ඉන්දියාවේ සිටින සරණාගතයින්ට රටට පැමිණීමට පැහැදිලි විස්තර ලබාදෙන්න- රාසමානික්කම්

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට නැවත පැමිණීමට පෙර සම්පූර්ණ කළ යුතු ක්‍රියාපටිපාටිය පැහැදිලි කරමින් විස්තීර්ණ මාර්ගෝපදේශ සංග්‍රහයක් පිළියෙළ කර බෙදා හරින ලෙස ශානික්කියන් රාමානික්කම් මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලාංකික පුරවැසිභාවය තහවුරු කර ගන්නේ කෙසේද, අයදුම්කරුවන් ඉදිරිපත් කළ යුතු ලේඛන මොනවාද, ආරක්ෂක නිශ්කාශන ලබා ගන්නේ කෙසේද, සම්බන්ධ කර ගත යුතු රජයේ ආයතන මොනවාද, ක්‍රියාවලියේ එක් එක් අදියර සඳහා කොපමණ කාලයක් ගතවේද, ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අදාළ වන ක්‍රියාපටිපාටි මොනවාද හා නැවත පදිංචි කිරීම සඳහා ලබාගත ආධාර මොනවාද යන්න ඒ මගින් පැහැදිලි කළ යුතු බව මන්ත්‍රීවරයා කීවේය.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින්ට නැවත රටට පැමිණීම සඳහා පවතින බාධා ඉවත් කරන ලෙස රජයෙන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල අද (අගෝස්තු 19) පාර්ලිමේන්තුවේදී ලබාදුන් පිළිතුරට ප්‍රතිචාරයක් වශයෙනි.

එහිදී මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල ලබාදුන් පිළිතු වූයේ රටට පැමිණීමට සූදානම් පුද්ගලයින් මුහුණ දෙන නීතිමය බාධාවන් ඉවත් කිරීමට හා නව ක්‍රියාපටිපාටින් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බවය. පැමිණීමට කැමති පුද්ගලයින් සිය අනන්‍යතාවය තහවුරු කිරීම, ආරක්ෂක නිශ්කාශන ලබා ගැනීම ආදිය සිදුකර ගත යුතු බව ඇමතිවරයා පැහැදිලි කළේය.

Author

Related Posts