පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් එල්ල කරමින් විත්තිකරුවන් විසි හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන් ඊයේ (19) තෙවැනි දිනටත් විත්ති කූඩවේ සිටිමින් තම විත්ති වාචක ඉදිරිපත් කිරීම ආරම්භ කළ අතර නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙක් සාක්ෂි දී තිබුණි.
04 වන චුදිත මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා, 05 වන චුදිත මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල්ලා හා 09 වන චුදිත මෙහොමඩ් රමිස් මොහොමඩ් සාජිත්, අද දින (20) සාක්ෂි දීමට නියමිතයි.
ඊයේ (19) නඩුවේ 13 වන චුදිත ලෙස නම් කර ඇති මොහාමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් නොහොත් ‘අබු මොහොමඩ් ‘ සහ සහරාන්ගේ කණ්ඩායමේ සන්නද්ධ අංශ නායකයා ලෙස සැලකෙන හයාතු මොහොමඩ් අහමදු මිල්හාන් ඇතුළු විත්තිකරුවන් 03දෙනකු විත්ති වාචක ලබාදුන්හ. සංවිධානය තුළ ඔවුන් හඳුන්වා ඇත්තේ ‘අබු හිදා‘ සහ ‘අබු සලා’ යන නම්වලිනි.
ඒ අනුව අදාළ නඩුවේ 15 විත්තිකරු වන මොහොම්මදු මොහොමදු හනීෆා සෙයිනුල් ආබ්දින් හෙවත් අබු හිනා ඊයේ (19) දින විත්ති කූඩුවේ සිටිමින් පැය දෙකකට ආසන්න කාලයක් සිය විත්තිවාචිකය ඉදිරිපත් කළේය.
ඒ අනුව මෙම නඩුවේ 15 විත්තිකරු වන අබු සිනා විත්ති කූඩුවේ සිට සිය විත්තිවාචකය ඉදිරිපත් කිරීම මෙසේ සිදුකළේය.
‘ස්වාමීනි…. 2018/19 කාලයේ රටේ මුස්ලිම්වරුන්ට ගොඩක් ප්‍රශ්න තිබුනා. මුලින්ම හලාල් ප්‍රශ්නයක් ඇති වුනා. පස්සේ ලංකාව පුරාම මුස්ලිම් පල්ලි වලට ගැහුවා. කුරුණෑගල පල්ලියකට ප්‍රේට්රල් බොම්බයක් ගැහුවා. මුස්ලිම් කඩ වලින් කන්න එපා කිව්වා. වඳ කොත්තු වගේම වෛද්‍ය සාෆී සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් ඇති කරා. අපේකඩ වලට ගිනි තිබ්බා. එවාට යන්න එපා කිව්වා. ඥානසාර හාමුදුරුවෝ, ඩැන් ප්‍රියසාද්, අමිත් විරසිංහ, නාමල්කුමාර යන අය ඒවා ගැන කතා කරා. අලුත්ගම පැත්තේ ලොකු ප්‍රශ්න ඇති වුනා. 2014 කාලේ ඉදන් මං සහාරාන් අඳුරනවා. අපි කියන්නේ සහාරාන් මව්ලවි කියලා. අපි පල්ලියේ විශේෂ දේශණ වලට සහරාන් මව්ලවි ගෙන්න ගන්නවා. ඒ අවාම දවල් කැම දෙන්නේ මගේ ගෙදරින්. ඒ කාලේ ඉදන් අපි මුස්ලිම්වරුන්ගේ ප්‍රශ්න කතා කරා. ඔය කාලේ දිගන ප්‍රශ්නයත් පත්තු වෙලා තිබ්බේ. මේ රට තුල ආත්ම ආරක්ෂාවක් සිදු කර ගන්න ඕන කියලා අපි කතා වුනා. අපි නුවරඑළියේ ගියා ඒ ගැන කතා කරන්න. බයන් දේශනා කරා අපි. නමුත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි දෙන්න ආව අනස් කිව්වා එයා නුවරඑළියේ එද්දි මං එතන හිටියා කියලා. නමුත් මං ඉද්දි අනස් ආවේ නැ. මං ගිය දා අපට බයන් දේශනාව කරන්න වුනේ නැ පොලිසිය ඇවිත් ඒක නතර කරා. අනස් සාක්ෂි දෙන වෙලේ කිව්වා අබු හිනා හිටියා කියලා. නමුත් මං එදා හිටියේ නැ. සීඅයිඩී එකට ඔහු ලබාදුන් සාක්ෂිය සීඅයිඩී එක විසින්ම ඔහුට හදලා දුන්න එකක්. ඔහු සීඅයිඩී එකේ හිටිය කෙනෙක් කියලා අධිකරණයට පවා පැහැදිලි වෙලා තිබුනේ. ඔහු රජයේ සාක්ෂිකරුවකු වුනත් ඒක මට සැක සහිතයි.
සීඅයිඩී එක මගේන් ප්‍රකාශ ගත්තා. 127 වගන්තිය යටතේ දුන්න ප්‍රකාශ අධිකරණය පිලි අරන් තියනවා. නමුත් ඒ ප්‍රකාශ මං කැමැත්තෙන් දුන්නැ. සීඅයිඩී එක තුළ මට තිබුන වතාවරනය නිසා මං ඒක කරේ. ඒ ප්‍රකාශ තුල සත්‍ය, අසත්‍ය තියනවා. වුනේ නැති දෙවල් කියන්න කියා ඔවුන් මට බල කරා. විනිසුරුවරයා ඉදිරියේ දුන්න ප්‍රකාශය දිමට පෙර එයාලා කිව්වා විනිසුරුවරයා අහයි කැමැත්තෙන්ද කියන්නේ කියලා. එකට ඔව්කි යන්න කිව්වා. මට ගහන නිසා මං ඔව් කිව්වා. මං නිර්දෝෂී කෙනෙක්. මාව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා.’
ඉන් පසුව නඩුවේ 13 වන චුදිත මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් විත්තිකුඩුවේ සිට සිය විත්ති වාචකය මෙසේ ලබාදුන්නේය.
‘ස්වාමිනි මං මෙහොමඩ් ඉන්සාෆ්.. මං කොළඹ සහිරා එකේ සිංහල බසින් අධ්‍යාපනය කරේ. 2019/04/ 26 මගේ කාර්යාලය තුළදී මාව අත්අඩංගුවට ගත්තා. පස්සේ මාව ඇස් බැඳලා සීඅයිඩී එකට ගෙනවා. සීඅයිඩී භාරයේ සිටියදී මට පහරදීම් සිදු වුණා. ඒ පිළිබඳව මුලින්ම අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මම කිව්වා. 11 සහ 12 චුදිතයන් දුන්න ප්‍රකාශ වල මගේ නමත් සඳහන් වෙනවා. සහාරාන් සමග කුමන්ත්‍රණය කරා කියලා කියනවා. මං ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. සහාරාන් සමග මගේ කිසි සම්බන්ධයක් නෑ. මාව සීඅයිඩී එකට ගෙනත් 21 සිද්ධිය ගැන ඇහුවා. දන්නැ කිව්වාම මට හොඳටම ගැහුවා. මගේ ඔලුවට රළු දෙයකින් පහර දුන්නා. එක නිලධාරියෙක් කිව්වා ගහන්න එපා මැරෙයි කියලා. මුං ගහලා මරන්න ඕන කිව්වා. ඒ ගහපු කෙනා. මගේ පර්ස් එකේ තිබුන සුපර්මාකට් පොයින්ස් කාඩ්එකක් පෙන්නලා මට ගැහුවා එක ජාත්‍යන්තර ගිණුමක කාඩ් එකක් කියලා. එක අපේ රටේ සුපර්මාකට් එකක බඩු ගද්දි දෙන කාඩ් එකක් කිව්වාට පිලිගත්තේ නෑ. පස්සේ වෙන නිලධාරීන් කිව්වාම එයලා පිළිගත්තා. මං නොදන්නා ගොඩක් දෙවල් ගැන කියලා නිතරම මට ගහනවා. මට ඩ්‍රිපෙෂන්, පැනික් ඇටැක් තියනවා. මං බේත් ඉල්ලුවාම දුන්නැ. සති දෙකක් එකම ඇඳුමෙන් හිටියේ. පීවීසි බට වලින් පහර දුන්නා. කොසු කැඩෙනකං ගැහුවා. මං ඇවිදගෙන ආවේ එදා අත්අඩංගුවට ගද්දි. අද මං අබ්බගාත වෙලා ඇවිදින්න බෑ. ගහලාම මගේ කොන්ද කඩලා. සදාකාලික ලෙඩෙක් වෙලා. ස්වයං පාපොච්චාරණයක් දෙන්න කියලා බලකළා. නැත්නම් මගේ මල්ලි අත්අඩංගුවට අරන් ගහනවා කියලා බය කරා. එත් මං ඒක දුන්නැ. පස්සේ කිව්වා ආයුධ පෙන්වීමට එක්ක ගිහින් මරලා දනවා කියලා. එයලා හදන් ඉන්න පාපොච්චාරණයකට තමයි මට අත්සන් කරන්න බලකළේ. මගේ ලැප් එක දුරකථන රස පරික්ෂාවට යොමු කරා. එවායේ කිසිවක් හෙළි වුනේ නෑ මං අන්තවාදී දේවල් කරපු බවට. මං සහාරන් ලඟ අවි පුහුණුව ලැබුවා කියනවා. එත් එවාට කිසිදු සාක්ෂියක් නැ. මං කිසිම වරදක් කරලා නෑ. මේ සිද්ධියට මගේ කිසිදු සම්බන්ධයක් නෑ. මාව නිදොස් කොට නිදහස් කරන්න කියලා ඉල්ලා සිටිනවා.’
ඉන්පසුව 03 වන චුදිත හයාතු මෙහොමදු අහමදු මිල්හාන්, සිය විත්තිවාචිකය ඉදිරිපත් කළේය.
‘ස්වාමීනි අබු සිලා කියලා මට නමක් තියනවා කියනවා. මං කිව්වා මට එහෙම නමක් නෑ කියලා. අධිකරණයත් නියෝග දුන්නා ඒ නම අධිකරණය තුළ කියන්න එපා කියලා. මගේ ගම කාතාන්කුඩි. මට වයස 37යි. මං සෞදියේ කරපු වරදකට බන්ධනාගාරගතව ඉද්දි තමයි සීඅයිඩී එක මාව මේ රටට අරන් ආවේ. රිල්වාන් අඳුරනවද කියලා තමයි ඇහුවේ. ඔව් මං එයාව දන්නවා. ඒයා මගේ ගමේ කෙනෙක්. ඊට වඩා දෙයක් දන්නැ කිව්වාම මට හොඳටම ගැහුවා. සිංහල කතා කරපන් කියලත් ගැහුවා. අපි කොහොම හරි මුට සිංහල කතා කරවනවා කිය කිය ගැහුවේ. සහරාන්වත් දන්නවා. අපි කියන්නේ සහරාන් මවුලවි කියලා . ඒ ඇර මං එයාලා කරන දේවල් දන්නැ. පොලිසිය සාක්ෂි ලබා දීමේදි කුමන්ත්‍රණයක් කරලා තියනවා. සාක්ෂිකරුවන් අධිකරණයේදී මාව අඳුර ගන්න කිව්වාම අඳුර ගත්තේවත් නෑ. සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ වල අබු සිලා හෝ මිල්හාන් යන නම නෑ. කටුවපිටියෙන් ගත් නඩු භාණ්ඩ අතර මගේ දත් බුරුසුවක් තිබුනා. ඒක ඩීඒන්ඒ වලින් ඔප්පු වුනා. විද්‍යාත්මක සාක්ෂි බොරු වෙන්න බෑ. නමුත් මං කවදාවත් කටුවපිටිය ගිහින් නැ. කටුවපිටිය කොහෙද තියෙන්නේ කියලවත් මං දන්නැ. රිල්වාන් ගැස් එකක් පුපුරලා අනතුරකට ලක් වුනා. එකෙන් එයාගේ ඇහැක් නැති වුනා. අතේ ඇඟිලි නවයක් නැති වුනා. ඒ ගැන මට කිව්වේ සෙයිනි මවුලවි. මං ගියා රිල්වාන් බලන්න කොළඹ .එහෙදි මගේ දත් බුරුසුව දලා ආවා. මට සැකයක් තියනවා. රිල්වාන්ලා ගෙවල් මාරු කරද්දි මගේ දත් බුරුසුවත් එයලාගේ බඩු එක්ක අරන් යන්න ඇති කියලා. කටුවපිටිය මං හිටියා කියන්න කිසිදු සාක්ෂියක් නැ. කටුවපිටිය දී මාව රිල්වාන් එක්ක දැකලත් නෑ කවුරුත්. කටුවපිටියෙන් සොයා ගත්තේ හස්තුන්ගේ බඩු. ඒ අතර තමයි දත් බුරුසුව තිබ්බේ. නමුත් කවුරුත් මාව හස්තුන් එක්ක ඉන්නවා දැකලත් නෑ. මේ සිද්ධිය සම්බන්ධයෙන් එලියේ ඉන්න පුද්ගලයන් චුදිතයන්ගේ නම් දලා පොත් ලියලා සල්ලි හම්බකරනවා. එම පොත් වල විශ්මයජනක කතා ගොතා තියනවා. මට බන්ධනාගාර පුස්තකාලයේ දී ඒ පොත් කියවන්න ලැබුනා. ඒ පොත් වල මගේ නම තිබුණත් ඒ ලියපු කතුවරු මට විරුද්ධව සාක්ෂි දිලා නෑ. ඇතැම් මාධ්‍යවේදීන් මගේ සහ අනිත් අයගේ නම් දාලා පුවත් ලියා එයලා ප්‍රසිද්ධියට පත්වෙනවා. ඇතැම් දේශපාලකයන් ද අපේ නම් කිය කිය දේශපාලන වාසි ලබා ගන්නවා. ඒ වාසිය ප්‍රයෝජනයට අරන් රටේ ආණ්ඩු තුනක් මාරු වුනා. සීඅයිඩී එක මගේ ඡායාරූපය මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් සමග සම්බන්ධ කරලා මධ්‍යයේ පළ කරලා තිබුනා. පොලිසිය අත්අඩංගුවට ගත්ත මගේ බයික් එක අදටත් නඩු භාණ්ඩයක් විදිහටවත් ඉදිරිපත් කරලා නෑ. මට විරුද්ධව ඉදිරිපත් වු සාක්ෂි සාදාරන සැකයෙන් ඔබ්බට ඔප්පු කරලා නෑ කියලා මං හිතනවා. මාව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ල සිටිනවා ස්වාමීනි..’
