Wednesday, October 4

සමීප යාළුවන් නැතිවීම දවසට සිගරැට් 15ක් බොනවාට වඩා අහිතකරයිලු! ඒත් යාළුවො වධයක් නෙවෙයිද?

රිචර්ඩ් රීව්ස් කියන ලේඛකයා මෙහෙම කියනවා. ‘ඇතැම් අධ්‍යනයන් පෙන්වාදෙන පරිදි, සමීප මිතුරෙක් නොමැතිව තනි වීම සිගරැට් 15ක් දිනකට බොනවාට වඩා ශරීරයට අහිතකරයි‘ කියලා.

හැබැයි ඕක කිව්වාම, වෙනත් ප්‍රශ්නයක් එනවා. යාළුවෙක් කියන්නෙ මොන විදියෙ යාළුවෙක්ද? 

යාළුකම් පවත්වාගන්නවා කියන අදහසේ තේරුම මොකක්ද අද කාලේ? ඕනෑ කෙනෙක් කියයි මට යාළුවන් 5000ක් ඉන්නවා කියලා. නැත්නම් 350ක් ඉන්නවා කියලා. සෝෂල් මීඩියා එකේදී හෝ කාර්යාලයේදී හෝ වට්ස්ඇප් චැට් ගෘප්වලදී අපි අපේ ‘යාළුවන්‘ කියා පිරිසක් අඳුනාගන්නවා.

ඉතින්! අපි සෞඛ්‍ය සම්පන්නයි! යාළුවෝ ඉන්නවා.

ඒත්, ඇත්තටම අපි යාළුකම් පවත්වන්නෙ කොහොමද? ඒක හරි විදියට අපි පවත්වගෙන යනවද? අපි ජීවිතේ යාළුකම් පවත්වන්න දෙන වැදගත්කම මොකක්ද?

සමහර වෙලාවක යාළුවන් එකට එකතුවෙලා පැය ගාණක් ඉන්න පුලුවන්. දෙන්නෙක් දේශපාලනේ ගැන කතාවක. තව කෙනෙක් ඩාන්ස් කරන්න දඟලනවා. කට්ටිය එකතුවෙලා කෑමබීමට ලොකු බිලක් ගිහිල්ලා. කට්ටියම බිසි නිසා ඔක්කොම එකතු කරවාගන්නට දඟලපු කෙනාට සෑහෙන තෙහෙට්ටුවක් දැනෙනවා. කොහොමත් එක යාළුවෙක් හෝ දෙන්නෙක් එන්නේ නැතිව පොලු තියලා.

අන්තිමේ පැය කිහිපයක් ඉවරවෙලා ගෙදර යනකොට, මොකටද අපි මේ පැය කිහිපයක් නාස්ති කළේ කියන ප්‍රශ්නය හිස ඇතුළේ තියෙනවා ඇති. මොන මගුලක්ද ඕයි! වැඩක් කරගන්නට තිබුණු වෙලාව.

යාළුකමත් එක්කම තියෙන ලොකුම දාර්ශනික අවුල තමයි එයට, ‘අරමුණක්- පර්පස් එකක් නොමැතිවීම‘ ගැන ප්‍රශ්නය.

ඇත්තටම යාළුකම මොකටද? ඔය ප්‍රශ්නය අහන්නේම! අපි යම් දෙයක් සඳහා පුද්ගලයන් දෙන්නෙක් හෝ කිහිපදෙනෙක් එක තැනකට එකතුවීමේ අරමුණ විදියට අද හඳනාගන්නේ ඉතාම ප්‍රාථමික- සුළු දේවල් ටිකක් විතරයි.

ප්‍රධාන වශයෙන්ම ඒ යාළුකම නිසා සල්ලි එනවා නම්, බිස්නස් පාට්නර්ස්ලා වගේ. කාර්යාලයක ටීම් එකක් එකට වැඩ රස්සාව කරනවා නම්, ඒකත් රැකියාව මත හැදෙන යාළුකමක්නේ.

ඥාතීන් නොයෙකුත් දේවල් කරනවා නෑකම් පවත්වාගෙන යන්නට. ඒක සමහරවිට සමාජ තත්වය එක්ක ගැටගැහිලා ඇති.

නැත්නම් එකට විශ්වවිද්‍යාලෙක හරි, වෙනත් තැනක හරි ඉගෙනගන්න අය අධ්‍යාපන දියුණුව වෙනුවෙන් සම්බන්ධතා පවත්වනවා. ඉතින් බොහෝ යාළුකම් පවතින්නෙම එකිනෙකා ගැලපෙන නිසා නෙවෙයි, නොයෙකුත් හේතු මත එකිනෙකාට මුණගැහෙන්න සිද්ධවෙච්ච නිසා.

අපි වාසනාවන්ත නම් ඒ තැන්වලදි ‘හොඳ යාළුවන්‘ හමුවේවි. ඒත් හොඳ යාළුකම් කියන්නෙ මොකක්ද?

බෞද්ධ දාර්ශනික පදනම

කළ්‍යාණ මිතුරන් බෞද්ධ දර්ශනය මිත්‍රත්වය ගැන ඉතාම දියුණු අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. උපකාරක මිත්‍රයා, සමාන සුඛදුක්ඛ මිත්‍රයා, අර්ථඛ්‍යායි මිත්‍රයා සහ අනුකම්පක මිත්‍රයා කියන සිව්විධ මිතුරන් ගැනත්, පාප මිත්‍රයන් ගැනත් බුදුදහමේ තියෙනවා.

මේ බෞද්ධ සංකල්ප එක්ක සමහරවිට ඔබ එක්ක මධුවිතක් පානය කරන්න සෙට් වෙන යාළුවෙක්, පොඩි තක්කඩි වැඩක් කරලා එකට හිනාවෙන යාළුවෙක් ‘හොඳ යාළුවෙක්‘ නෙවෙයි කියලාත් හිතෙන්න පුළුවන්.

ඒත්, නූතන සමාජයට ගැලපෙන විදියට කලින් කී බෞද්ධ අදහසේ හරය තේරුම් ගන්න අපට හැකි වෙන්න ඕනෑ. උදව්වක් ඕනෑ වෙලාවක දුවගෙන එන යාළුවා උපකාරක මිත්‍රයා. එයා මිතුරා රකිනවා. මිතුරාගේ වස්තුව රකිනවා. හදිස්සියක් වුණාම උදව් කරනවා.

ඔබට කරදරයක් වුණොත්, ඒක තමන්ට වුණා වගේ දැනෙන මිත්‍රයා සමාන සුඛදුක්ඛ මිත්‍රයා. එයා තමන්ගෙ රහස් මිතුරාට කියනවා, මිතුරාගේ රහස් හැමතැනම නොකියා ආරක්ෂා කරනවා. කරදරයකදී අත්හරින්නේ නෑ. සමහරවිට මිතුරා අවුලෙන් කියා තේරුම් අරන්, කරුණු විමසලා උදව් කරනවා.

අර්ථඛ්‍යායී මිත්‍රයා කියන්නේ තමන්ගේ දියුණුවට පාර පෙන්වන මිත්‍රයා. සමහරවිට ඒ වගේ යාළුවෙක් කියන දේ ගැන කේන්ති යන්නත් පුළුවන්.

යාළුවාට අම්මා කෙනෙක් වගේ ආදරය කරන මිත්‍රයා අනුකම්පක මිත්‍රයා. යාළුවාගේ පිරිහීම ගැන කම්පාවෙනවා. දියුණුවේදී සතුටු වෙනවා. බැණුම් අහන්න දෙන්නේ නෑ. මේ කියන ඔක්කොම ගුණාංග එකිනෙක මුහුවෙලා යාළුවන්ගෙ තියෙන්න පුළුවන්.

ඒත්, ඇත්තටම මෙහෙම යාළුවන් ඉන්නවාද?  

ඩැනියෙල් කොක්ස් කියන කෙනා තමන්ගේ ලිපියකින් ‘මිත්‍රත්ව අවපාතය‘ කියලා එකක් ගැන කතා කරනවා. ‘ඇමෙරිකානු පිරිමින් මිත්‍රත්ව අවපාතයක සිටිනවා‘ කියලා ඔහු නැෂනල් රිවීව් සඟරාවට ලියපු ලිපියක කතා කරලා තිබුණා.  

විශේෂයේදී හදිසියකදී උදව් කරන්න, අඩුම තරමේ කතා කරන්න මිතුරන් නොමැති වීම. සතුටුදායක මොහොතකදී කතා කරන්න මිතුරන් නොමැති වීම. ඔහු ප්‍රශ්න විදියට මතු කරනවා. ඒක තුළ ඔහු මතු කරන කාරණාවක් තමයි අපි මුලින් සඳහන් කළේ.

ඒ කියන්නේ බොහෝ විට ඉතාම අඩු තක්සේරුවකට ලක් වූ මනුෂ්‍ය සම්බන්ධතාව තමයි ‘මිත්‍රත්වය‘ කියන්නේ.  මිතුරන් හැදෙන හැටි ගැන අප කලින් කී කතාවත් ඔහුගෙන් උපුටාගත් එකක්. ඒ කියන්නේ ඉස්කෝලෙදී, වැඩ කරන තැනකදී, නැත්නම් විනෝදාංශ වගේ දේවල්වලදී, ඔන්ලයින් මිත්‍රත්වයන් වගේ විවිධ හේතු මත මිතුරන් හමුවෙන බව.

හැබැයි එයින් එහාට ගිහින්, ඇත්තටම යාළුවන් කියා කියන්න පුළුවන්මි තුරන් කීයක්ද?

සමහර කෙනෙක්ට ඒ සංඛ්‍යාව 10- 15 වගේ වෙන්න පුළුවන්.

හැබැයි සමීපම මිතුරන් තමයි අපි කලින් කීව, සිගරැට් 15ක් බොන තරම් දරුණු අර්බුදයක් ඇති නොවී පවතින්නට ඉතා වැදගත් වෙන්නේ. සමහරවිට එක්කෙනෙක්. නැත්නම් තුන හතරක් වෙන්න පුළුවන්.  

හැබැයි තව ප්‍රශ්නයක් තමයි මේ තරම් යාළුවන් ප්‍රමාණයක් සංවිධානය කරගන්නෙ කොහොමද කියන එක.

බටහිර දර්ශනය අනුව මිතුරන්

මිතුරන්ව ඕගනයිස් කරගැනීම ස්කූල් ඔෆ් ලයිෆ් කියන දාර්ශනික අදහස් බෙදාගන්නා යූටියුබ් නාළිකාව සහ වෙබ් අඩවිය විසින් මිත්‍රත්වය ගැන වැදගත් කැටගරි කිහිපයක් පෙන්වාදීලා තියෙනවා. අපි එක් එක් මිතුරන් එක්ක ඒ ඒ මිත්‍රත්වයන් පවත්වාගෙන යන්නේ ඇයිද කියලා කල්පනා කළොත්, ඒ මිත්‍රත්වයන් නොකැඩී තියාගන්නට කාලය ඉතිරි කරගන්න හැකි වේවි.

එක එක හේතු මත යාළුකම් පවතින්න පුළුවන්. ඒ හේතු දිහා බලන්න.

  • අරමුණු ජයගන්න

තනි මිනිහෙක්ට කිසිදෙයක් තනියම කරන්න බැහැ. එන්න එන්නම ඒ වැඩේ නූතන ලෝකය තුළ සංකීර්ණ වෙනවා. එහෙම සංකිර්ණ සමාජයක යමක් කරන්නට, ඒ ඒ හැකියාවන් තියෙන අය අතරේ පිරිසක් එකතු කරගන්න වෙනවා. ජේසුස් වහන්සේ 12 දෙනෙකු එකතු කරගත්ත හැටිත්, බුදුන් වහන්සේ අසූමහා ශ්‍රාවකයන් එකතු කරපු හැටිත්, විප්ලව කරපු අය විප්ලවකාරී පිරිස් සහෝදරත්වයෙන් එකතු කරගත් හැටිත් ඉතිහාසයේ අසා තිබෙනවා. අද වුණත් ඕනෑ තරම් අරමුණුවලට එවැනි මිත්‍රත්වයන් ඇති කරගන්නවා. සමහරවිට එකම වෘත්තියක යෙදෙන අයට, එකම ක්ෂේත්‍රයක නියුතු අයට, නැත්නම් යම්කිසි දේශපාලනික හෝ වෙනත් සමාජීය වෙනසක් ගැන එකම අදහසක් ඇති අයට, නැත්නම් එකම ආගමික විශ්වාසයක් ඇති අයට පවා මෙවැනි මිත්‍රත්වයන් පවත්වාගන්න පුළුවන්.

  • බිය නැති කරන්න

මනුෂ්‍යත්වය බියෙන් පිරුණු එකක්. අපි කේන්තිය, බිය, සැකය, සතුට, දුක සහ නොයෙකුත් හැඟීම් මත අපි අසීරුවෙන් කාලය ගත කරනු ඇති. සමහරවිට අපට යම් දෙයක් කරන්නම ඕනෑ, ඒත් ඒ දේ කරනවාද නැද්ද කියා ලොකු සැකයක් ඇති. බියක් ඇති. අන්න එහෙම වෙලාවක අපේ බිය නැති කරන මිතුරන් තමයි දෙවැනි ප්‍රවර්ගය. මෙන්න මෙහෙම මිතුරන්, අපි කරනදේවල් ගැන සහතික ලබා දේවි. අපේ ජීවිතය, නොබියව ඉදිරියට ගෙනයන්න ඔවුන් ඉදිරිපත් වේවි.

  • විනෝදයට

අද අපේ කාර්යබහුල ජීවිතවල සතුට හැර හැමදේම තියෙනවා. විනෝදය හැර හැමදේම තියෙනවා. මිනිස්සු විනෝද වෙනවා කියන්නේම ටිකක් ළාමක දේවල් කරන එක. තාලෙට ඇඟ හොල්ලනවා හෙවත් නටනවා. ළමයි වගේ විහිළු තහළු කරනවා. කයිවාරු ගහනවා. එකිනෙකාට හිත නොරිදෙන්න උසුළු-විසුළු, අපහාස-උපහාස කරනවා. එක එක ෆැන්ටසි කතන්දර බෙදාගන්නවා. සමහරවිට යටි හිතේ ගැඹුරේ තියෙන ආශාවක්, සමහරවිට යම් කෙනෙකු ගැන ඇති ආකර්ෂණයක් ගැන කතා කරනවා. කෑගහනවා. සරලව කීවොත් බොළඳ වෙනවා. අපට කිසිම බයක් නැතිව නිදහසේ ඒ බොළඳ ස්වරූපය එළියට ඉදිරිපත් කරන්න පුළුවන් අය තමයි විනෝදබර මිතුරන්.

  •  ඇහුම්කන් දෙන්න

සමහරවෙලාවට අපේ ජීවිතය ඔහේ ගලා යනවා. ඇයි අපි මේ දේවල් කරන්නේ. අහවල් වෙලාවේ කළ යුතු දේ මොනවාද? නොකළ යුතු දේ මොනවාද ආදී ප්‍රශ්න ඇති වෙනවා. එහෙම වෙලාවකදී කල්පනාභරිතව ඇහුම්කන්දීලා, අහන්න වැදගත් ප්‍රශ්න ටික ඉවසිල්ලෙන් අපනේ විමසලා, අපට හරි තීන්දුව ගන්නට අවශ්‍ය තරම් වැදගත් උපදෙසක් බෙදාගන්න සමත් මිතුරන් අනෙක් ප්‍රවර්ගය.

කිසි එහෙකට නැති යාළුවන්

මොකක්හරි හේතුවක් නිසා, මේ කිසිම ගති ලක්ෂණයකට අයත් නොමැති අයත් අප වටේ කැරකෙන්නට ඉඩ තියෙනවා.

ඉහත කී බෞද්ධ සංකල්ප හෝ බටහිර සංකල්ප යන කිසිදු හේතුවක් නොමැතිව අපට වැදගත්කමක් නැති මිතුරන් කොච්චරවත් අපි වටේටම ඉන්නවා නම්, අපි ඔවුන්ට මොකද කරන්නේ.

ඒ තෝරාගැනීම ඔබ අතේ තියෙනවා. ඔබ ළඟට දුවගෙන එන්නෙත් නැත්නම්, ඔහුගෙන් හෝ ඇගෙන් ඔබට විනෝදය හෝ වෙන කිසි දෙයක් ලැබෙන්නේත් නැත්නම් මොන මගුලකටද ඒක පවත්වාගෙන යන්නේ?

මේ වගේ කාලෙක සෞඛ්‍යයට මිතුරන් වැදගත්

හරි මේ කතාව කැරකිලා අපි ආයෙමත් මුලින් ඉස්මතු කරපු, සෞඛ්‍ය තේමාවට අපි ඇදලා ගන්නවා. මානසික සහ ශාරීරික සෞඛ්‍ය ගැන.

මේක අමාරු කාලයක්. ඔබට- අපට මිතුරන් ඕනෑ. යම් කෙනෙකු මානසිකව දුර්වල වෙද්දී ඒ අයගේ ශාරීරික සෞඛ්‍යය ඉතාම දුර්වල වෙන්න පුළුවන් බව ඇමෙරිකාවේ සිදු කර ඇති අධ්‍යනයන්ගෙන් පෙනී යනවා.  අධ්‍යනයන් ෙනොළත් අපි හැමෝම ඒ බව දන්නවා නේ.

මේ කාලය සාම්ප්‍රදායික ආයතනගත සම්බන්ධතාවල අඩුවීමක් එන්න එන්නම පේනවා. විවාහයට සමහරුන් ප්‍රමාද වෙනවා. සමහරවිට විවාහයන් දෙදරලා යනවා. ඒත් එන්න එන්නම සැබෑ ලෙස     මිත්‍රත්වයන්ට තියෙන අවදානම් කාර්යබහුලත්වය ප්‍රධානම සාධකයක්.

සමහරුන්ගේ අනන්‍යතාවයම හැදී තිබෙන්නේ ඒ කෙනාගේ රැකියාව, ඒ කෙනා කරන දේ එක්ක. උදාහරණයක් විදියට මාධ්‍යවේදියෙක්, අදහස් සන්නිවේදකයෙක් විදියට අපට තියෙන අනන්‍යතාවයත් එක්ක අපේ ජීවිතේම ගැටගැහිලා තියෙනවා. ඒ නිසා සමහරවිට කෙනෙකුගේ ශක්තිය, ශ්‍රමය මිත්‍රත්වය සඳහා වෙන් කරන්න බැරි වෙන්නට පුළුවන්.

කාර්යබහුලත්වය තිබියදී වුව මිත්‍රත්වයන් පවත්වාගෙන යන්නට තවත් බාධාවන් තියෙනවා. ඒ තමයි අපි විවිධ හේතු නිසා තැනකින් තැනකට ගමන් කිරීම. යාළුවන් වෙනුවෙන් කියා අපි හැමදාම එකම තැන ඉන්නෙත් නෑ, යාළුවන් ඉන්නෙත් නෑ.

ඉස්සර කාලෙ වගේ එක පාසලක පොඩි කාලෙ ඉඳන් හිටපු අය ඒ පාසල තිබුණ ගමටම වෙලා, ජීවිතාන්තය දක්වා මිතුරු සමාජයක් විදියට විදියට ඉන්නේ නෑ. ඒ කියන්නේ එක පන්තියේ හිටපු යාළුවෝ සෙට් එකම පසුකාලීනව ගමේ පොලිස් නිලධාරියා, ගමේ ගුරුවරයා, ගමේ වෛද්‍යවරයා ආදී ලෙස ගම ඇතුළේම සෙට්ල් වෙන්නේ නෑ.

දැන් නම් බොහෝවිට රටින්ම පිටට යනවා. නැත්නම් වෙනත් නගරවලට යනවා. ඒ වගේම පුද්ගලයන්ගේ අදහස් වෙනස් වෙනවා. නොයෙකුත් හේතු නිසා මිත්‍රත්වයන් ඉක්මනින් බිඳවැටෙන්න ඉඩ තියෙනවා.    

ඇත්තටම මේක ගමන් කරන්න පුළුවන් කොතැනටද? පුළුවන් තරම් තමන්ට විතරක් කේන්ද්‍ර වුණ, තමන් ගැන විතරක්ම හිතන තනි තනි පුද්ගලයන්ගෙන් පිරුණු, දුක්බර සහ කාන්සියෙන් පිරුණ මිනිසුන් පිරිසක් දක්වා යනු ඇතිද?

හදිසියකදී උදව් කරන්න කෙනෙක් නැතිකම, බැඳීම් නැතිකම දක්වා මිනිසුන් ගමන් කරනු ඇතිද?   ප්‍රාග් ඓතිහාසික යුගයේ – ඒ කියන්නේ ලිඛිත සහ විධිමත් ශිෂ්ඨාචාරයක් බිහිවෙන්නට කලින් වනාන්තරවල ගෝත්‍ර විදියට පැවති යුගයේ මනුෂ්‍ය වර්ගයා සහ අපේ ආදිකාලීන වානරයන් සාර්ථක වෙන්නට ප්‍රධානම හේතුව අපට තියෙන ලොකුම ලොකු මොළය කියලා අපි හිතුවාට, ඇත්තටම ඒ මොළය අද තත්වයට වර්ධනය වෙන්නත් කලින්ම, ඉතාම බිහිසුණු සතුන් සිටි යුගයක මනුෂ්‍ය වර්ගයා වනාන්තරවලදී ආරක්ෂා වුණේ එකම එක හේතුවක් නිසා.

ඇත්තටම එදා මනුෂ්‍ය වර්ගයාගේ ලොකුම හතුරා වුණේ, ලොකු මැමත්ලා, කොටින්, සිංහයන් හෝ වළසුන් නෙවෙයි. අපි හැරුණාම රංචු ගැසී ගමන් කරපු වෘකයන්. ඒ කාලේ වනාන්තරවල රජ කළේ මේ රංචු ගැසුණු දෙවර්ගය. ඒත්, මනුෂ්‍ය වර්ගයා ක්‍රමයෙන් වෘකයන් පරාජය කළා. ඒ වෘකයන්ගෙන් කොටසක් මනුෂ්‍ය රංචුවලට එක් වුණා. අද විවිධ වර්ගවල බල්ලන් දක්වා කෘත්‍රිමව පරිණාමනයට ලක් වෙලා ඉන්නේ එදා මනුෂ්‍ය ශිෂ්ඨාචාරයට එක් වූ වෘකයන්.

ඒ බල්ලන්ගේත්, මනුෂ්‍යයන්ගේත් ජානවලම තියෙනවා තනියෙන් නොඉඳ රංචු ගැසීමේ ගති ලක්ෂණ.

ඉතින් මිතුරනි!  

මිත්‍රත්වයන් ඉබේ හැදෙන්නේ නෑ මිත්‍රයන් අපට ඉබේම මුණගැහිලා, ඉබේම යාළුකම් ගොඩනැගෙන්නේ නෑ. අපි ඉතාම පරෙස්සමෙන්, ඉවසීමෙන් සහ උනන්දුවෙන් මිත්‍රත්වයන් ගොඩනගාගන්න ඕනෑ. ඒ වගේම ඒකෙදී අපි ආත්මාර්ථකාමී නොවෙන්න ඕනෑ.  

අපි අන්තිමේ මිතුදම් ගැන බටහිර දර්ශනයේ පරණම චරිතයක් වන ඇරිස්ටෝටල්ගේ ඉගැන්වීම්වලට යොමු වෙනවා.

ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් ඉතා දැඩිව පෙනී සිටපු අදහසක් තමයි මිත්‍රත්වය කියන්නේ. හොඳින් ජීවත්වෙනවා කියන්නේ මොකක්ද? මුදල් උපයන එකද? මහා සැප සම්පත් භුක්ති විඳින එකද?  ඇරිස්ටෝටල් කියන විදියට හොඳින් ගෙවන ජීවිතයක යහපත් මනුෂ්‍ය සම්බන්ධතා තියෙන්න ඕනෑ.  

යම්කිසි අවශ්‍යතා වෙනුවෙන් පවත්වාගෙන යන මිත්‍රකම් සදාකාලිකව පවතින්නේ නෑ. ව්‍යාපාරයකදී, රස්සාවකදී දෙන්නෙක් හමුවෙලා ඉතාම හොඳට කාලය එන්ජෝයි කළත් වැඩේ ඉවරවුණාම මෙවැනි මිතුදමක් අවසන් වේවි.

විනෝදය වෙනුවෙන් පවත්වාගෙන යන මිත්‍රත්වයන් ඇතැම්විට ඒගොල්ලන් ඒ දේ විනෝදයක් විදියට තවදුරටත් සලකන්නේ නැති දවසක නිම වේවි. කාලයක් ෆුට්බෝල් ගහන අය, ඊට පස්සේ වීඩියෝ ගේම් ගහන්න පුළුවන්. එතකොට මෙහෙම මිතුරන් දුරස් වෙන්න ඉඩ තියෙනවා.    

ඇරිස්ටෝටල් වැඩිපුර අගය කරන්නේ තුන්වැනි මිත්‍රත්ව ප්‍රවර්ගය. ඒ තමයි එකිනෙකාගේ විශ්වාසයන් ගැන තියෙන ගරුත්වය නිසා ඇති වෙන මිත්‍රකම්. එකම විදියක වටිනාකම් තියෙන මිතුදම්.

යහපත සහ නරක පිළිබඳ දෙපාර්ශ්වයේ අදහස් සමාන නිසා ඒ මිතුරන් එකට පවතීවි. එකිනෙකා හුදෙක් බාහිර දේවල්වලට වඩා ගැඹුරු බැඳීමක් ගොඩනගාගනීවි. කාලයක් යනතුරු ඒ මිතුදම් නොනැසී පවතීවි.  

හැබැයි එහෙම මිතුදම් එකපාරම අහම්බෙන් උදා වෙන්නේ නෑ. ඒ මතුදම වෙනුවෙන් ඔබ වෙන් කරන කාලය, ඔබට ඒ ගැන තියෙන වුවමනාව, ඒ මිතුදම වෙනුවෙන් ඔබේ තියෙන කැපවීම මත ඉතාම හෙමීට ඇරිස්ටෝටල් කියපු ජාතියේ යහපත් මිතුරන් ගොඩනැගේවි.

හැබැයි, ඒවා ගොඩනැගුණාම ඒ මිතුදම් සුන්දර ලෙස පිබිදේවි.

Author

%d bloggers like this: