මාධ්‍යවේදී කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත පැහැරගෙන යාමේ සිදුවීම් පිළිබඳව තමන්ට මතකයක් නොමැති බවත් කුමාර් ගුණරත්නම් සම්බන්ධ සිදුවීමක් පිළිබඳව ඉදිරිපත් කළ හඬපටය තමන්ගේ හඬපටයක් බව පිළිගත නොහැකි බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීමේ නඩුවට අදාළව අද (27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදෙමින් පැමිණිල්ල වෙනුවෙන් ප්‍රශ්න කළ නීතිඥ නුවන් බෝපගේ මහතාට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එමෙන්ම යාපනයේදී 2011 වසරේ අතුරුදන් වූ දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනකු වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය 2027 පෙබරවාරි මස 12 වැනිදා දක්වා කල් තැබීමට යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා අද නියෝග කළා.
එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද දිනයේදී සාක්ෂි ලබාදුන් අතර ඉදිරි නඩු දිනයේදීද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කෙරුණා.
මෙම නඩුවට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සැප්තැම්බර් 29 වැනිදාද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියා.
එදින සාක්ෂි විමසීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය අද දිනට නියම කර තිබුණා.
අද සාක්ෂි මෙහෙයවීම යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සිදුකළ අතර පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ ප්‍රශ්න ඉදිරිපත් කළා. ඒ අනුව සාක්ෂි විමසීම ආරම්භයේදී නීතිඥ නුවන් බෝපගේ පැහැරගැනීම් සහ අතුරුදන්වීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ වගකීම පිළිබඳව ප්‍රශ්න කළා.
එවැනි සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය වැනි ආයතන විමර්ශන සිදුකරන බව සාක්ෂිකරු දැන සිටි බව නීතිඥවරයා පෙන්වාදුන්නා.
ඊට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ ආරක්ෂක ලේකම්වරයා ලෙස තම වගකීම වූයේ ජාතික ආරක්ෂාවට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම බවයි. විවිධ පැහැරගැනීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම තම සෘජු වගකීමක් නොවන බවත් ඒ ඒ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම පොලිසිය සහ අදාළ නිලධාරීන්ගේ වගකීමක් බවත් ඔහු පැවසුවා.
එවකට තමන්ට පැවරී තිබූ වගකීම් අතර හමුදාපතිවරුන් පත් කිරීම සහ අවශ්‍ය පිරිස් බලය යෙදවීම ඇතුළත් වූ බවත් එම කටයුතු ජනාධිපතිවරයාගේ උපදෙස් මත සිදුකළ බවත් ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත් නීතිඥ බෝපගේ පැහැදිලි කළේ තමන් විමසා සිටින්නේ ප්‍රතිපත්තිමය වගකීම් පිළිබඳව නොව රට තුළ පැහැරගැනීමක් හෝ අතුරුදන්වීමක් සිදුවූ විට ඒ පිළිබඳව විමර්ශනය කිරීමට වගකිවයුතු ආයතන පැවතියේද යන්න පිළිබඳව බවයි.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ එවැනි විමර්ශන පොලිසිය සහ බුද්ධි අංශ වැනි ආයතන විසින් සිදුකරන බවයි.
ඉන් අනතුරුව කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලට අදාළ වාර්තාවක් නීතිඥවරයා විසින් සාක්ෂිකරුට ඉදිරිපත් කරනු ලැබුවා. එම වාර්තාවට අනුව කීත් නොයාර් පැහැරගැනීම පිළිබඳව එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජයන්ත වික්‍රමරත්න සහ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් හෙන්ද විතාරණ යන නිලධාරීන් දුරකථන ඇමතුම් මගින් දැනුවත් කර තිබූ බව නීතිඥවරයා පෙන්වාදුන්නා.
එම නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර තිබූ බව තමන් දැන සිටියේදැයි විමසූ විට ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ ඉදිරිපත් කළ විමර්ශන වාර්තාව පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බවයි. කෙසේ වෙතත් එවැනි තොරතුරක් තමන්ට ලැබුණහොත් බුද්ධි අංශ ප්‍රධානියා සහ පොලිස්පතිවරයා දැනුවත් කරන බව ඔහු පැවසුවා.
එහිදී මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාර හඳුනන්නේදැයි නීතිඥවරයා ගෝඨාභය රාජපක්ෂගෙන් විමසා සිටියා. එමෙන්ම අනතුරුව කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියෙන් පසු ඔහු දොම්පේ ප්‍රදේශයේ පිහිටි රහසිගත නිවසක රඳවා තබාගෙන පසුව නිදහස් කර තිබූ බව සාක්ෂිකරු දැන සිටියේදැයි ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ එම සිදුවීම පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවත් අදාළ විමර්ශන වාර්තාව තමන්ට ලැබුණේ පසුව බවයි.
ඉන් අනතුරුව නීතිඥ නුවන් බෝපගේ 23 වැනි ලේඛනය ඉදිරිපත් කරමින් අතුරුදන්වීම් සම්බන්ධ සිදුවීම්වලදී සාක්ෂිකරු මැදිහත් වූ බවට කරුණු ඉදිරිපත් කළා.
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ එය සෘජු මැදිහත්වීමක් ලෙස හැඳින්විය නොහැකි බවයි. යම් සිදුවීමක් පිළිබඳව තමන්ට දැනුම් දුනහොත් ඒ සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීන් සහ පොලිස්පතිවරයා දැනුවත් කිරීම තමන් සිදුකරන බව ඔහු පැහැදිලි කළා.
කෙසේ වෙතත් අදාළ ලේඛනය අනුව සාක්ෂිකරුගේ දැනුවත්භාවය මත පුද්ගලයකු නිදහස් කිරීමට අණදීමක් සිදුකර ඇති බවට තමන් යෝජනා කරන බව නීතිඥවරයා සඳහන් කළා.
එම යෝජනාව සම්පූර්ණයෙන්ම වැරදි බව ප්‍රකාශ කළ ගෝඨාභය රාජපක්ෂ මහතා, නීතිඥවරයා ඉදිරිපත් කරන්නේ යෝජනාවක් පමණක් වන අතර එය සත්‍යයක් නොවන බවද පැවසුවා.
2009 ජූලි 1 වැනිදා මාධ්‍යවේදී පෝද්දල ජයන්ත පැහැරගෙන යාමේ සිදුවීම පිළිබඳවද නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියා.
එම සිදුවීම පිළිබඳව මතකයක් තිබේදැයි විමසූ විට ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ එය වසර ගණනාවකට පෙර සිදුවූ සිද්ධියක් බැවින් තමන්ට ඒ පිළිබඳව මතකයක් නොමැති බවයි.
සාක්ෂිකරුට මතක නොමැති වන්නේ අදාළ දිනය සහ සිදුවීමද, නැතහොත් පෝද්දල ජයන්ත නමැති පුද්ගලයා සහ ඔහුට අදාළ සිදුවීමද යන්න නීතිඥ නුවන් බෝපගේ මහතා නැවතත් පැහැදිලි කරගැනීමට උත්සාහ කළා.
එහිදී සාක්ෂිකරු සඳහන් කළේ දිනය හෝ සිදුවීම පිළිබඳව තමන්ට මතකයක් නොමැති බවත් සම්පූර්ණ සිද්ධිය පිළිබඳවම අවබෝධයක් නොමැති බවයි.
ඉන් අනතුරුව බන්දුල පද්ම කුමාර සහ පෝද්දල ජයන්ත යන මාධ්‍යවේදීන් දෙදෙනා 2009 වසරේදී ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණ තමන් හමුවූයේදැයි නීතිඥවරයා විමසා සිටියා.
බන්දුල පද්ම කුමාර හඳුනන බව පිළිගත් සාක්ෂිකරු, එවැනි හමුවීමක් පිළිබඳව මතකයක් නොමැති බව පැවසුවා. ආරක්ෂක ලේකම්වරයා හමුවීමට බොහෝ පුද්ගලයන් පැමිණෙන බැවින් එම පුද්ගලයන් දෙදෙනා පැමිණි බවට විශේෂ මතකයක් නොමැති බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම පෝද්දල ජයන්ත සුදු වෑන් රථයකින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට තොරතුරු වාර්තා වී තිබුණේදැයි විමසූ විට සාක්ෂිකරු පැවසුවේ එම සිදුවීම පිළිබඳව තමන්ට සෘජු දැනුවත්භාවයක් නොතිබූ බවයි.
එවැනි සිදුවීමක් සිදුවූයේ නම් අදාළ නිලධාරීන් තමන්ට දැනුම්දී තිබෙන්නට ඇති බව ද ඔහු පැවසුවා.
එමෙන්ම 2015 නොවැම්බර් 08 වැනිදා ‘සත්හඬ
පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්ඡාවක් පිළිබඳව ද නීතිඥ නුවන් බෝපගේ මහතා සාක්ෂිකරුගෙන් විමසා සිටියා.
සාක්ෂිකරුගේ ඡායාරූපයක්ද සමඟ පළවී තිබූ එම සම්මුඛ සාකච්ඡාව ලබාදුන්නේ ඔහු විසින් නොවේදැයි නීතිඥවරයා ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ එවැනි ලිපියක් පුවත්පතේ පළවී තිබෙන බව තමන් දුටුවද එය තමන් විසින් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් බව පිළිගැනීමට නොහැකි බවයි.
එය බොහෝ කලකට පෙර පළවූ ලිපියක් බවත් පුවත්පත් පිටුවක් පමණක් ඉදිරිපත් කිරීමෙන් ඒ පිළිබඳව තමන්ට අවබෝධයක් ඇති නොවන බවත් ඔහු පැවසුවා .
මේ අතර කුමාර් ගුණරත්නම් පැහැරගෙන ගොස් අතුරුදන්ව සිටියදී ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් නිදහස් කරගත් බවට සඳහන් සිදුවීම පිළිබඳවද නීතිඥවරයා ප්‍රශ්න කළා.
එම සිදුවීම පිළිබඳව තමන්ට මතකයක් හෝ දැනුවත්භාවයක් නොමැති බව ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිතුරු දෙමින් සඳහන් කළා.
ඉන් අනතුරුව අදාළ පුවත්පත් වාර්තාවට සම්බන්ධ මාධ්‍යවේදියකු සමඟ සාක්ෂිකරු සිදුකළ බව කියන සම්මුඛ සාකච්ඡාවක හඬපටයක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ඉදිරිපත් කෙරුණා.
එම හඬපටය පැහැදිලිව ඇසීමට නොහැකි බව සාක්ෂිකරු දැනුම් දීමෙන් පසු එය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදීද ඔහුට ඇසීමට අවස්ථාව සලසා දෙනු ලැබුවා.
එහිදී හඬපටය තමන්ගේ හඬපටයක් බව පිළිගන්නේදැයි නීතිඥවරයා විමසූ විට ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ එය පැහැදිලිව නොඇසෙන බැවින් තම හඬ බවට නිශ්චිතව හඳුනාගත නොහැකි බවයි.
ඒ පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොමැති බැවින් එය විශ්වාස කළ නොහැකි බව ද ඔහු පැවසුවා. එම හඬපටයේ සැඟවී සිටි කුමාර් ගුණරත්නම් සොයාගෙන අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවට ප්‍රකාශ කර ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නා.
එසේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හඬපටයේ සඳහන් කරුණු පිළිබඳවද ඔහු ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ එම සිදුවීම හෝ අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව තමන්ට මතකයක් නොමැති බවයි. මීට පෙර එය පැහැරගැනීමක් ලෙස සඳහන් කර තිබූ බැවින් අත්අඩංගුවට ගැනීමක් සිදුවූ බවට ද තමන්ට අවබෝධයක් නොමැති බව ඔහු පැවසුවා.
මේ අතර හඬපටයේ තවත් කොටසක් ඉදිරිපත් කරමින් නීතිඥ නුවන් බෝපගේ මහතා සඳහන් කළේ කුමාර් ගුණරත්නම් සොයාගැනීමට හැකිවීම වාසනාවක් බවත් ඒ සම්බන්ධයෙන් හොඳ පිළිතුරක් ලැබිය යුතු බවත් සාක්ෂිකරු වන ගෝඨාභය රාජපක්ෂ එහිදී ප්‍රකාශ කර ඇති බවයි.
එමෙන්ම කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන්ද තොරතුරු ලැබී තිබූ බවට හඬපටයේ සඳහන් වන බව නීතිඥවරයා පෙන්වා දුන්නා.
තවද අනුර කුමාර දිසානායක විසින් පුද්ගලයකු සිටින ස්ථානය පිළිබඳව නිශ්චිත තොරතුරු ලබාදුන් බවත් එම ස්ථානවල ඡායාරූප ලබාගත් බවත් හඬපටයේ සඳහන් කර ඇති බව නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
එම කරුණු පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් කරන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මකව කිසිවක් ප්‍රකාශ කිරීමට තමන්ට නොහැකි බවයි.
එම හඬපටය තමන්ගේ හඬපටයක් බව පිළිගත නොහැකි බවත් එය සත්‍ය පුවත්පත් වාර්තාවක්ද යන්න පිළිබඳව ද තමන්ට අවබෝධයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
ඒ අනුව අද පැවැති දීර්ඝ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය 2027 පෙබරවාරි 12 වැනිදා දක්වා කල් තැබීමට යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා නියෝග කළා. එදිනටද සාක්ෂි ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට නියෝග කෙරුණා.
