පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු ආකාරයක දේශපාලන පසුබෑමක් නොවන බවත් එය පක්ෂයක් ලෙස තවදුරටත් ඉදිරියට යෑමට ලැබුණු අවස්ථාවක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
සැකපිට රක්ෂිත බන්ධනාගාරගතවීම තමන්ට හෝ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අලුත් දෙයක් නොවන බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා, අතීතයේදී තමන් මෙන්ම නාමල් රාජපක්ෂ මහතාද බන්ධනාගාරගතව සිටි බව එහිදි සඳහන් කළා.
එබැවින් මෙම සිදුවීම හේතුවෙන් පොහොට්ටුවේ දේශපාලන ගමන කිසිසේත්ම ආපසු හැරවිය නොහැකි බව ඔහු පවසනවා.
එළඹෙන 12 වැනිදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂ ජන හමුව ඉලක්ක කරගනිමින් මෙය දේශපාලන පළිගැනීමක් ලෙස සැලසුම් සහගතව සිදුකළ එකක්දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, එය එසේ සිදුවූවක් වීමට හෝ නොවීමට ඉඩ ඇති බවත් ඒ පිළිබඳව නිශ්චිතවම කිව නොහැකි වුවද මේ වන විට ඔහුට බන්ධනාගාරගතව සිටීමට සිදුව ඇති බවයි.
ඔහු පවසන්නේ, නාමල් රාජපක්ෂ මහතා නිදහස් කරගැනීම වෙනුවෙන් ඉදිරි නඩු දිනයේදී නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඇප ඉල්ලා සිටීමට පියවර ගන්නා බවයි.
