පසුගිය දිනවල වගේම, තිලීපන්ගේ මරණයට අවුරුදු 36ක් සපිරෙන සැප්තැම්බර් 26 අද දවසේ තිලීපන් සමරු රැසක් පැවැත්වුණා. යාපනයේදී සැලකිය යුතු පිරිසකගේ සහභාගීත්වයෙන් එම සැමරුම පැවතුණා. දෙමළ සිනමාවේ සුපිරි සංගීත ශිල්පී සන්තෝෂ් නාරායන් යාපනයේදී තිලීපන් සමරන්නට සහභාගී වී සිටියා.
යාපනය, වව්නියාව සහ මුලතිව් ප්‍රදේශවල තිලීපන් සැමරුම් නවත්වන්නට පොලීසිය අධිකරණ නියෝග ඉල්ලා තිබුණා. එහෙත්, එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබුණා.
කෙසේ වෙතත් තිලීපන් සැමරුම් උත්සව ත්‍රිකුණාමලයේ සිදු කිරීම තහනම් කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට ත්‍රිකුණාමල වරාය පොලීසිය කටයුතු කරලා තියෙනවා.
මා ඇතුළු කිහිපදෙනෙකුට විරුද්ධවත් තිලීපන් සමරුවක් කරනවා කියලා මීට කලින් අධිකරණ නියෝගයක් ලබා ගත්තා. ඒ අධිකරණ නියෝගයේ තිලීපන් සමරුවක් මා සංවිධානය කළා කියා තියෙන්නේ බොරු. මා කිසිදිනෙක තිලීපන් සමරුවක් සංවිධානය කරන්නේ නෑ. එයට හේතු ගොඩක් තියෙනවා. හැබැයි, කවුරුහරි මේ රටේ තිලීපන් සමරුවක් සංවිධානය කරනවා නම්, එයට අයිතියක් තියෙන්න ඕනෑ කියලා කියනවා. හදිසි වෙන්න එපා. කේන්ති ගන්න එපා. එහෙම කීවේ ඇයිදැයි විස්තර කරන්නම්.
එහෙත්, මේ කියන තිලීපන් කවුද? ඔහු අවිහිංසාවාදියෙක්ද? ත්‍රස්තවාදියෙක්ද? ඒ ගැනත් අවධානය යොමු කරමු. තිලීපන් ගැන කතා කරද්දී එල්ටීටීඊය ගැනත් කතා නොකර බෑ. සිංහල ජනතාවක් විදියට ඒ ගැන අපි හිතන්න ඕනෑ කොහොමද? ඒ ප්‍රශ්නයටත් අවධානය යොමු නොකර බෑ.
2023 සැප්තැම්බර් 26 වැනිදා මේ කියන උසාවි නියෝග නිකුත් වුණේ, ත්‍රිකුණාමල වරාය, කොට්ටන් ශාලාව, ගාන්ධි වටරවුම සහ ත්‍රිකුණාමලය පොලිස් වසම තුළ තිලීපන් සැමරුම් උත්සව, පෙළපාලි හෝ විරෝධතා කරන්න බැහැ කියලයි. පුද්ගලයන් කිහිපදෙනෙකු උසාවි නියෝගයෙහි නම් කරලා තිබුණා.
ගිය සතියේත් මෙවැනි උසාවි නියෝගයක් ලබාගෙන තිබුණා.
මරදාන පොලිස් ස්ථානාධිපති විදියට වැඩබලන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී.ටී. කුෂන්ත මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඒ නියෝගය ගත්තා. ඒ, සැප්තැම්බර් 19 වැනිදා තිලීපන් සැමරීමේ වැඩසටහනක් නවත්වන්නට කියලා. ඒ නියෝගය අරන් තියෙන්නේ මට එනම් තරිඳු උඩුවරගෙදරටත්, නීතිඥ සංජුලා ඔෂිනි පීටර්ස්ටත්, සත්‍යවේල් පියතුමාටත් එරෙහිව.
‘මරදාන පොලිස් වසමේ කිසිදු ස්ථානයක 19 වැනිදා 12 ඉඳන් 20 වැනිදා දවල් 12 දක්වා පිරිස් වශයෙන් රැස් වී රාසයියා ප්‍රදීපන් නොහොත් ත්‍යාගි ප්‍රදීපන් නමැති අය ස්මරණය කිරීම සඳහා උත්සව පැවැත්වීම හා මාර්ගවල පෙළපාලි ආදී වැරදි සිදු නොකරන ලෙස‘ ධම්මික හේමපාල අතිරේක මහේස්ත්‍රාත්තුමා නියෝග කරලා තියෙනවා. මහේස්ත්‍රාත්තුමාගේ පැත්තෙන් එතුමා නිගමනය කරලා තියෙනවා එය ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නොවන බව.
පුද්ගලිකව මම කිසිදු අභියෝග කිරීමක් නැතිව ඒ උසාවි නියෝගය පිළිගන්නවා. ඒකට හෝ එහි අන්තර්ගතයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවකට යන්න හෝ වෙන කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න මට අදහසක් නෑ. මොකද, මට කිසිම සැලසුමක් තිබුණේ නෑ ඔය කියන දවසේ ඔය කියන වෙලාවේ ඔය කියන වැඩේට සම්බන්ධ වෙන්නට.
ඒත්, මේ උසාවි නියෝගය ලබාගෙන තියෙන්නේ උසාවිය නොමග යවලා බව පෙන්වාදෙමින්, ඒ උසාවි නියෝගය ලබාගැනීමේ පසුබිම ගැන මොහොතක් කතා කරන්න ඕනෑ.
පොලිස් විශේෂ කාර්යාංශය නම් වූ බුද්ධි කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති සහ බස්නාහි පළාත් බුද්ධි කොට්ඨාශවලින් මරදාන පොලිස් ස්ථානය වෙත නිකුත් කරපු බුද්ධි වාර්තා මත පදනම් වෙලා ඉල්ලා සිටිනවාලු. මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රයේදී කරන්නට නියමිත වූ එල්ටීටීඊ සංවිධානයේ හිටපු ලුතිනන් කර්නල්වරයෙකු වන රාසයියා ප්‍රදීපන් හෙවත් ත්‍යාගී තිලීපන් සිහි කිරීමේ උත්සවය නවත්වන්න කියලා.
මෙය ‘ජාතික ආරක්ෂාව‘ සම්බන්ධයෙන් දැඩි ලෙස බලපෑම් ඇති කළ හැකි බවත්, මෙයට විරුද්ධව සංවිධානය වී ඇති විරුද්ධ මතධාරීන් සමග ගැටුම් ඇති විය හැකි බවත්, පවසමින් එම නියෝගය ඉල්ලා තියෙනවා.
සැප්තැම්බර් 17 වැනිදා ත්‍රිකුණාමලයේ මෙවැනි සැමරුම් උත්සවයක් පවත්වන්නට ගිය අවස්ථාවේදී ඇති වූ තත්වයත් සැලකිල්ලට ගන්නා බව උසාවි නියෝගයේ සඳහන් වෙනවා.
ඒ අනුව ‘වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇති පාර්ශ්වයන් හා ඔවුන් ඇතුළු ඔවුන්ගේ අනුගාමිකයන් හා සහභාගී වන නියෝජිත ආදී 30කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිත මෙම ස්මරණ උත්සවය පස්වරු 3ට පමණ දියත් වීමට නියමිත බවත් කරුණු අනාවරණය වෙයි.‘ යනුවෙන් නියෝගයේ සඳහන්.
ගරු මහේස්ත්‍රාත්තුමා මෙම නියෝගය ලබා දෙන අවස්ථාවේ, මෙම වැඩසටහනට සහභාගී වෙනවාද, නැද්ද කියලාවත් අපට කරුණු දක්වන්නට අවස්ථාවක් නැහැ. ඉතින්, එතුමා ඇහුවා නම් මම දැනුම් දෙනවා මෙම වැඩසටහන සංවිධානය කිරීමට මා කිසිම සම්බන්ධයක් නැති බවත්, අඩු තරමේ සංවිධානය කරන්නේ කවුද කියලාවත් දැන නොසිටි බවත්, ඒ වැඩසටහන ගැන කිසිම පුද්ගලික විරෝධයක් නැති නිසා, ඒකට පැමිණෙන බව සඳහන් කරමින් 18 වැනිදා ෆේස්බුක් සටහනක් තැබුවත්, එදාම ටික වෙලාවකට පස්සේ වෙනත් රාජකාරියක් නිසා, ඒ වැඩසටහනට සහභාගී නොවීමට තීන්දු කරපු බවත් මහේසත්‍රාත්වරයාට කරුණු පැහැදිලි කරන්න තිබුණා.
ස්වාභාවික යුක්ති පිළිබඳ සංකල්පය අනුව ගත්තත්, යම් කෙනෙකුට එරෙහිව යම් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා විට, කරුණු පැහැදිලි කිරීමට සාධාරණ ඉඩක් ලැබෙන්න ඕනෑ කියලා මට හැඟෙනවා.
විශේෂයෙන් ‘බුද්ධි වාර්තා‘ කියලා පච හෑලි උස්සාගෙන ඇවිත්, කොහෙවත් ඉන්න මිනිස්සුන්ට විරුද්ධව බොරු කතා කියලා උසාවිය නොමග යවා නියෝග අරගැනීමේ උමතු සංස්කෘතිය ගැන මනාව කියැවෙන උසාවි නියෝගයක් මේක.
මෙම පොලිස් නිලධාරීන් දිගින් දිගටම ගරු මහේස්ත්‍රාත්වරුන්ට බොරු බුද්ධි වාර්තා ලබා දෙමින්, වෙනත් පුද්ගලයන් ගැන අසාධාරණ නියෝග ලබා දීමේ ප්‍රවණතාවක් තිබෙනවා. මහේස්ත්‍රත්තුමන්ලාත් පොලීසියේ පච විශ්වාස කරලා නියෝග නිකුත් කරනවා. මේ වෙලාවේ තිලීපන් සමරුවක් මම සංවිධානය කළා කියලා මා ගැන ප්‍රචාරයකුත් මෙම නියෝගය නිසා යනවා. මට ඒ ගැන ගැටලුවක් නැතත්, මෙවැනි මොහොතක එවැනි බොරු ප්‍රචාරයක් සිදු කිරීම අපේ ජීවිත අනතුරේ දැමීමක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ.
පොලීසිමයනේ කියන්නේ, සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් මේ සැමරීම වැනි සාමකාමී ක්‍රියාකාරකම්වලට පහරදෙන්න සැලසුම් කරන විත්තිය. එහෙනම්, අපේ නම් ප්‍රසිද්ධ කරලා පොලීසිය අපව ඉලක්ක කරවනවාද?
ඇත්තටම මේ කියන උසාවි නියෝගයේ නම් ඒ පහරදෙන කල්ලි කණ්ඩායම්වල නම් ගම් නෑ. ඒ අයට එරෙහිව ගන්න ඕනෑ පියවරවල්වත් නෑ.
කොහොම නමුත්, ලැබුණු උසාවි නියෝගයට මා කොහොමත් ගරු කරනවා. කොහොමත් එම වැඩසටහනට සහභාගී වෙන්න බැහැ. ඒ වෙද්දීත් වැඩසටහන අවලංගු කිරීමට සංවිධායකයන් තීන්දු කරපු බව දැනගන්න ලැබුණා.
කෙසේ නමුත්, මෙම මහේස්ත්‍රාත් නියෝගයේ ඉතාම වැදගත්, ගෞරවණීය කොටස විදියට මා දකින්නේ මහේස්ත්‍රාත්තුමා මෙවැනි වැඩසටහනක් පැවැත්වීමට ඇති අයිතිය ගැන සඳහන් කර ඇති කොටස.
‘ආණ්ඩුක්‍රම ව්‍යව්සථාවේ 14 වැනි ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කොට ලබා දී ඇති මූලික මිනිස් අයිතිවාසිකම්අතර ඇති රැස්වීමේ සහ භාෂණයේ නිදහස භාවිතා කරන අවස්ථාවන් ලෙසට සැළකිය හැකි ශිෂ්‍ය ක්‍රියාකාරීන්, සිවිල් ක්‍රියාකාරීන්, දේශපාලන මතධාරීන්ගේ හෝ ඕනෑම ආකාරයක මහජනතාවගේ සාමකාමී උද්ඝෝෂණයක් සෙසු අයගේ අයිතිවාසිකම් පිළිබඳව නිසි අවධානයෙන් සිදු කරන ලබන සාමකාමී උද්ඝෝෂණ සහ පෙළපාලි මෙම අධිකරණයට මහජන පීඩාව යන ශීර්ෂය යටතේ වැළැක්වීමට හෝ පාලනය කිරීමට හැකියාවක් නොමැත.
කෙසේ වෙතත් පුද්ගලයන්ට සාමකාමීව රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 ව්‍යවස්ථාව යටතේ සුරක්ෂා කොට පවතින අතර එකී අයිතිය ඔවුන් භාවිතා කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යව්සථාවේ 15(7) දක්වන සීමාව තුළදීය.
එමෙන්ම අදාල ක්‍රියාකලාපයන් පාලනයට පොලීසිය යෙදවීමෙන් ඇති වන අගතිදායක තත්වය පිළිබඳ පූර්ව අත්දැකීම් ස්ථානාධිපතිවරයා පෙන්වා දී ඇත. ඒ අනුව මෙම ක්‍රියාකලාපය අනිවාර්ය ලෙසම සාමකාමී තත්වයෙන් බැහැර වෙන මහජන පීඩාවක තත්වයක් හා ජාතික ආරක්ෂාවට බලපාන තත්වක් එළඹෙන බවද බැහැර කළ නොහැක. එබැවින් පහත පරිදි නියෝග නිකුත් කරමි.‘
මේ නියෝගය අනුව ඉතා පැහැදිලි වෙනවා, ත්‍යාගි තිලීපන්ව සැමරීම අධිකරණයෙන් වරදක් ලෙස නම් කරලා නොමැති විත්තිය. ඒ කියන්නේ ඔහු කොටියෙක්ය, ඔහුව සමරන්න අයිතියක් නොමැතිය, එය සැමරුවොත් ත්‍රස්ත ක්‍රියාවක්ය වගේ තර්ක මෙම අධිකරණ තීන්දුවෙන් තහවුරු කරලා නෑ.
ඒ වෙනුවට මෙම නියෝගයට පදනම් වෙලා තියෙන්නේ, යම්කිසි ගැටුමක් අතිවේවි කියන පදනම. ඒ කියන්නේ හෙට වෙනත් කෙනෙකු සැමරුවත්, කවුරුහරි ඕකට ඇවිල්ලා පහරදෙන්න ඉඩ තියෙනවා කියලා පොලීසියට උසාවි නියෝග ලබාගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත්, තිලීපන් සැමරීම තහනම් නෑ.
තිලීපන් සමරන්නේ මොකටද කියන ප්‍රශ්නය ඊළඟට ඔබත්, මමත් අපි හැමෝම අහන්න ඕනෑ. කවුරුහරි සමරන්න සූදානම් වෙලා ඉන්නවා නම් ඒ කෙනාත් තමන්ගෙන් විමසන්න ඕනෑ ඇයි අපි තිලීපන්ව සමරන්නේ කියලා.
ඉතින් අපි තිලීපන් ගැන කතා කරමු.
තිලීපන් ගැන අවබෝධ කරගනිද්දී, බොරු කතා ඔක්කෝම පැත්තකට දාන්න ඕනෑ. අප හමුවේ ඇති ඓතිහාසික කරුණු අනුව පැහැදිලිව කියන්න ඕනෑ, තිලීපන් ගාන්ධිවාදියෙකු නෙවෙයි. ඇත්තටම කීවොත්, දැන් අපි දන්නවානේ මහත්මා ගාන්ධිම ගාන්ධිවාදියෙකු නොවන විත්තිය.
ඇත්තටම තිලීපන්ව ගාන්ධිවාදියෙකු කළේ දෙමළ අයට වඩා සිංහල අය. සෑහෙන රොමෑන්ටික් විදියට ‘දෙමළ, සිංහල සංහිඳියාව‘ ගැන කතා කරන්නත් සමහර සිංහල අයට ඕනෑ. ඔවුන්ට තිලීපන් ගැන මොනවාහරි කියන්නත් ඕනෑ, හැබැයි සිංහල සමාජයේ ඕවා කියන්න ගියාම ලොකු විරෝධයකුත් එනවා, ඒ නිසා බයකුත් තියෙනවා. ඉතින් මේ ආසයි බයයි දෙමළ හිතවාදීන් ටික දකුණෙ මිනිස්සුන්ට තේරෙන විදියට තිලීපන්ගෙ සැර බාල කළා.
එයාලා කිව්වා තිලීපන් මෙච්චර අවිහිංසාවාදී කෙනෙක් කියලා.
එහෙත්, ඔහුව අප හඳුනාගන්න ඕනෑ, රාජ්‍යය ප්‍රචණ්ඩත්වය හමුවේ පීඩාවට පත්වෙච්ච පරම්පරාවක තරුණයෙක් විදියට. අන්තිමේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහිව සංවිධානය වෙලා, සන්නද්ධ වෙලා, තමනුත් ප්‍රචණ්ඩත්වය යොදාගත් සංවිධානයක කෙනෙකු විදියට. ඔහු දෙමළ විමුක්ති කොටි සංවිධානයේ ක්‍රියාකාරීව හිටපු කෙනෙක් පමණක් නෙවෙයි, වඩමාරච්චි සටනේ යුද්ධ කරලාත් තියෙනවා. තිලීපන් මෙහෙයුම් ගණනාවක සන්නද්ධව වැඩ කරලා තියෙනවා.
අපි කිසි කෙනෙක් ඒක හංගන්න දෙයක් නෙවෙයි, දෙමළ විමුක්ති කොටි සංවිධානයත් සන්නද්ධ ගරිල්ලා සංවිධානයක්. ගරිල්ලා යුධ උපක්‍රම, මංකොල්ලකෑම් සහ මිනීමැරීම් විතරක් නෙවයි, නිරායුධ සාමාන්‍ය මිනිස්සුන්ව ඉලක්ක කරලා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පවා කොටි සංවිධානය දියත් කරලා තියෙනවා.
විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව, දෙමළ ජනතාව අතර සිටි කොටි සංවිධානයට විරුද්ධ මත දැරූ අය සහ නිරායුධ සිංහල ජනතාව මත කොටි සංවිධානය හිංසනය දියත් කරපු බව අප කිසි කෙනෙක් යටපත් කරන්න ඕනෑ නැහැ. අමතක කරන්නත් ඕනෑ නැහැ.
එහෙත්, ඒ අතරේ අපි කල්පනා කරන්න ඕනෑ අපේ රටේ හිටපු තරුණ කණ්ඩායම් වගේම මුළු ලෝකයේම තරුණ කණ්ඩායම් දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ අනූ ගණන් දක්වා දරුණු ආයුධ සන්නද්ධ නැගිටීම්වලට සම්බන්ධ වුණේ ඇයිද කියලා. ඒ කාලෙ ගරිල්ලා සංවිධාන, සන්නද්ධ ක්‍රියාකාරකම් වගේම ඒ ක්‍රියාකාරකම් තුළින් අහිංසක ජනතාව පවා විනාශයට ලක් කිරීම් සිදු වෙච්ච කාලයක්. දැඩි ආණ්ඩු විරෝධයකට ඉඩ නොතිබුණු කාලයක්. එහෙව් කාලෙක උතුරේ ජනතාව මත එල්ල වූ, ඉතිහාසයේ ලියැවී තිබෙන සිදුවීම් ගණනාවක් තිබෙනවා.
ඒකේ ප්‍රතිඵලය තරුණයන් ආයුධ අතට ගැනීම. කොටි සංවිධානය ඒ අතරින් ඉතාම බිහිසුණු, දරුණු සංවිධානය වුණා. ඒත්, දෙමළ ජනතාවට ඒ කණ්ඩායම ගැලවුම්කරුවන් විදියට දැනුණේ රාජ්‍ය ත්‍රස්තවාදය ඒ තරම් දරුණු වූ නිසා.
හැත්තෑ ගණන්වල ජාතිවාදී කලබල, සිංහල පමණයි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් නඩු නැතිව තරුණයන් සිරගත කිරීම, ප්‍රමිතිකරණය තුළින් අධ්‍යාපන අවස්ථා අහිමි කිරීම, පොලිස්- හමුදා කණ්ඩායම්වල ඉතාම දරුණු හැසිරීම්, ඉඩම් කොල්ලකෑම ආදී බොහොමයක් සිදුවීම් හමුවේ ජනතාව පුංචි කණ්ඩායමක් වූ කොටි සංවිධානය වටේට මහා පරිමාණයෙන් එකතු වුණා.
තිලීපනුත් ඒ අතර ඉන්නවා. වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබූවෙක් ඔහු. නිකමට හිතන්න, ලංකාවේ අධ්‍යාපනය තුළ බොහෝ අය ඉහළම ජයග්‍රහණය ලෙස සලකන්නේ ඒක. තරුණයෙක්ට ඒක අත්හරින්න හිතුණේ ඇයි? අවුරුදු 24 වෙද්දී මරණය දක්වා යන්න හිතුණේ ඇයි?
රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් 1964 දී ඉපදුණේ යාපනයේ උරුම්පිරායිවල, ඌරළු ගම්මානයේ. 1974 දී යාපනයේ දෙමළ පර්යේෂණ සමුළුවට එල්ල කරපු පොලිස් ප්‍රහාරයත්, 1977 දෙමළ විරෝධී කෝලාහල සහ අන්තිමේ 1983 කළු ජූලිය නිසා තිලීපන් ලංකාවේ දෙමළ ජනතාව විශාල අසාධාරණයකට, අයුක්තියකට, මර්දනයකට සහ පීඩනයකට මුහුණදෙන බව දේශපාලන අවබෝධයක් ලබන්නට හේතු වුණා. ඒ වෙද්දී දශක ගණනක් තිස්සේ දෙමළ ජනතාවට වුණ, ඕනෑ තරම් ඉතිහාස වාර්තාවල සඳහන් වූ පීඩනයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු සොයන්නට තිලීපනුත් තව කණ්ඩායම් එක් එකතු වුණා. 1983 දී තමයි ඔහු දෙමළ විමුක්ති කොටි සංවිධානයේ ශිෂ්‍ය සංවිධානයට එකතු වෙන්නේ. ඒ වෙද්දී ඔහු වෛද්‍ය අධ්‍යාපනයට සුදුසුකම් ලැබූවෙක්. කොටි සංවිධානයේ දේශපාලන අංශයේ සිට ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට තමයි ඔහු මූලිකත්වය ගත්තේ.
ඊට පස්සේ හමුදාව වඩමාරච්චි මෙහෙයුම කරද්දී, ඒකට විරුද්ධව අසූ ගණන්වල අගදී කොටි සංවිධානය වෙනුවෙන් තිලීපන් සටන් කළා. ඉන් පස්සේ වැල්වැටිතුරේවලදී තුවාල පවා ලැබුවා. ඒ අතරතුරේ තමයි ඉන්දියාව එක්ක ඉන්දු- ලංකා සාම ගිවිසුම අත්සන් කළේ.
තිලීපන්ගේ උපවාසය මූලිකව ඉන්දු ලංකා ගිවිසුමට සහ ඉන්දීය මැදිහත්වීමට එරෙහිව දෙමළ ජනතාව පෙළගස්වන එකක් වුණා. ඉන්දීය සාම සාධක හමුදාව එන වෙලාවේ ජනතාව ඒකට කැමති වුණත්, ඉතාම කෙටි කාලයක් ඇතුළත එහි මර්දනකාරී ස්වරූපයට දෙමළ ජනතාව මුහුණදුන් බව කියනවා.
සංවර්ධන සභා ඡන්දයේදී සිදු කළ විනාශය, යාපනය පුස්තකාලයට ගිනිතැබීම සහ සිවිල් ජනතාවට තව හිරිහැර සිදුවීම් ගණනාවක් හමුදාව සිදු කරපු බවට ඕනෑ තරම් මූලාශ්‍ර වගේම ඇසින් දුටු මිනිසුන්ගෙ කතාන්දර උතුරේ තියෙනවා. ඒ පසුබිමේ තමයි තිලීපන්ලාට ජනතාවගේ සහයෝගය ලැබුණේ.
1987 සැප්තැම්බර් 15 වැනිදා උදේ 9.30ට කොටි සංවිධානයේ දේශපාලන අංශයේ යාපනයේ ප්‍රධානියා වූ තිලීපන් නල්ලූර් කෝවිල ළඟ තමන්ගේ උපවාසය පටන් ගත්තා. ඔහු ඉල්ලීම් පහක් ඉදිරිපත් කරලා තිබුණා.
1. සිංහල රජයේ හමුදා දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවලින් ඉවත් කර ගත යුතු ය.
2. දෙමළ ජනයා වෙසෙන පළාත්වල දෙමළ ජනයාගේ අතුරු ආණ්ඩුවක් පිහිටුවන තෙක් පුනරුත්ථාපනය මුවාවෙන් සිදුකෙරෙන සිංහල ජනපදකරණය නවතාලිය යුතු ය.
3. දෙමළ ජනයා වෙසෙන උතුරු-නැගෙනහිර සිංහල පොලිස් ස්ථාන හා කඳවුරු අලුතින් පිහිටුවීම රජය විසින් නැවැත්විය යුතු ය.
4. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු ය.
5. දෙමළ ප්‍රදේශවල පාසැල් තුළ වාඩිලා සිටින ශ්‍රී ලංකා හමුදා හා පොලිස් බල ඇණි ඒවායින් ඉවත්විය යුතු අතර රජය විසින් ග්‍රාමාරක්ෂකයන්ට ලබා දී ඇති ආයුධ ඉන්දීය හමුදා අධීක්ෂණය යටතේ නැවත ලබාගත යුතු ය.
මේ ඉල්ලීම් පහ ඒ වෙද්දීත් ඉන්දීය හමුදා වෙත ඉදිරිපත් කරලා තිබුණාට, ඒවා ගණනට අරන් තිබුණේ නැහැ. ඒ පසුබිමේ තමයි තිලීපන් උපවාසය පටන් ගත්තේ.
ඒ කොටි සංවිධානයේ පූර්ණ අනුග්‍රහය මත දියත් කරපු තිලීපන්ගේ සත්‍යග්‍රහය ‘ගාන්ධියානු‘ උපක්‍රමයක් තමයි. එහෙත් ඒක‘අවිහිංසාවාදයේ‘ අග්‍රඵලය නෙවෙයි. තිලීපන්ගේ ක්‍රියාව වටේට කොටි සංවිධානය දැවැන්ත ප්‍රචාරණයක් දියත් කළා.
‘ජාතික උද්යෝගය උත්සන්න වීමේ සලකුණු පෙනුණු හැම විටම, අපේ සතුරෝ එම උද්යෝගය හීන කිරීම වස් ගිවිසුම් පිළියෙල කොට ඇත. අද ඉනදු ලංකා ගිවිසුම මගින් අදහස් කරනු ලබනනේ විමුක්තිය සඳහා වූ අපේ පිපාසය යටපත් කර දැමීමයි.‘ තිලීපන් සත්‍යග්‍රහයේ සිටියදී කීවා.
යාපනයේ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් පිරිසක් ලියූ බිඳුණු තල් රුක කෘතියේ ඒ ගැන මෙසේ සඳහන් වෙනවා.
‘තිලීපන් සෙමින් සෙමින් හා දරුණු වේදනාවකින් යුතු ව මිය යමින් සිටි බැව් තේරුම් ගැනීමට ටිකක් කල් ගත විය. එය හෙළි කරන ලද්දේ, දෙමළ ජනයාගේ සංවේදී ආගමික හැඟීම් ඇවිස්සෙන ආකාරයකිනි. කන්දසාමී කෝවිල අසල පිහිටි මේ ස්ථානය ඓතිහාසික ආගමික සිද්ධියක් සඳහා ඉතා උචිත විය. තේවාරම් නමැති ශිව භක්ති ගී ගයන ලදී. කඳුළු පිරි මුහුණු සහිත ස්ත්‍රීහු තිලීපන් පිරිවරා සිටියහ. නිදර්ශනම් රූපවාහිනී විකාශය මගින් එල්ටීටීඊය තිලීපන්ගේ සහ මහත්මා ගාන්ධිගේ ප්‍රතිරූප මුසු කොට දැක්වීය.
අවිහිංසාවාදී අරගලයක් යනු කුමක් ද යන්න ගැන එල්ටීටීඊයට තිබුණේ වැරදි වැටහීමක් බැව් පෙණින. ඒ ගැන ඔවුන්ට දොස් පැවරිය නොහැකිය.‘
තිලීපන්ගේ උපවාසය කොහෙත්ම හුදෙකලා එකක් වුණේ නැහැ. ඔහු නිරාහාරව සිටියදී හර්තාල්ද, අනෙක් සියලුම ක්‍රියාමාර්ග ද පාවිච්චි වුණා. ඒ වෙද්දී විවිධ සන්නද්ධ කණ්ඩායම් අතර උණුසුම් ගැටුම් පැවතුණා. එහෙත්, තිලීපන්ගේ ක්‍රියාව වටේට පොදුජන ආවේග පෙළගස්වාගන්න කොටි සංවිධානය සමත් වුණා.
පිළිගත හැකි මූලාශ්‍රවලින් උපුටාගත් තිලීපන් කළායැයි කියන ප්‍රකාශ මෙහෙමයි.
“නැඟිට කතා කරන්නට දුෂ්කර වුවත් මට ඔබ අමතා කතා කරන්නට උවමනා ය. හෙට දිනය වනවිට මට සිහි තිබේදැයි මම නොදනිමි. මේ මොහොත වනතුරු අපගේ විමුක්ති අරගලය වෙනුවෙන් 650 දෙනකු ජීවිත පරිත්‍යාග කොට තිබේ. නෙල්ලිඅඩියේදී දිවිදුන් මිලර් සහෝදරයා ඔහුගේ අවසාන මෙහෙයුමට පිටව යන්නට කලින් මා සමග කී දෙයක් මගේ මතකයේ රැඳී තිබේ: ‘මම මගේ මව්බිම වෙනුවෙන් දිවිදෙමි. එය මට සතුටකි. මා කණගාටුවන්නේ අපේ ජනයා නිදහස දිනනු දකින්නට මට ඉඩක් නොලැබීම ගැන පමණි.’ මිලර්ගේ ඒ වදන් මේ මොහොතේ මම ද ප්‍රතිරාවය කරමි. මේ දක්වා දිවිදුන් 650 දෙනාම මා හොඳින් දන්නා මගේ මිතුරන් ය. අපේ ජනයා කෙදිනක හෝ සිය නිදහස දිනාගනු ඇත. මා මගේ වගකීම ඉටුකරන්නේ පූර්ණ සන්තුෂ්ඨියෙනි.”
“නිවෙන්නට කලින් සාමාන්‍යයෙන් පහන් දැල්ලක දීප්තිය වැඩි වේ. දැන් මම ද ඒ පරිදි වෙමි. නමුත් මා ඉන්නේ සන්තෝෂයෙනි. මට තවමත් කතා කළ හැකි ය. මට පිටව යන්නට ඔබ සියල්ලන්ගේ ආශිර්වාදය ඕනෑ ය. මහා විරුවන්ව දිවි දුන් 650ක් වූ මගේ පූර්වගාමීන් අතරට 651 වැනියා වශයෙන් නික්ම යන්නට මම සූදානමින් සිටිමි. නමුත් ඔබ සටන අත් නොහළ යුතු ය.”
අවසානයේදී සැප්තැම්බර් 26 වැනිදා තිලීපන් මරණයට පත් වුණා. කොටි සංවිධානය දෙමළ ජනතාව අතර ස්ථාපිත වෙන්නට මෙම උපවාසය විශාල දායකත්වයක් දැක්වුවා.
තිලීපන් කරපු ක්‍රියාව තුළ, තමන්ගේ ජීවිතය කැප කිරීම තුළ වීරත්වයක් තියෙනවා. ඒක මිනිස්සු ඉතා ගෞරවයෙන් සැලකුවා. ඒක නවත්වන්න අපට බෑ. ඒ වගේම දකුණේ මිනිස්සු වීරත්වයෙන් සැලකූ පුද්ගලයන් ජනතා විමුක්ති පෙරමුණේ හිටියා. තවත් අරගලකාරී කණ්ඩායම්වල හිටියා.
තිලීපන්ගේ ක්‍රියාවෙන් පසු පසු දෙමළ අරගලය ගමන් කළ මාවතවත්, ලංකාවේ ජනතාවගේ ජීවිත ගමන් කළ මාවතවත්, ඉතිහාසයවත් මේ කිසිවක් අපට ආඩම්බර වෙන්න පුළුවන් තත්වයන් නෙවෙයි. ඒත් මිනිස්සු විවිධ විදියට ඒ අතීතය ස්මරණය කරනවා. ඒක ඒ ඒ මිනිසුන්ගෙ අයිතියක්.
කිසි කෙනෙක් මෙතැන නිවැරදි නෑ. විශේෂයෙන්- බලය හිමිව තිබූ ‘සිංහල-බෞද්ධ‘ ලේබලය අලවාගත් රාජ්‍ය නිවැරදි නෑ. බලය හිමි වූ අය විශේෂයෙන් නිවැරදි නෑ.
එහෙත්, ඔබ දන්නවද? අද ඒ ඉතිහාසයේ සිටි හැම කෙනෙක්වම සමරනවා. ජාතිවාදයේ පියා වූ බණ්ඩාරණායකගේ පිළිමයක් ගෝල්ෆේස් එකේ තියෙනවා. මහින්ද රාජපක්ෂ වැනි අමු ජාතිවාදියෙකුගෙ නමින් රටේ ගුවන් තොටුපොළවල්, ක්‍රීඩාංගණ ඇතුළු බොහෝ දේවල් නම් කරලා තියෙනවා. සිරිල් මැතිව්, ගාමිණී දිසානායක වැනි කොතෙකුත් ජාතිවාදීන්ව සමරනවා. ගෝඨාභය රාජපක්ෂ වැනි බිහිසුණු චරිතයක් දැවැන්ත ඡන්දයකින් ජනාධිපති ධුරයට පත් කළා. අදටත්, ඔහු යහතින් පවතිනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සියලු තොරතුරු තිබියදී වගකීම් පැහැරහැරපු නිලන්ත ජයවර්ධන අදටත් තනතුරු සහිතව වැජබෙනවා. අධිකරණයේදී දෙමළ දරුවන් පවා ඝාතනය කරපු බව තහවුරු වුණාට පසුවත්, සුනිල් රත්නායක කියන හමුදා සෙබළා ජනාධිපති සමාවෙන් නිදහස් වෙනවා. ඔහුව රණවිරුවෙක් විදියට ලේබල් වෙනවා.
මේක එහෙම කෙළවෙච්ච රටක්. එහෙම රටක දෙමළ ජනතාවගේ බලාපොරොත්තුව, විශ්වාසය දිනාගත්ත තරුණයෙක් තිලීපන්. ඔහු කළ කී දේ එදා යුගය- සන්දර්භය තුළ තැබුවාම ඔහුව සමරන එක ගැන කාටවත් පුදුම වෙන්න දෙයක් නෑ.
ඒ සැමරීම් නවත්වන්නත් බෑ. මේ වෙද්දී මාධ්‍යවල ගියේ පහරදීම්වලින්, උසාවි නියෝගවලින් සහ නොයෙකුත් දේවල්වලින් නැවැත්වූ තිලීපන් සැමරුම් ගැන. ඒත්, ඒ සියලු බාධා මධ්‍යයේ මේ වසරේදීත් හැමතැනම තිලීපන් සැමරීම් සිද්ධ වුණා.
දැන් ප්‍රශ්නය ඒවා නවත්වනවාද? නැද්ද? කියන එක නෙවෙයි. මේ මොහොතේත් දෙමළ ජනතාව විඳින ප්‍රශ්නවලට ඔබ සංවේදීද? ඔවුන් සමරන ඕනෑ කාවද කියා බණ දේශනා කරනවාද? කියන එක. අපි හැමවෙලාවේම නිර්භයව දෙමළ ජනතාවගේ හඬ ඔබ වෙතට ගේනවා. ඉදිරියටත් ඒක කරනවා.
අපි ඒක කරන්නේ අතීතයේ සිටි සන්නද්ධ කණ්ඩායම් යළි පණගන්වන්න හෝ, රටක් විනාශ කරන්නට නෙවෙයි. අනාගතයේදී සියලු ජනතාවට සාධාරණ ලෙස ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්නට.