කතානායකට රම්‍ය, සුරම්‍ය, සුභ නිල නිවාස – අජිත් පී. පෙරේරා

කතානායකවරයාට රජමල්වත්තේ නිල නිවසක් තිබියදී, කොළඹ ලොරිස් පටුමගේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයකින් තවත් නිල නිවාස දෙකක් රුපියල් 8,252ක පමණ මුදලකට රම්‍ය, සුරම්‍ය, සුභ වැනි නිවාස 3ක් ලබාගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළේය.

අද (නොවැම්බර් 3) පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ ලොරිස් පටුමගේ පිහිටි අදාළ මහල් නිවාස සංකීර්ණයේ 1/8 සහ 3/4 ලෙස සඳහන් නිවාස දෙකක් මෙලෙස ලබාගෙන ඇති බවයි. ඉන් එක් නිවසක් කතානායකවරයාටත්, අනෙක් නිවස ඔහුගේ ලේකම්වරයාටත් ලබාගෙන ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

අදාළ ප්‍රකාශය සිදුකරන අවස්ථාවේ මුලාසනයේ කටයුතු කළ මන්ත්‍රීවරිය පෙන්වා දුන්නේ, නීතිය ඉදිරියේ පවතින කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ස්ථාවර නියෝග අනුව සීමා කර ඇති බවයි.

එයට පිළිතුරු දෙමින් අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේ රජමල්වත්තේ නිල නිවස හෝ ලොරිස් පටුමගේ නිල නිවාස ලබාගැනීම සම්බන්ධයෙන් කතානායකවරයාට එරෙහිව නඩුවක් නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පමණක් සිදු කෙරෙන බවද ඔහු සඳහන් කළේය.

ලොරිස් පටුමගේ පිහිටි අදාළ මහල් නිවාසයේ නිදන කාමර තුනක් සහ ආරක්ෂක පහසුකම් පවතින බවත්, එහි මාසික වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 5ට අධික බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම රජමල්වත්තේ පිහිටි නිල නිවසේ කටයුතු සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් අට දෙනෙකු පූර්ණ කාලීනව යොදවා ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. ඔවුන්ට වැටුප්, වරප්‍රසාද සහ වාහන පහසුකම් ලබාදෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම චෝදනා මගහැර නොගොස් කතානායකවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බවද අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කළේය.

Author

Leave a Reply

Related Posts