ආන්දෝලනාත්මක ක්‍රිෂ් (Krrish) ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පවත්වාගෙන යන වෙනම විමර්ශනයේදී ඔහු අල්ලස් චෝදනාවක් යටතේ සැකකරුවෙකු ලෙස නම් කර නුදුරේදීම අධිකරණයට ඉදිරිපත් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.
මෙය නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් දැනටමත් කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති ක්‍රිෂ් නඩුවට පදනම් වූ රුපියල් මිලියන 70ක මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන්ම අල්ලස් කොමිසම විසින් පවත්වාගෙන යන වෙනම විමර්ශනයකි.
අල්ලස් කොමිසම එවැනි වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බව 2025 ජනවාරි 22 වැනිදාම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නිල වශයෙන් දැනුම් දී තිබුණි. එදින CID විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබුණේ ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ රුපියල් මිලියන 70ක සිදුවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා පිළිබඳ අල්ලස් කොමිසම වෙනම විමර්ශනයක් පවත්වාගෙන යන බවය.
රුපියල් මිලියන 70ක ක්‍රිෂ් ගනුදෙනුව කුමක්ද?
විමර්ශනවලට අනුව, ඉන්දියානු ආයෝජකයන්ට සම්බන්ධ Krrish Lanka Pvt. Ltd. සමාගම කොළඹ කොටුවේ Transworks Square හි අක්කර 4.3කට ආසන්න ඉඩමක දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ සමයේ මෙම මුදල් ගනුදෙනුව සිදුව තිබේ.
පැමිණිල්ලේ ස්ථාවරය අනුව, ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ රග්බි තරගාවලියක් පැවැත්වීම සඳහා යැයි පවසමින් ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක් ලබාගෙන තිබුණි. එම මුදල් 2012 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ව්‍යාපාරික නිමල් පෙරේරාට සම්බන්ධ බැංකු ගිණුම්වලට ලැබී ඇති බවත්, පසුව එම මුදල් නාමල් රාජපක්ෂ මහතාට අවස්ථා දෙකකදී ලබාදුන් බව නිමල් පෙරේරා විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති බවත් අධිකරණයට වාර්තා වී තිබේ.
නාමල් රාජපක්ෂ මහතා විමර්ශනවලදී ප්‍රකාශ කර තිබුණේ අදාළ මුදල රග්බි තරගාවලියේ කටයුතු සඳහා භාවිත කිරීමට අදාළ කමිටුවකට ලබාදුන් බවය. එහෙත් විමර්ශන නිලධාරීන් විසින් ප්‍රශ්න කරනු ලැබූ අදාළ සංවිධානවල නිලධාරීන් එම මුදල ලැබුණු බව තහවුරු නොකළ බවත්, එම රුපියල් මිලියන 70 තරගාවලිය සඳහා වැය වූ බව සනාථ කරන වාර්තා හමු නොවූ බවත් මීට පෙර අධිකරණයට කරුණු ඉදිරිපත් වී තිබේ.
නීතිපතිවරයා ගොනු කළ මහාධිකරණ නඩුව
මෙම සිදුවීම මුලින් විමර්ශනය කරනු ලැබුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හෙවත් FCID විසිනි. 2016 ජූලි 11 වැනිදා නාමල් රාජපක්ෂ මහතා මෙම විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැර තිබුණි.
දිගුකාලීන විමර්ශනයකින් පසුව 2025 ජනවාරි මාසයේදී නීතිපතිවරයා නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළේය. එම නඩුවේ හරය වන්නේ රග්බි සංවර්ධනය සඳහා ලබාගත් බව කියන රුපියල් මිලියන 70 නියමිත අරමුණ සඳහා භාවිත නොකර වංචනිකව අයථා පරිහරණය කළ බවට වන චෝදනාවයි. එම නඩුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති බව අධිකරණ වාර්තාවල සඳහන් වේ.
කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය හමුවේ පවතින එම නඩුවේ නඩු විභාගය 2026 නොවැම්බර් 16 වැනිදා ආරම්භ කිරීමට නියම කර තිබේ. පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට නියමිත ඉන්දීය ජාතිකයන් දෙදෙනකුට විදේශීය සාක්ෂිකරුවන් කැඳවීමේ ක්‍රියාපටිපාටිය යටතේ සිතාසි නිකුත් කිරීමටද මහාධිකරණය නියෝග කර තිබේ. එම සිතාසි භාරදීමේ ප්‍රගතිය සලකා බැලීමට නඩුව සැප්තැම්බර් 22 වැනිදා යළි කැඳවීමටද නියමිතය.
අල්ලස් කොමිසමේ විමර්ශනය වෙනස් වන්නේ මෙතැනින්
කෙසේ වෙතත්, නීතිපතිවරයාගේ මහාධිකරණ නඩුවේ අවධානය රුපියල් මිලියන 70 ලබාගැනීමෙන් පසු එම මුදල අයථා ලෙස භාවිත කළේද යන්න සහ ඒ හරහා මුදල් විශුද්ධිකරණයට අදාළ වරදක් සිදුවීද යන්න පිළිබඳවය.
අල්ලස් කොමිසමේ වෙනම විමර්ශනයේදී, ආරංචිමාර්ග පවසන පරිදි, ක්‍රිෂ් ව්‍යාපෘතිය සහ රජයේ ඉඩම් ගනුදෙනුව සමඟ සම්බන්ධ පසුබිමක මෙම රුපියල් මිලියන 70 ලබාගැනීම අල්ලසක් හෝ නීතියේ අර්ථයෙන් “gratification” එකක් ලෙස සැලකිය හැකිද යන්න විමර්ශනය කර තිබේ. ඒ අනුව එය දැනට මහාධිකරණයේ පවතින මුදල් අයථා පරිහරණ/මුදල් විශුද්ධිකරණ නඩුවට සමාන සිද්ධිමය පසුබිමක් තිබුණද, වෙනස් නීතිමය වරදක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් බවට පත්වේ.
මෙම විමර්ශනයේ ඉදිරි පියවර ලෙස නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය යටතේ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
149 වගන්තිය වැදගත් වන්නේ ඇයි?
දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය අනුව පනත යටතේ වන වැරදි සංඥේය සහ ඇප ලබාදීම සීමා වූ වැරදි ලෙස සලකනු ලැබේ. එහෙත් සාමාන්‍යයෙන් සැකකරුවකුට ඇප පනතේ විධිවිධාන අනුව ඇප ලබාදීමට මහේස්ත්රාත්වරයාට හැකියාව පවතී.
එයට විශේෂ ව්‍යතිරේකයක් ලෙස, අල්ලසක් ඉල්ලීම, භාරගැනීම හෝ පිරිනැමීම සම්බන්ධ වරදක් සිදුකළ බවට හඳුනාගත් පුද්ගලයකු අධ්යක්ෂ ජනරාල්වරයාගේ ඒ බව තහවුරු කරන සහතිකයක් සමඟ අධිකරණයට ඉදිරිපත් කළහොත් ඔහු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බව 149(1) වගන්තිය සඳහන් කරයි. කෙසේ වෙතත්, සුවිශේෂී තත්ත්වයන් පවතින බව අධිකරණය පිළිගෙන ඒ සඳහා හේතු සටහන් කළහොත් නඩු විභාගය අවසන් වීමට පෙර ඇප ලබාදීමට හැකියාව ඇත.
නාමල් දැනටත් රිමාන්ඩ්
නාමල් රාජපක්ෂ මහතා මේ වනවිට වෙනත් අල්ලස් විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටී.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට සම්බන්ධ බව කියන රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සැප්තැම්බර් 4 වැනිදා ඔහු අත්අඩංගුවට ගත්තේය. එම නඩුවේදීද අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා 149 වගන්තිය යටතේ සහතිකයක් ඉදිරිපත් කළ අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
ඒ අනුව ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මෙම නව අධිකරණ ක්‍රියාමාර්ගය ගතහොත්, එකම රුපියල් මිලියන 70ක ක්‍රිෂ් මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මහාධිකරණයේ දැනට පවතින නීතිපතිවරයාගේ නඩුවට අමතරව, අල්ලස් චෝදනාවක් මත වෙනම අධිකරණ ක්රියාමාර්ගයකටද ඔහු මුහුණ දීමට සිදුවනු ඇත.
