ප්‍රංශයේ වෝහාරික ගිණුම්කරණ විශේෂඥවරියක වන යුසර් කලීල්, නාමල් රාජපක්ෂට එරෙහි එයාර්බස් අල්ලස් නඩුවේ සාක්ෂි දීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
යුසර් කලීල් යනු Forensic Risk Alliance (FRA) ආයතනයේ හවුල්කරුවෙකු සහ එහි පැරිස් කාර්යාලයේ ප්‍රධානියා වන අතර ඇය ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව වසර හතරකට වැඩි කාලයක් පුරා එයාර්බස් සමාගමේ ගෝලීය අල්ලස් ජාලය හෙළිදරව් කිරීමේ විමර්ශනවල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති බව පැවසේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, අධිචෝදනා පත්‍රයේ නම් කර ඇති තවත් ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන එයාර්බස් සමාගමේ උප සභාපති කාල් හෙනසි (Karl Hennessee) සමඟ ඇය අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
ප්‍රංශය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුකළ එයාර්බස් විමර්ශනයේදී, ගුවන් යානා අලෙවි ගනුදෙනු ආශ්‍රිතව සිදුවූ බව කියන නීති විරෝධී මුදල් ගෙවීම් ජාලයක් අනාවරණය කරගෙන තිබේ. එම විමර්ශනයේ ශ්‍රී ලංකාවට අදාළ කොටස කේන්ද්‍රගත වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3ක පමණ වටිනාකමකින් යුත් එයාර්බස් ගුවන් යානා 10ක් මිලදී ගැනීමට යෝජනා වූ ගනුදෙනුව සම්බන්ධයෙනි.
එම ගනුදෙනුව යටතේ A330-300 වර්ගයේ ගුවන් යානා හයක් සහ A350-900 වර්ගයේ ගුවන් යානා හතරක් මිලදී ගැනීමට එකඟ වී තිබූ අතර, A330-300 යානා පහක් ශ්‍රීලංකන් ගුවන් සේවයට ලැබී තිබිණි. එහෙත් A350-900 යානා හතර ලබාගෙන නොතිබිණි.
2021 වසරේදී මෙම ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් එයාර්බස් සමාගමට එරෙහිව ශ්‍රීලංකන් ගුවන් සේවය ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරා තිබිණි. එමෙන්ම ඉතිරිව තිබූ A350 ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිසුම් අවලංගු කරන ලෙසත්, ඒ සඳහා කලින් ගෙවා තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 19ක මුදල ආපසු ලබාදෙන ලෙසත් ඉල්ලා තිබිණි.
