දිස්ත්‍රික්ක 05 ක ගොවීන්ට වගා හානි වන්දි

අසේල කුරුළුවංශ

වියළි කාලගුණික තත්ත්වයේ බලපෑමෙන් දිස්ත්‍රික්ක 05 ක කුඹුරු අක්කර 6073 කට හානි වී තිබෙන බවත් මේ වෙනුවෙන් ගොවීන් 4707 දෙනෙකුට කඩිනමින් වන්දි ගෙවීම් සිදුකරන බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

හානියට පත්ව තිබෙන වී හා බඩ ඉරිඟු ඇතුළු බෝග 06 ක් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක (100000) මුදලක් උපරිම වශයෙන් අක්කර 05 ක් සදහා ගෙවීමට රජය තීරණය කර තිබේ.

නියඟයේ වැඩිම බලපෑම අනුරාධපුර දිස්ත්‍රික්කයට සිදුව තිබේ. එම දිස්ත්‍රික්කයේ ගොවීන් 1900 දෙනෙකුට අයත් කුඹුරු අක්කර 2200 කට හානි සිදුව තිබේ.

මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවීන් 960 දෙනෙකුට අයත් කුඹුරු අක්කර 1334 කටද පොළොන්නරුව දිස්ත්‍රිකයේ ගොවීන් 560 දෙනෙකුට අයත් කුඹුරු අක්කර 1100 කටද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් 782 නෙකුට අයත් කුඹුරු අක්කර 435 කටද අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් 505 දෙනෙකුට අයත් කුඹුරු අක්කර 1004 කටද හානි සිදුව ඇත.

වියළි කාලගුණයේ බලපෑමෙන් මෙම දිස්‍ත්‍රික්ක වල වී වගාවට අමතරව බඩ ඉරිඟු වගාවටද හානි සිදුව තිබෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතා පවසයි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් මෙම දිස්ත්‍රික්ක වල හානියට පත් කුඹුරු ඉඩම් පරීක්ෂා කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

මෙම තත්ත්වය යටතේ හානියට පත් වූ කුඹුරු ඉඩම් සඳහා වන්දි ගෙවීම් කඩිනමින් සිදු කර ගොවීන්ට සිදුව ඇති වගා හානි ආවරණය කර දෙන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව ඉහත දිස්ත්‍රික්ක වලින් මේ වන විට වාර්තා වී තිබෙන හානියට පත් කුඹුරු අක්කර 6073 ක් වෙනුවෙන් ගොවි මහතුන් 4707 දෙනෙකුට කඩිනමින් වන්දි මුදල් නිදහස් කිරීමට අදාළ කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සිදුකරමින් පවතින බව ජාසිංහආරච්චි මහතා කීය.

මෙම නියං තත්ත්වය යටතේ ජලය හිඟකම් හේතුවෙන් වී, බඩ ඉරිඟු ඇතුළු වගාවන් හානියට පත්ව ඇත්නම් හැකි ඉක්මනින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් හමුවී තම හානිය දැනුම් දිය යුතු බවත් එසේ නොමැති නම් ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ ලේඛනයෙහි වගා හානිය සටහන් කිරීම ගොවි මහතුන් විසින් සිදු කළ යුතු බවත් සභාපතිවරයා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කෙටි ඇමතුම් අංකය වන 1918 ඇමතීම මඟින් ගොවි මහතුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

Author

Related Posts