“අංක තහඩු නීතිය සමහර නිලධාරීන් දන්නේ නෑ! වීඩියෝ කරද්දී වුණු සිද්ධියට පාදුක්ක ට්‍රැෆික් OICගෙන් පොලීසිය කරුණු විමසයි!

වාහන අංක තහඩු නොමැති බව පවසමින් රියදුරෙකුට නීතිවිරෝධීව දඩ කොළයක් නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයාගෙන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මඟින් කරුණු විමසා ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ඩී. ජේ. සේනාධීර මහතා පවසනවා.

පොලිස්පතිවරයා විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ ලබාදී ඇති සහන කාලය නොතකා, අංක තහඩු නොමැති වාහනයකට එරෙහිව පාදුක්ක රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් දඩ කොළයක් ලියන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වුණා.

එම සිද්ධිය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, පාදුක්ක මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ අදාළ රථවාහන ස්ථානාධිපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් මූලික වශයෙන් කරුණු විමසූ බවයි.

එහිදී වීඩියෝගත කිරීමක් අතරතුර ඇතිවූ සිදුවීමක් පිළිබඳව කරුණු වාර්තා වී ඇතත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බවත් එම පරීක්ෂණ වාර්තාව අනුව අදාළ නිලධාරියාට එරෙහිව නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් මීට පෙර අංක තහඩු නිකුත් නොකිරීම හේතුවෙන් ලක්ෂ හතරකට ආසන්න වාහන සංඛ්‍යාවක විශාල හිඟයක් පැවති බව පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා, එම හිඟය මේ වන විට ක්‍රමයෙන් නිරවුල් කරමින් පවතින බව පැවසුවා.

නව ලියාපදිංචි වාහන සඳහා සාමාන්‍ය පරිදි අංක තහඩු නිකුත් කෙරුණද දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් අංක තහඩු නිකුත් කර නොමැති වාහන හිමියන්ට පීඩාවක් නොවන පරිදි සහන කාලයක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයා විසින් සියලුම රථවාහන පොලිස් නිලධාරීන්ට මීට පෙර ලිඛිතව උපදෙස් ලබාදී තිබුණා.

කෙසේ වෙතත් ඇතැම් පොලිස් නිලධාරීන් එම උපදෙස් නොදන්නා ආකාරයෙන් කටයුතු කිරීම නිසා මෙවැනි ගැටලු මතුවන බව පැවසූ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ඩී. ජේ. සේනාධීර මහතා , එම සහන කාලය පිළිබඳව යළිත් වරක් සියලුම රථවාහන නිලධාරීන් නිල වශයෙන් දැනුවත් කිරීමට පියවර ගත් බවද කියා සිටියා.

සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව තුළම මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ ඉතා සීමිතව එකක් හෝ දෙකක් පමණක් බව පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා, එක් නිලධාරියෙකුගේ මෙවැනි අත්තනෝමතික ක්‍රියාවක් හේතුවෙන් සමස්ත පොලිස් සේවයටම චෝදනා නොකරන ලෙසද සඳහන් කළා.

පොලිස්පතිවරයා නිකුත් කර ඇති මාර්ගෝපදේශ සහ උපදෙස් පිළිපැදීම පැහැරහරින හෝ මහජනතාව අනවශ්‍ය ලෙස අපහසුතාවට පත්කරන ඕනෑම නිලධාරියෙකු සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි කිරීමට මහජනතාවට පූර්ණ අයිතිය පවතින බවද එවැනි පැමිණිලි ලැබුණහොත් වරදකරුවන් වන නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි විනය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ඩී. ජේ. සේනාධීර මහතා වැඩිදුරටත් පවසා සිටියා.

Author

Related Posts