අධිකරණය මගින් සිරදඬුවම් නියම කිරීමෙන් පසු බන්ධනාගාර ගත කළ පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ සිවුරු ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව මහනායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය ඉදිරියේදී සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.
බන්ධනාගාර නිලධාරීන් ගෙන තිබූ පියවර කිසිසේත් අනුමත කළ නොහැකි බවත් මෙය වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවත්, වරදක් සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් දඬුවම පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති බවත්, ප්‍රශ්නය ඇත්තේ මෙලෙස ඥානසාර හිමිගේ සිවුර උන්වහන්සේගේ කැමැත්ත අකමැත්ත පිළිබඳ තැකීමක් නොකර ඉවත් කිරීම සම්බන්ධයෙන් බවත් උන්වහන්සේ කීහ.
මහනුවර අස්ගිරි මහ විහාරයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලේඛකාධිකාරි හිමියෝ මේ බව කීහ.
අධිකරණය මගින් යම් පුද්ගලයෙකු වරදකරු කර සිර දඬුවම් නියම කළ පසු එම පුද්ගලයා නැවත අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම් එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර ආඥා පනතට අනුව කළ යුත්තේ එම පුද්ගලයා පෙර භාවිතා කළ ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම බවද, සාම්ප්‍රධායික වශයෙන් අපේ නීති පද්ධතිය අධිකරණය පිළිගන්නා බවද, නමුත් එම තත්ත්වය පවා නොතකා මේ දෙය කර තිබෙන බවද කීය.
ශාසනික වශයෙන් ගත් කළ මෙය ඉතාමත් බරපතළ වරදක් බවද, මෙම උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කොට උන්වහන්සේ නැවතත් පැවිදි කිරීමට අවශ්‍ය නම් ඒ කටයුතු කිරීමට අපි මැදිහත් වෙන බවද, රෝම ලන්දේසි නීතියට අනුව වරදට දඬුවම් දිය යුතු වුවත් බුදු දහමට අනුව වරදට සමාව දී යහමගට ගැනීමයි කළ යුතු බවද යැයි උන් වහන්සේ පැවසූහ.
