන අය. ගොවියන් පාරට බැස්සොත් ගොවියන් ළඟට යන ක්‍රියාකාරිකයාව ත්‍රස්තයා වේවි. වෘත්තිය සමිතිවල වැඩ කරන අයව ත්‍රස්තයන් වේවි.
රටේ බහුතරය ගත්තොත් පීඩිතයන් තමයි. සාමාන්‍ය බහුතර ජනතාවට ප්‍රශ්න විසඳාගන්න එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි සංවිධානය වීම. එකතු වීම. එකතු වෙලා වෘත්තිය සමිති විදියට හෝ ශිෂ්‍ය සංවිධාන විදියට හෝ සටන් කිරීම.
ඒත්, අන්න ඒ විදියට සටන් කරමු කියලා ඒ වෙනුවෙන් මහන්සිවෙලා වැඩ කරන අයව ත්‍රස්තයන් කියලා ලේබල් කරන වැඩේ සාර්තථක වුණොත් බහුතරය ඒ සටන්වලින් ඈත් කරන්න පුළුවන්.
මේ වෙලාවේ විදුලිය- ජලය- සෞඛ්‍ය මෙන්ම අධ්‍යාපනයත් ජනතාවට අහිමි කෙරෙමින් පවතිනවා. බොහෝ අයගේ ආදායම යන්තමින් කන්න විතරක් ප්‍රමාණවත්. සමහරුන්ට ඒකත් නෑ. ගොවීන්ට වගා කරන්න වතුර නෑ. සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක්ට විදුලි බිල- තෙල් මිල එක්ක මෙන්ම බැංකු ණය ලබාගැනීමේ නොහැකියාව එක්ක ව්‍යාපාරයක් කරගන්න බෑ.
එහෙම තිබියදී ජනතාවගේ ප්‍රශ්න මුල් කරගත් මහපාරේ අරගල මර්දනය පොලීසියට පැවරුණ ප්‍රධානම රාජකාරියක්.
ඊළඟට මේ ප්‍රවණතාවේම අනෙක් කොටස තමයි, අරගලය- සුළු ජාතීන්- ප්‍රකාශනය ආදී සියල්ල එකට ‘ත්‍රස්තවාදය‘ එක්ක ගැටගසා බිය ජනනය කිරීම. අම්පිටියෙ සුමනරතන හාමුදුරුවන්ගෙ කතාවෙත් ඒක තිබුණා.
අරගලය- ජාතිවාදය
ජනතාවාදී ක්‍රියාකාරීන්ව ජාතිවාදී පදනමකින් ‘ත්‍රස්තවාදීන්‘ බවට පත් කිරීම අලුත් තත්වයක් නෙවෙයි. ප්‍රගීත් එක්නැළිගොඩ කියන ජනතාවාදී මාධ්‍යවේදියාව මරා දාලා- ඔහුවත් ලේබල් කළේ සිංහල කොටියෙක් විදියට.
පසුගිය කාලයේ ගෝල්ෆේස්හි සිටි මුස්ලිම් ජාතික සහෝදරයෙක් මට ළඟදී අහම්බෙන් යමක් කීවා. ඒ තමන්ව ත්‍රස්ත විමර්ශන ඒකකයට ළඟදී කැඳවූ බව. ඒකෙදී ප්‍රශ්න කරලා තිබුණේ- 2020 කොවිඩ් සමයේ මුස්ලිම් ජාතිකයන්ව බලහත්කාරයෙන් ආදාහනය කරනවාට විරුද්ධව ඔහු කරමින් සිටි විරෝධතා ගැනයි. ඊට අමතරව ගෝල්ෆේස්හි ලියුම්කරු ඇතුළු පාර්ශ්ව ගණනාවක් එක්ක ඔහු පැවැත්වූ සම්බන්ධතා ගැනත් විමසා තිබුණා.
බුද්ධි අංශවලින් ඔහුගේ දූරකථන විස්තර රැගෙන, ඔහුගේ සම්පූර්ණ ඇමතුම් ඉතිහාසය අරන් එකිනෙකා ගැන ප්‍රශ්න කළාලු. එය සම්පූර්ණයෙන් ඔහුගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමක්. මේ මුස්ලිම් ජාතික මිත්‍රයා- කිසිදු අපරාධ ක්‍රියාවක කොටස්කරුවෙක් නොවුණාට, ඔහුට සම්පූර්ණ ත්‍රස්තයෙක් ලෙස සලකමින් විමර්ශන කටයුතු සිදු කරලා තිබුණා.
ත්‍රස්ත පනත එන්න කලින්ම එය ක්‍රියාත්මක වෙන්නේ ඔහොමයි.
අපි එක්ක වැඩ කරන මෙවැනි මුස්ලිම් සහ දෙමළ ජාතික සහෝදර සහෝදරියන්ව ත්‍රස්තයන් ලෙස ලේබල් කිරීමත්, එයාලා එක්ක හිතවත් වීමත්- සියලු ජනවර්ගවල ඒකාබද්ධ සටනක් ගැන ප්‍රාර්ථනා කිරීමත් නිසා, අපවත් ත්‍රස්තයන් ලෙස ලේබල් කිරීමත් ඉදිරියේදී සිදු වනු ඇති. ඒ වෙනුවෙන්, අප වැනි පුද්ගලයන්ව ඉලක්ක කරමින්, අපව ‘සිංහල කොටියන්‘ විදියට ලේබල් කිරීම දිගින් දිගටම සිද්ධ වෙනවා.
විශේෂයෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන දෙමළ මිනිසුන්ගේ හඬට සිංහල සමාජයේ ඉඩක් ලබා දීමම ඔවුන්ට අපව ‘කොටි‘ විදියට ලේබල් කරන්න උදව්වක්. ඒත් අපි ඇත්තටම කරන්නේ, දෙමළ ජනතාව අතර පවතින අදහස් සිංහල සමාජයට ඉදිරිපත් කරලා- දෙමළ අය මෙහෙම කියනවා- ඇහුම්කන් දෙමු කියන යෝජනාව කරන එකයි. දෙමළ අයගේ පැත්තෙන් මේ ප්‍රශ්නය මේකයි කියා සමාජගත කරන එකයි.
ජීවන අරගලය ලොකුවට නොමැති, සමාජය විනිවිද දැකීමේ ශක්‍යතාවක් තිබෙන මධ්‍යම පන්තියට ටිකෙන් ටික නිදහස දීලා, ඔවුන්ව තමන්ගේ පැත්තේ තබා ගැනීමත්- පහළ පන්තියේ මිනිසුන්ව ජාතිවාදයෙන් බෙදා වෙන් කිරීමත් තමයි රනිල් වික්‍රමසිංහ පොලීසියට සහ ජනමාධ්‍යවලට පවරා ඇති රාජකාරිය. මධ්‍යම පන්තියට තියෙනවා, තමන්ගෙ ඇඟේ වදින්නේ නැති නම් ප්‍රශ්නවලට මැදිහත් නොවෙන නරුම ගති ලක්ෂණයක්. ටිකක් ජීවන සටන අමාරු වුණත්, හිර වෙන්නේ නැතිව ජීවිතේ ඇදගන්න තිබුණොත් උං ඇස් ඉදිරිපිට සිද්ධවෙන අපරාධ දැක්කෙ නෑ වගේ ඉන්නවා.
ඌරන්
පොලීසියට ඌරන් හෙවත් පිග්ස් කියා හඳුන්වන්න පටන් ගත්තේ ඇමෙරිකාවේ කළු ජාතික අයිතිවාසිකම් ව්‍යාපාරය. විශේෂයෙන්ම බ්ලැක් පැන්තර් නමින් හැඳින්වූ රැඩිකල්- වාමාංශික කළු සටන්කරුවන් කණ්ඩායම එම යෙදුම පාවිච්චි කළා.
පොලීසියේ ඉන්නෙත් ඔය ගම්බිම්වලින් ආපු සාමාන්‍ය මිනිසුන්මයි. මෑත කාලයේ අපේ අත්දැකීම් අනුව ඉතාම සාමාන්‍ය පවුල්වල දරුවන් මිස, මධ්‍යම පාන්තික සුවපහසුකම් ඇති පවුල්වල දරුවන් පොලීසියට බැඳෙන්නේ නැති තරම්. පොලිස් රස්සාව ඉතා අප්‍රසන්න, පිළිකුල් සහගත රස්සාවක් බවට පත්වෙමින් තිබියදී, පොලීසියට යන්නේ සැබැවින්ම පීඩිත- මෙම රස්සාව එම පීඩනයෙන් ගැලවීමට සහනයක් වන අන්දමේ පවුල්වල අපේම සහෝදර සහෝදරියන්. එහෙත්, ඔවුන්ගේ රාජකාරියේ ස්වභාවය අනුව- අපටත් ‘ඌරන්‘ යන ඓතිහාසික වචනය ඔවුන්ට එරෙහිව පාවිච්චි කරන්නට සිද්ධ වෙනවා.
අපි එකම එක දෙයක් කරන්න ඕනෑ. ඒ තමයි, මේ පොලීස් සහෝදර සහෝදරියන් යොදාගෙන ජාතිවාදී රාජ්‍යයක් හදන්නට ගන්න උත්සාහය තීරණාත්මක විදියට පරාජය කරන එක. අහවර කරලා, සුන්නද්ධූලි කරලා දාන එක.
ඒ සඳහා සිංහල, දෙමළ බෙදීමක් නැතිව පහළ පන්තියේ ජනතාව එකතු වෙන්න ඕනෑ. අම්පිටියේ සුමන හිමියන්ගේ ජාතිවාදී රැල්ලෙන් මිදිලා මඩකලපුවේ කිරි ගොවීන් හා හේන් ගොවීන් කියන දෙපැත්තම එක්ක කතා කරන්න ඕනෑ. සමහරවිට ඒ දෙපාර්ශ්වය එකට ඉඳගෙන ඒකාබද්ධ විසඳුමක් ගැන සාකච්ඡා කරන්නත් ඕනෑ. අවංකව දෙපාර්ශ්වයට ඇහුම්කන් දෙන්න ඕනෑ.
සෙල්ලමක් නෙවෙයි මේක. ජනතාවට කරන්න තියෙන දේශපාලනය සංකීර්ණ, අසීරු සහ වෙහෙසකර එකක්. ඒත්, අපි ඒ බර කරට ගන්නම ඕනෑ.