මන්දගාමී ආර්ථික වර්ධනය සහ ජනතාව තුළ දේශපාලන නායකත්වය පිළිබඳ ඇතිවී තිබෙන කලකිරීම හමුවේ පැවති නවසීලන්ත මහ මැතිවරණයෙන් එරට පාලක සන්ධානයට මෙන්ම විපක්ෂයටද පාර්ලිමේන්තු බහුතර බලය තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව, අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන්ගේ නායකත්වයෙන් යුත් රජයට තවදුරටත් බලයේ රැඳී සිටීම සඳහා මධ්‍යස්ථ මතධාරී ඔපචුනිටි පක්ෂයේ සහාය ලබාගැනීමට සිදුව ඇත. දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වුවහොත් නැවතත් මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවීමේ හැකියාවක් ද පවතින බව සඳහන් වේ.
නිල මැතිවරණ ප්‍රතිඵලවලට අනුව, අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන්ගේ නායකත්වයෙන් යුත් ජාතික පක්ෂයට (National Party) ආසන 40ක් හිමිව ඇති අතර, එහි සන්ධානගත පාර්ශ්ව වන ACT පක්ෂයට ආසන 13ක් ද, නවසීලන්ත පළමු පක්ෂයට (New Zealand First) ආසන 12ක් ද හිමිව තිබේ.
මෙම මැතිවරණය සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂ 17ක් තරග කර ඇති අතර, ඉන් පක්ෂ හතකට පාර්ලිමේන්තු නියෝජනය හිමිව ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ආසන 130කින් සමන්විත පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගැනීමට මෙම පක්ෂ තුනට හැකි වී නොමැත. එමෙන්ම, කම්කරු පක්ෂයේ නායකත්වයෙන් යුත් වාමාංශික සන්ධානයට ද ඔපචුනිටි පක්ෂයේ සහාය හිමිවුවද රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව සපුරා ගැනීමට හැකියාවක් නොමැති බව නිල ප්‍රතිඵලවලින් අනාවරණය වී තිබේ.
නවසීලන්තයේ මැතිවරණ ක්‍රමය අනුව සෑම ඡන්දදායකයෙකුටම ඡන්ද දෙකක් හිමිවන අතර, ඉන් එකක් තමන් කැමති දේශපාලන පක්ෂය වෙනුවෙන් ද අනෙක ප්‍රදේශයේ නියෝජිතයා තෝරා ගැනීම සඳහා ද භාවිත කෙරේ. මෙම සමානුපාතික නියෝජන ක්‍රමය හේතුවෙන් එරට බොහෝ විට සන්ධාන ආණ්ඩු පිහිටුවීම සිදුවේ.
