එයාර්බස් ඩීල් එකේ රහස් හොයන්න නාමල්ට අනිද්දා අල්ලස් කොමිසමට එන්න නියෝග!

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත පුළුල් බඳ සහිත නව ගුවන් යානා බලඇණියක් අත්පත් කර ගැනීමේ ගනුදෙනුවේදී සිදුවූ බව කියන අල්ලස් ගැනීමේ සිද්ධියකට අදාළ විමර්ශන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අනිද්දා (04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මුදිත ආර්. ලොකුමුදලි මහතා තහවුරු ක‍ර ඇත්තේ, අනිද්දා උදෑසන 9.00ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අල්ලස් කොමිසම විසින් ලිඛිතව දැනුම් දී ඇති බවත් එම නියෝගයට අනුව කොමිසම හමුවේ පෙනී සිටීමට සිය සේවාදායකයා එකඟතාව පළ කළ බවයි.

නාමල් රාජපක්ෂ මහතාට අනිද්දා දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස පසුගිය සඳුදා දිනයේදී මීර පෙර දැනුම් දී තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කර තිබුණේ තමන්ට ඊට පසුදින පැමිණිය හැකි බවයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී සිය නීතිඥවරයා මඟින් ලිපියක් යොමු කරමින් ඔහු ඉල්ලා ඇත්තේ ලබන 25 වැනිදා හෝ ඉන් පසුව එළඹෙන දිනයකදී මෙම ප්‍රකාශය ලබාදීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

එහෙත් එම කල් ඉල්ලීම අල්ලස් කොමිසම විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර වට්ස්ඇප් පණිවුඩයක් ඔස්සේ නිල ලිපියක් යොමු කරමින් නියමිත පරිදි අනිද්දා දින පෙරවරු 9.00ට අනිවාර්යයෙන්ම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නාමල් රාජපක්ෂ මහතාට නැවත දැනුම් දී තිබෙනවා.

නීතිඥ මුදිත ආර්. ලොකුමුදලි මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් සිදුකළ පුළුල් බඳ සහිත ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ලබාගැනීම් පිළිබඳ දැනට ක්‍රියාත්මක විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි.

2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර්බස් A350-900 වර්ගයේ පුළුල් බඳ සහිත ගුවන් යානා මිලදී ගැනීමට එළඹි ගිවිසුම්වලදී බ්‍රිතාන්‍ය එයාර්බස් සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ දේශපාලන හා ව්‍යාපාරික බලවතුන් වෙත ඩොලර් මිලියන ගණනක අල්ලස් ලබා දුන් බවට බ්‍රිතාන්‍යයේ බරපතළ වංචා විමර්ශන කාර්යාලය මඟින් මීට පෙර අනාවරණය කර තිබුණා.

පසුව 2015 වසරේ බලයට පත් යහපාලන රජය සමයේදී මෙම මිලදී ගැනීමේ ගිවිසුම අවලංගු කිරීමට පියවර ගත් අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා රජයට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් බිලියන ගණනක වන්දි මුදලක් අදාළ ගුවන් යානා සමාගමට ගෙවීමට සිදු වුණා.

එය ශ්‍රී ලංකන් ඉතිහාසයේ සිදුවූ දැවැන්තම මූල්‍ය පාඩුවක් ලෙසද සඳහන් වනවා.

මෙම එයාර්බස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබාගැනීම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading