හොරු ඇල්ලීමෙන් පමණක් රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවද, අයවැයෙන් වෙන් කරන මුදල් තාමත් 100% ක් ඵලදායි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙන බවද, යම් යම් අත්‍යවශ්‍යය ක්ෂේත්‍ර වල පවතින සේවක හිඟය ඇතුළු රජයේ පවතින යම් යම් දුර්වලතා ඒ සඳහා බලපා තිබෙන බවද කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පැවසීය.
ඔහු එසේ පැවසුවේ දිට්වා ආපදාවෙන් බලපෑමලට ලක්ව නිවාස අහිමිවූ මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 132 ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය හා නිවස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 20 ක මුල් වාරිකය පිරිනැමීම වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (16) පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
බදු එකතු කර ගැනීම කාර්යක්ෂම කරමින් භාණ්ඩාගර සතු මුදල් ප්‍රමාණය වැඩිකර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවද, එම මුදල් විනවිද භාවයෙන් යුතුව ඉතාම අරපිරිමැස්මෙන් වියදම් කිරීමට රජය පියවර ගෙන තිබෙන බවද, මේ මුදල් වලින් ජනතාවට ප්‍රතිලාභ ලබා දිය යුත්තේ සහනාධාර ලෙස මුදල් බෙදා දීමෙන් නොවන බවද, ඔවුන් රටේ ආර්ථිකයකට දායක කරගන්නා ක්‍රමවේද පුළුල් කිරීමෙන් බවද ලාල් කාන්ත ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැවසීය.
