මහ බැංකු බැඳුම්කර වංචාවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් සඳහා ලබන ජනවාරි මස 28 වැනිදා කැඳවන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (නොවැම්බර් 02) නියෝග කර තිබේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස් සහ කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් කිහිප දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

කෙසේ වෙතත්, මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන අය නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට අධිකරණය මීට පෙර තීරණය කර තිබුණි.

නඩු විභාගය අතරතුර ඇතැම් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී ඇත්තේ නඩුකරයට අදාළ ඇතැම් ලේඛන මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, මීළඟ නඩු දිනයට පෙර විත්ති පාර්ශ්වය වෙත අවශ්‍ය ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතාට නියෝග කර තිබේ.

2015 වසරේ පෙබරවාරි මස 27 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත.

Author

Leave a Reply

Related Posts