මහනාහිමිවරුන්ගේ ලිපියට ජනපතිගෙන් හදිසි සාකච්ඡාවක්

ගලගොඩඅත්තේ ඥානසාර සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් එම හිමිවරුන් නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡාවක් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීරණය කර ඇත.

අද (ඔක්තෝබර් 08) දහවල් ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර එහිදී සිරදඬුවම් හිමිවී තිබෙන ගලගොඩඅත්තේ ඥානසාර ගිහි ඇඳුමින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහනායක හිමිවරු දක්වා තිබෙන විරෝධය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

මහනායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ යොමුකළ ලිපියේ සඳහන් කර ඇත්තේ භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදි භාවය අහෝසි කිරීම හුදෙක් රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට සීමා වූ කරුණක් නොවන බව හා එය මහසංඝරත්නයට අයත් ශාසනික කර්තව්‍යයක් බවයි.

ගලගොඅත්තේ ඥානසාර භික්ෂූත්වය ඡේදනය වන පාරාජිකා ආපත්තියකට පත්ව ඇති බවට හෝ චීවරයෙන් නෙරපිය යුතු බවට අදාළ සංඝ සභාව මගින් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවද, එවන් පසුබිමක් තුළ බන්ධනාගාර පරිපාලනය මගින් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සමස්ත සම්බුද්ධ ශාසනයේ පැවැත්ම අභියෝගයට ලක් කිරීමට හේතු වන බෞද්ධ සම්ප්‍රදායට සිදුවන බලවත් හානියක් බවද, එහෙයින් අධිකරණය මගින් වරදකරු කරන ලද යම් භික්ෂුවකගේ භික්ෂුත්වයට අදාළ කරුණු සම්බන්ධයෙන් එකී භික්ෂුව අයත් වන නිකාය පාර්ශවයේ නිර්දේශ හා නියමයන් පරිදි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සුදුසු බවද එහි අවධාරණය කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading