ගංජා හේනේ හිමිකරුගෙන් අල්ලස් ගත් පොලීසියේ 4කගේ වැඩ තහනම්

අගෝස්තු මස 12 වැනි දින තණමල්විල, නිකවැව ප්‍රදේශයේදී මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ගංජා වියළමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

ගංජා කිලෝ හැට හතරයි ග්‍රෑම් දහයක් සමඟ ඔහුගේ නිවස පිටුපස තිබූ පර්චස් අසූවක ගංජා ඉඩමක තිබූ ගංජා ගස් 4216 ක් ද සොයා ගෙන තිබිණි.

ඒ පිළිබඳව ගංජා වගාවේ හිමිකරු වන ‘ඇඹිලිපිටියේ ලොක්කා’ නමැති අයට ගංජා වියළමින් සිටි ‘කළු’ නොහොත් ඉෂාං නමැති අය විසින් දැනුම් දී ඇත.

‘ලොක්කා’ නමැති අය එම නිලධාරීන්ට දුරකතන ඇමතුමකින් කතාකොට ඇති අතර ඒ සඳහා නඩු නොදමා සිටීමට ඔහුගෙන් රුපියල් ලක්ෂ හයක් ඉල්ලා පසුව එය ලක්ෂ පහට අඩුකර ලබාගෙන තිබිණි.

නමුත් වියළි ගංජා තොගය පිටතට විකිණීමට එම නිලධාරීන් විසින් උත්සාහ කර ඇතත් එය ව්‍යර්ථ වී ඇත. පසුව ඔවුන් විසින් ‘කළු’ නමැති අය වියළි ගංජා තොගය සමඟ තණමල්විල පොලිසියට භාර දී තිබේ. ‘කළු’ නමැති අය දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ.

සිද්ධිය පිළිබඳව පොලිසියේ ඉහළ නිලධාරීන් විසින් මූලික පරීක්ෂණයක් පවත්වා සිද්ධියට සම්බන්ධ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස් සැරයන්වරුන් වන (76861) එල්.ඒ.ඩී. ඉන්දික ඉඳුනිල්, (75793) උපුල් ජයවර්ධන, පො.කො. (86976) එම්.ආර්.එම්. සරත්, පො.කො.රි. (14676) ඉන්දික දර්ශන කුලතුංග යන සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් පූර්ණිමා ශ්‍යාමලී මහත්මිය වෙත ඉදිරිපත් කරන ලදුව එක් අයකුට රුපියල් පනස් දහස බැගින් මුදල් ඇප ද, රුපියල් ලක්ෂ දහය බැගින් ශරීර ඇප දෙකක් ද මත සැකකරුවන් මුදා හරින ලදී.

ඊට අමතරව සෑම මසකම අවසන් ඉරු දින පෙ.ව 9.00 – 12.00 අතර තණමල්විල පොලිසියට පැමිණ පෙනී සිටින ලෙසත් සාක්ෂිකරුවන්ට හෝ විමර්ශන නිලධාරීන්ට කිසිදු බාධාවක් නොකරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

වැඩිදුර නඩු විභාගය සැප්තැම්බර් 24 දිනට කල් තැබිණි. අදාළ සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇත.

තණමල්විල පොලිස් ස්ථානාධිපති තිළිණ ද සිල්වා මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

නීතිඥවරියන් වන දිනූෂා තිපනායක, තුෂාරි පියසේන, කෞශල්‍යා ගමගේ යන මහත්මීහු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading