දළ බර මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ට වඩා අඩුවෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට මහාධිකරණය මගින් ඇප ලබාගැනීම සඳහා අවශ්‍ය නීති සංශෝධන සිදුකරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර පවසා ඇත.
ඔහු ඒ බව පවසා ඇත්තේ ඊයේ (සැප්තැම්බර් 15) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් වන අතර එම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද ඇමතිවරයා පවසා ඇත.
එමෙන්ම එම සංශෝධන ගෙන එන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් දීර්ඝ කාලයක් සැකකරුවන් බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් බවද ඔහු පවසා ඇත.
දැනට පවතින නීතියට අනුව ග්‍රෑම් 10කට වඩා වැඩි මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට අභියාචනාධිකරණයෙන් ඇප ලබා ගැනීමට සිදුවන අතර යෝජිත සංශෝධනය මගින් එම තත්වය ඉවත් වනු ඇත.
