වත්මන් වෙළඳපොළ තුළ වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවත්, වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට මෙය ඉතා යහපත් අවස්ථාවක් බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා පවසයි. මාධ්‍ය වෙත විශේෂ අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, බොහෝ වෙළෙන්දන් මේ දිනවල වාහන පාඩුවට පවා අලෙවි කරන බැවින් ඉදිරියේදී මිල ගණන් තවත් අඩුවනු ඇති බවයි.
වාහන වල මිල ගණන් සෑහෙන්න අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් වාහන… දැන් ඒත් තවත් අඩු වෙයි කියන එක මම විශ්වාස කරන්නේ. ඉතින් පාරිභෝගිකයන්ට හොඳ අවස්ථාවක් මේක ගන්න එක. ඉතින් වෙළඳපොළ නැවත ප්‍රකෘති වෙනකම් මම හිතන්නේ ලොකු ගාණකින් වැඩි වෙනවා. ගොඩක් වෙළෙන්දෝ මේ වෙලාවේ වාහන පාඩුවට දෙන්නේ. මේක තමයි ගැණුම්කරුවන්ට තියෙන හොඳම වෙළඳපොළක් කියලා කියන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ බහුලව භාවිත වන ජනප්‍රිය වාහන මාදිලි වන Yaris, Vitz, Vezel, Wagon R, Daihatsu Mira සහ Suzuki Van වැනි වාහන රැසක මිල ගණන් ලක්ෂ 3, 4, 5 සිට ඇතැම් අවස්ථාවල ලක්ෂ 10 දක්වා වූ ප්‍රමාණයකින් පහත වැටී ඇති බව සභාපතිවරයා සඳහන් කර තිබේ.
පාවිච්චි කළ වාහන සඳහා බදු අය කිරීමේදී පවතින ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දක්වා ඇති ඒ මහතා, වෙබ් අඩවි මිල (website price/retail price) පදනම් කරගනිමින් 85%ක අගයකට බදු අය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කළේය. එහිදී වෙබ් අඩවිවල දැක්වෙන්නේ ඩීලර් ලාභය, රක්ෂණ සහ අමතර බදු ඇතුළත් සිල්ලර (retail) මිල වන බැවින්, පාවිච්චි කළ වාහන සඳහා 15%ක අඩුවීමක් ලබා දුන්නද අය කෙරෙන්නේ brand new වාහනයක වටිනාකමට ආසන්න බද්දක් බව උදාහරණ සහිතව පෙන්වා දී තිබේ.
අවුරුදු 3ක් හෝ 10ක් පරණ වාහනයකට වුවද බ්‍රෑන්ඩ් නිව් වාහනයකට සමානව බදු ගෙවීමට සිදුවන බවත්, ඇතැම් අවස්ථාවලදී පාවිච්චි කළ වාහනවලින් රජයට අයවන බද්ද බ්‍රෑන්ඩ් නිව් වාහනවලටත් වඩා වැඩිවන බවත් හෙතෙම අවධාරණය කළේය. එමෙන්ම, දැනට භාවිත වන වටිනාකම් පිළිබඳ ගැසට් පත්‍රය වසර 10ක් සහ පරීක්ෂණ ගැසට් පත්‍රය වසර 20ක් තරම් පැරණි බැවින්, පවතින අසාධාරණ බදු බර ඉවත් කිරීම සඳහා රජය විසින් ඒවා වහාම යාවත්කාලීන කළ යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් ඉල්ලා තිබේ.
වසර 5ක කාලයක් වාහන ආනයනය නොකිරීමෙන් ඇති වූ හිඩැස පිරවීමට අධික ලෙස වාහන ආනයනය වීම සහ පසුව පැනවූ අධිභාර (surcharge) හේතුවෙන් දැනට වාහන අලෙවිය සීඝ්‍රයෙන් පහත වැටී ඇත. මේ හේතුවෙන් බොහෝ ආනයනකරුවන් පාඩු ලබන අතර, පිරිවැයටත් වඩා අඩු මිලකට වාහන අලෙවි කිරීමට සිදුව ඇති බවත්, මෙය පාරිභෝගිකයන්ට වාහන මිලදී ගැනීමට ලැබුණු හොඳම වෙළඳපොළ අවස්ථාව බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
