ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනාගේ මූලික විරෝධතා මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනුකර තිබූ දූෂණ නඩුවට අදාළව විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය අද (08) නියෝග කර තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, හානි පූර්ණ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ සේපාලිකා සමන් කුමාරි සහ මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු වන කීර්ති බණ්ඩාර කොටගම නම් කර තිබේ.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ චෝදනා මත නඩුකරය ඉදිරියට පවත්වා ගෙන යන බව කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මෙම නියෝගය නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

විත්තිකරුවන් අදාළ චෝදනා වලට තමන් නිවැරදිකරුවන් බව අධිකරණයට දැනුම් දුන් අතර, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩු විභාගය ආරම්භ කිරීමට පෙර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 199 වන වගන්තිය යටතේ ආරම්භක දේශනය ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා තිබේ.

අනතුරුව, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුභාෂිනි සිරිවර්ධන විසින් අධිකරණයේ අවසරය මත සිය දේශනය ඉදිරිපත් කරමින් මෙසේ පවසා ඇත.

” ස්වාමීනි… මෙම නඩුකරයට පාදක වන්නේ 2022 වසරේ අරගලකරුවන් විසින් දේපළකට ගිනි තැබීමේ සිද්ධියට අදාළ වන්දි ගෙවීමේ සිද්ධිය පිළිබඳවයි. මෙවැනි වන්දි ගෙවීම සිදු කිරීම සඳහා නිශ්චිත යාන්ත්‍රණයක් තිබෙනවා. ඒ වගේම අදාළ වන්දි ගෙවීම සිදු කරන ව්‍යවස්ථාපිත ආයතනයක් තිබෙනවා. 2017 අංක 34 දරණ හානි පූර්ණ කාර්යාල පනත යටතේ හානි පූර්ණ කාර්යාලය පිහිටුවා තිබෙනවා. එම ආයතනය විසින් වන්දි ගෙවීමේදී සිදු වූ දූෂණයක් සම්බන්ධයෙන් තමයි මෙම නඩුව ඉදිරිපත් කර තිබෙන්නේ “

මහවැලි අධිකාරියට අයත් කිරිඉබ්බන්වැව ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ දේපළක් 2022 මැයි 09 අරගලයේදී හානියට පත් වීමෙන් පසු, ඊට වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබුණි. එසේ තිබියදී, හානි පූර්ණය කිරීමේ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කරමින් රුපියල් ලක්ෂ 88.5ක වන්දි මුදලක් ලබා ගැනීමෙන් දූෂණය නමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබේ.

Author

Related Posts