විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ ඊයේ (සැප්තැම්බර් 16) පැවති සාකච්ඡාව කිසිදු විසඳුමකින් තොරව අවසන් වූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය රුචික ප්‍රනාන්දු මහතා පවසා ඇත.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ නවක සිසුන් බඳවා ගැනීම, විශ්වවිද්‍යාල තුළ සිසුන් ගත කරන කාලය සහ ආචාර්යවරුන්ගේ හිඟය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවේදී අවධානය යොමු කළ බවයි.
සිසුන් බඳවා ගැනීම වේගවත් කිරීම සම්බන්ධයෙන් මීට වසරකට පමණ පෙර ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ඇති කරගත් එකඟතා මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උපකුලපතිවරුන්ගේ කමිටුව විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබූ බවද ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, එම යෝජනාවලිය මේ දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබී නොමැති බව අග්‍රාමාත්‍යවරිය විසින් ඊයේ පැවති සාකච්ඡාවේදී දැනුම් දුන් බවද මහාචාර්ය රුචික ප්‍රනාන්දු මහතා පවසා ඇත.
අදාළ යෝජනාවලිය ඉදිරිපත් කර වසරකට ආසන්න කාලයක් ගතවී තිබියදීත් එය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබී නොමැති බව දැනගැනීම පිළිබඳව තමන් පුදුමයට පත්වූ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ආචාර්යවරුන්ගේ හිඟය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් පසුගිය 09 වැනිදා සංකේත වැඩවර්ජනයකද නිරත විය.
