අරවින්දගේ සහ අනුෂ්කාගේ වරෙන්තු ආපසු කැදවයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා දීමේ සිද්ධියේ සැකකරුවෙකු වන කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ ඇපකරුවන් ලෙස පෙනී සිටි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංගි අනුෂ්කාට එරෙහිව ඊයේ නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළේය.

අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින් ලද්දුවහෙට්ටි ඇතුළු නීතිඥ මඩුල්ලක් අද දින මෝසමක් මගින් අධිකරණය හමුවේ පෙනී සිටියේ‍, අරවින්ද මහතාගේ මවගේ අවමංගල්‍ය කටයුතු හේතුවෙන් ඔවුන්ට ඊයේ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බවයි.

ඉදිරිපත් කළ එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවීමට නියෝග කළේය.

Author

Related Posts