ශ්‍රී ලංකා පොලීසිය තුළ නිලධාරී හිඟයක් පැවතියද ඒ මුවාවෙන් වැරදි කරන, අපරාධවලට සම්බන්ධ වන, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හසුවූ කිසිදු නිලධාරියෙකු සේවය තුළ තබා ගැනීම නුසුදුසු බවට දැඩි ස්ථාවරයක පසුවන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කළේ, දෙපාර්තමේන්තුව තුළ විනය පවත්වා ගැනීම සහ දූෂිත නිලධාරීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවයි.
දැනට පොලිස් සේවයේ පවතින නිලධාරී හිඟය පියවීම සඳහා තාක්ෂණය උපරිමයෙන් භාවිත කිරීමට පියවර ගන්නා බව පැවසූ පොලිස්පතිවරයා, ඉදිරියේදී සමස්තයක් ලෙස 10,000ක නව නිලධාරී සංඛ්‍යාවක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව අනාවරණය කළා.
දැනටමත් 1,500කට ආසන්න පිරිසක් පුහුණුව ලබමින් සිටින බවත් මෙම වසර තුළ තවත් 1,500ක් සහ ලබන වසරේදී තවත් 7,000ක් බඳවා ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
කෙසේ වෙතත් එවැනි හිඟයක් පැවතියද අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන් දෙපාර්තමේන්තුව තුළ කිසිසේත්ම නොඉවසන බව ඔහු පැවසුවා.
මේ අතර තමන් ධුරයට පත්වීමෙන් පසු මත්ද්‍රව්‍ය විශාල වශයෙන් අත්අඩංගුවට පත්වන්නේ මත්ද්‍රව්‍ය සංසරණය වැඩිවීම නිසා නොව බුද්ධි තොරතුරු සහ මහජන විශ්වාසය මත වැටලීම් ප්‍රමාණය ඉහළ දැමීම නිසා බව පොලිස්පතිවරයා පෙන්වාදෙනවා.
පොලීසියේ දක්ෂ නිලධාරීන් නිසි තැන්වලට යෙදවීමෙන් මෙම ප්‍රතිඵල ලැබී ඇති බවත් ඇතැම් අපරාධකරුවන් බන්ධනාගාර තුළ සිට මෙහෙයුම් මෙහෙයවන බව හඳුනාගෙන ඊට එරෙහිවද විමර්ශන ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසුවා.
විදේශයන්හි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍යවේදින් විමසූ විට ඔහු කියා සිටියේ, එම සංවේදී මෙහෙයුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියේ අනාවරණය කළ නොහැකි බවයි.
මත්ද්‍රව්‍ය ඉල්ලුම සහ සැපයුම අවම කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ආරම්භ කළ “රටම එකට” ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් සෙසු සියලු රාජ්‍ය ආයතන සමඟ ඒකාබද්ධව කටයුතු කරන බව පොලිස්පතිවරයා සඳහන් කළා.
එමෙන්ම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක අධ්‍යාපන කමිටුව වෙතද නිරීක්ෂණ ලබාදී ඇති බව පැවසූ පොලිස්පතිවරටා පැවසුවේ, පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් සිදුවන මත් උවදුර මැඩපැවැත්වීමට දෙමව්පියන් සහ ගුරුවරුන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.
ඕනෑම පාසලක් පරීක්ෂා කිරීම සඳහා නිල සුනඛයන් සහ විශේෂ නිලධාරීන් ලබාදීමට පොලීසිය ඕනෑම මොහොතක සූදානම් බව පැවසූ ප්‍රියන්ත වීරසුරිය මහතා, දිවයිනේ සියලුම පාසල් වෙත ඒ සඳහා විවෘත ආරාධනා කරන බව සඳහන් කළා.
මීට අමතරව යම් අයෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි ක්ෂණිකව හඳුනාගත හැකි මුත්‍රා/ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල සාමාන්‍ය සිල්ලර වෙළෙඳසැලකින් පවා මිලදී ගත හැකි මට්ටමට ඉදිරියේදී සමාජගත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ජාතික කමිටුව වෙත යෝජනා ඉදිරිපත් කර ඇති බවද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් අනාවරණය කළා.
