හම්බන්තොට වරායෙන් මහ නගර සභාවට කෝටි 8කට වැඩි හිඟ වරිපනම් බදු ගෙවයි

හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් හම්බන්තොට මහ නගර සභාවට අයවීමට නියමිතව තිබූ වරිපනම් බදු මුදල්වලින් රුපියල් කෝටි 8කට වැඩි මුදලක් ඊයේ (සැප්තැම්බර් 16) ගෙවා ඇති බව හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ඩී.ඒ. ගාමිණී මහතා පවසා තිබේ.

පෙරේදා (15) සවස මහ නගර සභාවේ නිලධාරීන් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ දේපළ අත්පත් කර ගැනීම සඳහා එම පරිශ්‍රයට ගොස් ඇති අතර, එහිදී වරාය පාර්ශ්වය විසින් ලබාදුන් ලිඛිත දැනුම්දීමකට අනුව අදාළ වරිපනම් බදු මුදල් ඊයේ (16) වන විට මෙසේ ගෙවා තිබේ.

ඒ අනුව, 2025 වසරේ දෙවැනි සහ තුන්වැනි කාර්තු සඳහා අයවිය යුතු වරිපනම් බදු ලෙස රුපියල් 85,292,529ක මුදලක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් මහ නගර සභාවේ ගිණුමට තැන්පත් කර තිබේ.

කෙසේ වෙතත්, 2025 වසරේ සිව්වැනි කාර්තුව සඳහා අදාළ වරිපනම් බදු මුදල් තවදුරටත් ගෙවීමට නියමිත බවද නගරාධිපතිවරයා පවසා ඇත.

මේ අතර, 2026 වසරේ වරිපනම් බදු ගෙවීම සම්බන්ධයෙන් සිදුකර ඇති සංශෝධනයකට විරෝධය පළ කර ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් අයවිය යුතු වරිපනම් බදු මුදල් අයකර ගැනීම සඳහා හිටපු නගරාධිපතිවරුන් වන එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ ගාමිණී ශ්‍රී ආනන්ද යන මහත්වරුන්ද විශාල පරිශ්‍රමයක් දැරූ බව නගරාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

එම වරිපනම් බදු මුදල් ඉදිරියේදී හම්බන්තොට මහ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් සංවර්ධන කටයුතු සඳහා යොදාගන්නා බවද ඔහු සඳහන් කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading