මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම පිළිබඳ විමර්ශනවලදී තමන් අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම හේතුවෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හය දෙනෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හයක් නොවැම්බර් 27 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ. එල්. ශිරාන් ගුණරත්න, මේනකා විජේසුන්දර සහ කේ. එම්. ජී. එච්. කුලතුංග යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුකර හයේ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී 2015 වසරේ අත්අඩංගුවට ගනු ලැබූ ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හය දෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබ තිබුණි.
2015 සහ 2016 වසරවලදී ගොනු කර තිබූ එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් නම් කර තිබුණි.
SC/FR/365/2015, SC/FR/366/2015, SC/FR/367/2015, SC/FR/368/2015, SC/FR/200/2016 සහ SC/FR/203/2016 යන නඩු අංක යටතේ මෙම පෙත්සම් විභාගයට ගෙන තිබුණි.
ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ද වින්දිත පාර්ශ්වය නියෝජනය කරමින් මෙම නඩුකරවලට මැදිහත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි. ඒ අනුව 2015 වසරේ ගොනු කළ නඩුකර හතරේ අටවැනි වගඋත්තරකාරිය ලෙසත්, 2016 වසරේ ගොනු කළ නඩුකර දෙකේ නවවැනි වගඋත්තරකාරිය ලෙසත් කරුණු දැක්වීමට ඇයට අවසර ලැබී තිබුණි.
මුල් අවධියේදී ජනාධිපති නීතිඥ ක්‍රිෂාන්ත වැලිඅමුණ ඇතුළු නීතිඥවරුන් පිරිසක් ද, ඉන් අනතුරුව දීර්ඝ කාලයක් තිස්සේ නීතිඥ පුලස්ති හේවාමාන්න ඇතුළු නීතිඥවරුන් පිරිසක් ද සන්ධ්‍යා එක්නැලිගොඩ වෙනුවෙන් මෙම නඩුකරවලදී පෙනී සිට තිබේ.
තීන්දුවෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ තමන් වෙනුවෙන් පෙනී සිටි සියලු නීතිඥවරුන්ට කෘතඥතාව පළ කර තිබුණි.
‘යුක්තිය සොයා යන ගමනකදී නීතිය වෙනුවෙන් පෙනී සිටීම වෘත්තීය වගකීමක් පමණක් නොවේ. ඇතැම් විට එය සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් දරන සමාජීය වගකීමක් ද වේ.’ යනුවෙන් ඇය එහි සඳහන් කර තිබුණි.
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ අපරාධ විමර්ශනයේදී නිලධාරීන් ක්‍රියා කළ ආකාරය අභියෝගයට ලක් කරමින් දශකයකට අධික කාලයක් තිස්සේ පැවැති මූලික අයිතිවාසිකම් නඩුකර හයක් මෙලෙස අවසන් වී තිබීම විශේෂත්වයකි.
2010 ජනවාරි 24 වැනිදා අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යෑම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ වෙනම අපරාධ නඩුවක් ද විභාග වෙමින් පවතී.
