විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීම සඳහා නීතියක්

2014 සැප්තැම්බර් මස 24 දින සම්මත කරන ලද 2178 දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක සභා යෝජනා සම්මතය බලාත්මක කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුව විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකාව හැර වෙනත් රාජ්‍යකට හෝ දේශභූමියකට සංචාරය කරනු ලබන ශ්‍රී ලංකාවේ යම් පුරවැසියකු හෝ ස්වකීය ජාතිකත්වය ඇති රාජ්‍යයේ හෝ දේශභූමියේ සිට ශ්‍රී ලංකාව වෙත සංචාරය කරනු ලබන යම් තැනැත්තකු ඒ යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ වේ. ඒ අනුව වරදක් සිදුකරනු ලැබූ විට රුපියල් මිලියන දහයක් නොඉක්මවන දඩයකට හා වසර පහකට නොඅඩු සහ වසර විස්සක් නොඉක්මවන කාලයක් යන දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාරගත කිරීමකට යටත්වේ.

එම පනත් කෙටුම්පතේ සඳහන් කර ඇති වැරදි සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම, සිරභාරයට ගැනීම සහ තැනැත්තන් රඳවා තැබීම සහ ඇප ලබාදීම සම්බන්ධයෙන් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත හෝ එකී පනත ප්‍රතියෝජනය කරන තත්කාලයේ බලපවත්නා වෙනත් යම් ලිඛිත නීතියක් අවශ්‍ය වෙනස් කිරීම් සහිතව අදාළ කරගත යුතු බව එහි සඳහන් කර තිබේ.

එමෙන්ම ඒ යටතේ සිදුකරන ලද වැරදි සම්බන්ධයෙන් දේපල ක්‍රියාවිරහිත කිරීමට සහ තහනමට ගැනීමට සහ රාජසන්තක කිරීමට අදාළව 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනතේ විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව අදාළ කරගත යුතු බව සඳහන් කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading