මියගිහින් අවුරුද්දක්, බ්‍රැන්ඩික්ස්ට පුෂ්පලතාව මතක්වෙලා

බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල කර්මාන්තශාලාවේ වසර 13කට අධික කාලයක් සේවය කළ පරමේශ්වරී පුෂ්පලතා නම් සේවිකාව මියගොස් වසරකට පසුව ඇයගේ මරණය සම්බන්ධයෙන් ආයතනය විසින් පසුගිය නොවැම්බර් 20 වෙනිදා නිවේදනයක් නිකුත් කර තිබේ. සේවා ස්ථානයේ පැවති තත්ත්වයන් හේතුවෙන් ඇයගේ මරණය සිදුවූ බවට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරමින් තමන් නිවැරදියි කියන්නට බ්‍රැන්ඩික්ස් ආයතනය මෙම නිවේදනය නිකුත් කර ඇත.

2025 ඔක්තෝබර් 10 වැනිදා මිය ගිය පරමසිවම් පුෂ්පලතාගේ මරණය සම්බන්ධයෙන් එම කාලයේදී දැඩි සමාජ කතාබහක් මතුවූ අතර, ඇය අසනීප තත්ත්වයෙන් පසුවන අවස්ථාවේදී නිවාඩු ලබාගැනීමට උත්සාහ කළ ද එය ප්‍රතික්ෂේප වූ බවට චෝදනා එල්ල විය. මෙම සිදුවීම මුල්කරගනිමින් බ්‍රැන්ඩික්ස් ආයතනයට සහ එහි නිෂ්පාදන ලබා ගන්නා සමාගම්වලට එරෙහිව ද මහජන විරෝධතා ක්‍රියාත්මක විය.

එම චෝදනා සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව, ආයෝජන මණ්ඩලය සහ පොලිසිය විමර්ශන සිදුකර ඇති බවත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය ද අදාළ කරුණු සලකා බලා ඇති බවත් බ්‍රැන්ඩික්ස් ආයතනය සිය නිවේදනයෙන් සඳහන් කරයි.

එම විමර්ශනවලින් තම ආයතනයේ නොසැලකිලිමත්භාවයක් අනාවරණය වී නොමැති බව බ්‍රැන්ඩික්ස් පවසයි. මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණිල්ල අවසන් කර ඇති බවත්, මරණ පරීක්ෂණයේදී හෘදයාබාධයක් මරණයට හේතුව ලෙස තීරණය කර ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

බ්‍රැන්ඩික්ස් ආයතනය පවසන්නේ පුෂ්පලතා මහත්මියට එදින පස්වරු 5.15ට පමණ අසනීප තත්ත්වයක් ඇති වූ බවත්, කර්මාන්තශාලාවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පස්වරු 5.46ට පමණ රෝහල වෙත රැගෙන ගිය බවත්ය. එදින රාත්‍රී 11.15ට පමණ ඇය රෝහලේදී මියගොස් තිබේ.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වසරකට පසුව බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කිරීම සැලකිල්ලට ගත යුත් කාරණය වන අතර විමර්ශන සහ අධිකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් වැළකී සිටි බව ආයතනය පවසයි

මෙහිදී අධිකරණය මගින් අපරාධයක් සිදුවූ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව තීරණය කිරීම සහ ආයතනයේ නොසැලකිලිමත්භාවයක් තහවුරු නොවීම යන කරුණු මගින් සේවක අයිතිවාසිකම් හා සේවා ස්ථානයේ වගකීම් පිළිබඳ සියලු ප්‍රශ්න අවසන් වන බවක් අදහස් නොවේ.

විශේෂයෙන්ම අසනීප තත්ත්වයකදී සේවකයකුට වෛද්‍ය සහාය ලබාගැනීමට ඇති ප්‍රවේශය, නිවාඩු ලබාගැනීමේ ක්‍රමවේද ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව කලාප වල සේවය කරන සේවකයින් සහ වෘත්තීය සමිති දීර්ග කාලයක් ගැටළු ගණනාවකට මුහුණ දෙන බව වාර්තා වේ.

බ්‍රැන්ඩික්ස් ආයතනය පවසන්නේ සේවකයන්ට ඕනෑම අවස්ථාවක කර්මාන්තශාලා වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රවේශ විය හැකි බවත්, පූර්ව අනුමැතියකින් තොරව මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ නිවාඩු අයදුම් කළ හැකි බවත්ය. එහෙත් එම පහසුකම් සේවකයන්ට ප්‍රායෝගිකව කෙතරම් ඵලදායීද යන්න සහ සේවකයන්ගේ සැබෑ අත්දැකීම් මොනවාද යන්න විමසා බැලීම ද වැදගත් වේ.

මක්නිසාද පුෂ්පලතාගේ මරණය යනු කලාපයේ සංකේතාත්මක මරණයකි. කලාපයේ සේවක සේවිකාවන්ගේ ජීවිත වල සැඟවුණු යථාර්තය ආයතන තමන් නිවැරදි යයි දමන නිවේදන වලින් වැසිය නොහැකිය.

Author

Leave a Reply

Related Posts