වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටිමින් ආගමන හා විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එල්ල වී තිබූ චෝදනාවකට හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (26) වරද පිළිගෙන තිබේ.
අධිකරණ කටයුතුවලින් අනතුරුව පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ, තමන්ට දේශපාලනික වශයෙන් විවිධ හිරිහැර සහ පීඩාවන් එල්ල කළේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ ඇතැම් පිරිස් විසින් බවයි.
එහෙත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් හෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් තමන්ට කිසිදු අවස්ථාවක හිරිහැරයක් සිදුව නොමැති බව ඇය අවධාරණය කළාය.
තවද තමන් පාර්ලිමේන්තුවේ සිටි කාලය තුළ ජනාධිපතිවරයා ඇතුළු ජාතික ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයකු තමන්ට අගෞරවනීය ලෙස කතා කර නොමැති බව ද ඇය සඳහන් කළාය.
තමන් විසින් ස්පා මධ්‍යස්ථාන නියාමනය කිරීමේ අවශ්‍යතාව සහ ගංජා නීතිගත කිරීමේ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවලදී සමගි ජන බලවේගයේ ඇතැම් පුද්ගලයන්ගෙන් දැඩි විරෝධයක් සහ අසභ්‍ය වචනවලින් බැණ වැදීම්වලට මුහුණ දීමට සිදුවූ බව ද ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
මම කියන්න ඕන කෙලින්ම, මේ ආණ්ඩුව මට කවදාවත් හිරිහැර කරලා නැහැ. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නකොටත් එතුමාලගෙන් කිසිම දවසක මට කවදාවත් ඒ පාර්ලිමේන්තුව තුළ වුණත් කවදාවත් එතුමාලගෙන් මට ඒ පක්ෂයේ කිසිම කෙනෙක් කවදාවත් කිසිම දෙයක් කියලා නැහැ පාර්ලිමේන්තුවේ.
මට අමු තිත්ත කුණුහරප කිව්වෙත් සජබ ඒගොල්ලන්මයි. මං කිව්වා ස්පාස් ටික නියාමනය කරන්න ඕන. මම කිව්වා ගංජා නීතිගත කරන්න ඕන. ඒ නීතිගත කරන්න ඕන කිව්වේ බොන්න නෙමෙයි. ඒක කර්මාන්තයක්. කර්මාන්තයක් සහ ෆාමසියුටිකල් කම්පැනීස් ටික රටට ගෙනල්ලා කොහොමද මේ රට ගොඩදාන්න ඩොලර් ගේන ක්‍රමවේදයක්. ඒක මං අදත් කියනවා හෙටත් මම කියනවා.
හැබැයි මේක බලන් ඉන්න බැරි වුණ කට්ටියක් එක්සත් ජාතික පක්ෂයේ හිටියා. මං දැන් මං ඒක කියනවා. පාක්ෂිකයෝ නෙමෙයි පක්ෂයේම ඉන්න කීප දෙනෙකුට මේක බලන් ඉන්න බැරි වෙලා, මේගොල්ලෝ මේ වගේ ඇවිල්ලා මට පීඩාකාරී විදිහට, ඒකට සජබ ඒගොල්ලොත් එකතු වෙලා මට හිංසාකාරී විදිහට සෑහෙන්න දේවල් කරලා තියෙනවා.
එතකොට මේවා කවදා හරි එළියට ඇවිල්ලා නම් පිටින් මම කියනවා කවුද කින්ද මන්ද මොනවද උනේ කියලා.
ගංජා නීතිගත කළ යුතු බවට තමන් යෝජනා කළේ එය පරිභෝජනය සඳහා නොව කර්මාන්තයක් ලෙස සංවර්ධනය කරමින් ඖෂධ නිෂ්පාදන සමාගම් මෙරටට ආකර්ෂණය කර ගැනීමෙන් විදේශ විනිමය උපයා ගැනීමේ අරමුණින් බව ද ඇය පැහැදිලි කළාය.
එම යෝජනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස්වලට ද නොසතුටක් පැවති බවත්, එම පිරිස් සමග සමගි ජන බලවේගයේ ඇතැම් පුද්ගලයන් එක්ව තමන්ට විවිධ ආකාරයේ පීඩාවන් සහ හිරිහැර සිදුකළ බවත් ඇය චෝදනා කළාය.
තමන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට නැගී සිටි සෑම අවස්ථාවකදීම සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් අසභ්‍ය වචන භාවිත කරමින් අපහාස කළ බව ද ඇය පැවසුවාය.
එමෙන්ම පාර්ලිමේන්තු ලොබියේදී සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ඇය කියා සිටියේ, එම සිදුවීමේ සැබෑ පසුබිම ජනතාව නොදන්නා බවයි. එහිදී ද තමන්ට අසභ්‍ය වචනවලින් බැණ වැදුණු බවත්, ඉවසීමේ සීමාව ඉක්මවා යාම හේතුවෙන් අදාළ සිදුවීම ඇති වූ බවත් ඇය ප්‍රකාශ කළාය.
කාන්තාවක් වූ පමණින් විවිධ පුද්ගලයන්ගෙන් පහර කෑමට හෝ හිංසනයට ලක්වීමට තමන් සූදානම් නොමැති බව පැවසූ ඩයනා ගමගේ මහත්මිය, අදාළ සිදුවීම් සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොකළ කරුණු ද ඉදිරියේදී අනාවරණය කරන බව සඳහන් කළාය.
තවද, තමන්ට සිදුවූ බව කියන පීඩාවන් පිළිබඳව අධිකරණය ස්වාධීනව කරුණු සලකා බලා සාධාරණ තීන්දුවක් ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, රටේ අධිකරණ පද්ධතිය පිළිබඳව තමන්ට විශ්වාසයක් පවතින බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
