වික්ටර් අයිවන්ගේ රාවය වසා දැමීමේ යෝජනාවට එරෙහි නඩුවේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේපයි

රාවය පුවත්පත වසා දැමීමට සහ එය ප්‍රකාශයට පත් කළ රාවය පබ්ලිෂර්ස් (ගැරන්ටි) සමාගම ඈවර කිරීමට හිටපු සභාපති සහ ආරම්භක කර්තෘ වික්ටර් අයිවන් ගත් බවට චෝදනා කෙරුණු පියවර ඇතුළු කරුණු රැසකට එරෙහිව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සහ කොටස් හිමියන් පිරිසක් පවරා තිබූ නඩුවක අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්තැම්බර් 17) ප්‍රතික්ෂේප කර තිබේ.

SC/CHC/Appeal/18/2023 යන අංකය යටතේ විභාග වූ මෙම අභියාචනය, 2022 ජූනි 24 වැනිදා කොළඹ වාණිජ මහාධිකරණය ලබාදුන් නියෝගයකට එරෙහිව ඉදිරිපත් කර තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන, ආචාර්ය සෝභිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ නඩුව විභාග වූ අතර තීන්දුව ලියා ඇත්තේ විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා විසිනි. නඩුවේ වාචික තර්ක 2026 මාර්තු 4 වැනිදා අවසන් කර අද තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

මෙහි අභියාචකයන් වූයේ සුජීව විමලනාත් වීරරත්න, ශිරෝනි චම්පා සේනානායක, ටිරන් කුමාර බංගගමආරච්චි සහ ධම්මිකා ආර්. සිරිවර්ධන යන රාවය සමාගමේ අධ්‍යක්ෂවරුන් සහ කොටස් හිමියන්ය. පළමු වගඋත්තරකරු ලෙස රාවය පබ්ලිෂර්ස් (ගැරන්ටි) ලිමිටඩ් සමාගමත් දෙවැනි වගඋත්තරකරු ලෙස එහි සභාපතිවරයා වූ වික්ටර් අයිවන් ද නම් කර තිබුණි.

2020 මැයි මාසයේදී වික්ටර් අයිවන් විසින්ම පළ කළ ලිපියක සඳහන් කර තිබුණේ, රාවය තවදුරටත් පවත්වාගෙන යෑමට වඩා එය ඈවර කිරීම සුදුසු බව පවසමින් තමන් රාවය සේවකයන්ට ලිපි දෙකක් යවා තිබූ බවයි. කොවිඩ් වසංගතය නිසා ආදායම දැඩි ලෙස පහත වැටුණු බවත්, ආදායමක් නොමැතිව අප්‍රේල් මාසයේදීත් සේවක වැටුපෙන් සියයට 80ක් ගෙවීමට සිදු වූ බවත්, මෙලෙස ඉදිරියට ගියහොත් සේවකයන්ගේ පාරිතෝෂික හා වෙනත් ගෙවීම් පවා කළ නොහැකි තත්ත්වයකට සමාගම පත්විය හැකි බවත් අයිවන් එහි තර්ක කර තිබුණි.

එමගින්, “රාවය ඈවර කළ යුතුය” යන අදහස වික්ටර් අයිවන් විසින් ප්‍රසිද්ධියේම ඉදිරිපත් කර තිබූ බව පැහැදිලි වේ. එය ඔහුගේ පෞද්ගලික අදහසක් හෝ පසුව නඩු පාර්ශ්වයක් විසින් ඔහුට ආරෝපණය කළ චෝදනාවක් පමණක් නොව, ඔහු විසින්ම ලිඛිතව ප්‍රකාශ කළ ස්ථාවරයක් විය.

ඉන් අනතුරුව පුවත්පතේ පාලනය සහ කර්තෘ මණ්ඩලය අතර ගැටුම තවත් උග්‍ර විය. 2021 ජනවාරි 31 වැනිදා රාවය සභාපති වික්ටර් අයිවන් විසින් එවකට ප්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්නගේ සේවය අවසන් කිරීමට දැනුම් දී තිබුණි. ඒ අවස්ථාවේ කර්තෘ මණ්ඩලය පුවත්පත දිගටම පවත්වාගෙන යාමට තීරණය කළ බවද එම වාර්තාව සඳහන් කරයි.

ඒ පසුබිම යටතේ රාවය සමාගමේ අධ්‍යක්ෂවරුන් සහ කොටස් හිමියන් වූ අභියාචකයන් සමාගම් පනතේ 224(1) සහ 225(1) වගන්ති යටතේ කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණි.

ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව වූයේ සමාගමේ කටයුතු සුළු කොටස් හිමියන්ට පීඩාකාරී වන ආකාරයටත්, සමාගමේ යහපතට අහිතකර වන ආකාරයටත් පවත්වාගෙන ගිය බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ඔවුන් ඉදිරිපත් කළ ප්‍රධාන චෝදනා අතර, වික්ටර් අයිවන් විසින් අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් නොමැතිව සමාගම ඈවර කිරීම සඳහා පියවර ගන්නා ලෙස දැනුම් දීම, රාවය කර්තෘ විමලනාත් වීරරත්නගේ කටයුතු අත්හිටුවීම, පුවත්පත මුද්‍රණය කිරීමට අවශ්‍ය කඩදාසි ඇතුළු ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් ලබා නොදීම, සමාගමේ බැංකු ගිණුම්වලින් මුදල් නිකුත් නොකරන ලෙස බැංකුවට උපදෙස් ලබාදීම සහ පුවත්පත නතර කර සමාගම ඈවර කිරීමට උත්සාහ කිරීම යන කරුණු තිබුණි.

වික්ටර් අයිවන් විසින් රාවය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කළ ඇතැම් ප්‍රකාශ සමාගමේ කීර්තිනාමයට හානිකර බවත්, රාවය වෙනුවෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණු මුදල් සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදු වී ඇතැයිද, අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය නොමැතිව වාර්ෂික මහා සභාවක් කැඳවීමේ උත්සාහයක් තිබූ බවත් අභියාචකයන් තර්ක කර තිබේ.

මෙම නඩුවේදී අභියාචනයට ලක් කර තිබුණේ 2022 ජූනි 24 වැනිදා කොළඹ වාණිජ මහාධිකරණය ලබාදුන් තීන්දුවකි.

වාණිජ මහාධිකරණයේ නිගමනය වී තිබුණේ සමාගම් පනතේ 224 වගන්තිය යටතේ සුළු කොටස් හිමියන්ට සිදුකළ “පීඩනයක්” හෝ 225 වගන්තිය යටතේ සමාගමට අහිතකර “වැරදි කළමනාකරණයක්” නඩුවේ ඉදිරිපත් වූ කරුණුවලින් ප්‍රමාණවත් ලෙස තහවුරු කර නොමැති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේදී විශේෂයෙන් සලකා තිබෙන කරුණක් වන්නේ විමලනාත් වීරරත්න කර්තෘ ධුරයෙන් ඉවත් කිරීමයි.

අධිකරණය පෙන්වා දෙන්නේ සමාගම් පනතේ 224 වගන්තිය යටතේ සහනයක් ඉල්ලීමට නම්, පුද්ගලයාට සිදු වී ඇති අසාධාරණය ඔහු කොටස් හිමියකු වීම නිසා සිදු වූ පීඩනයක් බව පෙන්විය යුතු බවයි.

එම පුද්ගලයා අධ්‍යක්ෂවරයකු, සේවකයකු හෝ නිලධාරියකු ලෙස දරන තනතුරක් පිළිබඳ ගැටලුවක් තිබීම පමණින් එය කොටස් හිමියකුට සිදුකළ පීඩනයක් බවට පත් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.

විමලනාත් වීරරත්නගේ කර්තෘ ධුරය පිළිබඳ ආරවුලේදී ද, ඔහු කුමන තත්ත්වයක් යටතේ වුවත් සමාගමේ කළමනාකරණයට අඛණ්ඩව සහභාගී වීමට නීතියෙන් ආරක්ෂා වූ අපේක්ෂාවක් තිබූ බව තහවුරු වී නොමැති බව අධිකරණය තීරණය කර ඇත.

මෙම තීන්දුවේ වඩාත් වැදගත් කොටස වන්නේ රාවය ඈවර කිරීම පිළිබඳ වික්ටර් අයිවන්ගේ සන්නිවේදන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කර ඇති නිරීක්ෂණයයි.

අභියාචකයන් තර්ක කර තිබුණේ ඔහු සමාගම ඒකපාර්ශ්විකව ඈවර කිරීමට තීරණය කර තිබූ බවත් එමගින් සුළු කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීමට උත්සාහ කළ බවත්ය.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙන්නේ සමාගමක් ඈවර කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කිරීම හෝ එවැනි පෞද්ගලික මතයක් ප්‍රකාශ කිරීම පමණක් සමාගම් පනත යටතේ “පීඩනයක්” හෝ “වැරදි කළමනාකරණයක්” බවට පත් නොවන බවයි.

මූල්‍ය දුෂ්කරතාවකට පත්ව ඇති සමාගමකට සිය ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යනවාද, ප්‍රතිව්‍යුහගත කරනවාද, අවසානයේ ඈවර කරනවාද යන්න නීත්‍යනුකූලව සලකා බැලිය හැකි බවත් අධිකරණය සඳහන් කර තිබේ.

වික්ටර් අයිවන් රාවයේ අනාගතය ගැන භාවිත කළ භාෂාව දැඩි එකක් බවද ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන තිබේ. අභියාචකයන් ඉදිරිපත් කළ ලේඛනවල තිබූ, රාවයේ අනාගතය “ආදරය කරන බල්ලෙකු මරා දැමීම” හා සමාන කරමින් ඔහු කළ උපමාව ගැනද තීන්දුව සඳහන් කරයි.

පුද්ගලයකුගේ දැඩි පෞද්ගලික අදහසක් සහ සමාගම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද නීතිමය ක්‍රියාවක් දෙකක් බව අධිකරණයේ අදහස වී තිබේ. එවැනි ප්‍රකාශයක භාෂාවේ තීව්‍රතාවයට වඩා එහි නීතිමය ප්‍රතිඵලය පරීක්ෂා කළ යුතු බව තීන්දුව කියයි.

රාවයට සහය දුන් ජනතාවගෙන් ලබාගත් මුදල් අනිසි ලෙස භාවිත කළ බවට වික්ටර් අයිවන් කළ බව කියන ප්‍රකාශද අභියාචකයන් සිය නඩුවට යොදාගෙන තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි චෝදනාවක් බරපතළ චෝදනාවක් විය හැකි බව පිළිගෙන ඇත. නමුත් එම චෝදනාව පැවතීම පමණින් සමාගම් පනතේ 224 හෝ 225 යටතේ සහනයක් ලැබිය නොහැකි බවත්, ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිඵලය සාක්ෂිවලින් තහවුරු කළ යුතු බවත් තීන්දුවේ සඳහන් වේ.

රාවය පුවත්පත දිගටම මුද්‍රණය කරනවාද, කඩදාසි මිලදී ගැනීමට මුදල් වැය කරනවාද, සමාගමේ ව්‍යාපාරය ප්‍රතිව්‍යුහගත කරනවාද නැතහොත් ඈවර කිරීම සලකා බලනවාද යන්න සමාගමේ කළමනාකරණය සම්බන්ධ ව්‍යාපාරික තීරණ බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

කොටස් හිමියකු වෙනත් ව්‍යාපාරික තීරණයක් වඩා සුදුසු බව සිතීම පමණින් “වැරදි කළමනාකරණයක්” ඔප්පු නොවන බවත්, අධිකරණයක් තමන් කැමති වෙනත් ව්‍යාපාරික තීරණයක් අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයට ආදේශ නොකළ යුතු බවත් තීන්දුවේ සඳහන් වේ.

ඒ අනුව අභියාචකයන් ඉදිරිපත් කළ සියලු චෝදනා තනි තනිව සහ සමස්තයක් ලෙස සලකා බැලීමෙන් පසුව, ඔවුන්ට කොටස් හිමියන් ලෙස පීඩාකාරී ලෙස කටයුතු කළ බව හෝ සමාගමට අහිතකර ලෙස එහි කටයුතු කළමනාකරණය කළ බව තහවුරු වී නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

එබැවින් 2022 ජූනි 24 වැනිදා වාණිජ මහාධිකරණය ලබාදුන් නියෝගය තහවුරු කරමින් අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. නඩු ගාස්තු සම්බන්ධයෙන් නියෝගයක් කර නැත. විනිසුරු මහින්ද සමයවර්ධන සහ විනිසුරු මේනකා විජේසුන්දර එම තීන්දුවට එකඟ වී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය වික්ටර් අයිවන්ට රාවය වසා දැමීමට අසීමිත අයිතියක් තිබුණේද, පුවත්පත වසා දැමීම ප්‍රතිපත්තිමය වශයෙන් නිවැරදිද, රාවයට මහජනතාව ලබාදුන් මුදල් හෝ සමාගමේ දේපළ අවසානයේ කෙසේ කළමනාකරණය කළ යුතුද යන සියලු ප්‍රශ්න පිළිබඳ පොදු තීන්දුවක් ලබාදී නැති බව මෙහිදී අවධාරණය කිරීම වැදගත්ය.

මෙහි තීරණය සීමා වී ඇත්තේ අභියාචකයන් විසින් මෙම නඩුවේ ඉදිරිපත් කළ සාක්ෂි මත, සමාගම් පනතේ 224 සහ 225 යටතේ කළමණාකරණයේදී ගැටලු ඇති වීද, අසාධාරණයක් සිදු වීද යන්නට අදාල කාරණාවලටය.

මේ අතර 2013-2014 සමයේ රාවය සඳහා මුදල් ලබාදුන් සිය ගණනක් දායකයන්ගේ අයිතිවාසිකම්, රාවය දේපළ විකිණීම සහ පුවත්පත මුද්‍රණය නතර කිරීම සම්බන්ධයෙන් 2024දී පැනනැගුණු ගල්කිස්ස දිසා අධිකරණයේ නඩුව මෙයට වෙනස් නඩුකරයකි.

එම නඩුවේදී රාවයට මුදල් ලබාදුන් පුද්ගලයන් නියෝජනය කරමින් පාර්ශ්වයක්, රාවය දේපළ විකිණීම සහ පුවත්පත නතර කිරීම වැළැක්වීමට අධිකරණ සහන ඉල්ලා තිබුණි.

රාවයේ ආරම්භක කර්තෘ සහ දිගුකාලීන සභාපතිවරයා වූ වික්ටර් අයිවන් 2025 ජනවාරි 19 වැනිදා අභාවප්‍රාප්ත විය.

රාවය පුවත්පත මේ වන විට වසා දමා වසර හයකට අධික කාලයක් ගෙවී ගොස් ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading