දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත අද (ඔක්තෝබර් 08) පාර්ලිමේන්තුවේදී තෙවන වර කියවා සංශෝධන සහිතව සම්මත කර ගන්නා ලදී.
පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවති විවාදයෙන් අනතුරුව, ඊට අදාළ සංශෝධන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කර තිබේ.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගෙන ඇති නීතිමය, අර්ථ නිරූපණය සම්බන්ධ, පරිපාලනමය සහ තාක්ෂණික ගැටලු විසඳීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණක් වන බව පැවසේ.
එමෙන්ම, සිංහල සහ ඉංග්‍රීසි පනත් පාඨ අතර පවතින නොගැළපීම් නිවැරදි කිරීම, දූෂණ වැරදි සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී සහ නඩු පැවරීමේදී මතුවන ගැටලු විසඳීම සඳහා ද සංශෝධන මඟින් අවධානය යොමු කර ඇත.
තවද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම මෙන්ම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ඔස්සේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම ද මෙම සංශෝධනවල අරමුණු අතර වේ.
ඒ අනුව, පවතින දූෂණ විරෝධී නීති රාමුවේ ප්‍රායෝගිකව හඳුනාගෙන ඇති ගැටලු සඳහා විසඳුම් ලබාදෙමින්, නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීම මෙම සංශෝධන මඟින් අපේක්ෂා කෙරෙන බව පැවසේ.
