ආදිවාසී ජනතාව වෙනුවෙන් රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත ආදිවාසී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පෙර එහි අන්තර්ගත කරුණු මොනවාදැයි දැනගැනීමට තමන් ඇතුළු ආදිවාසී ජනතාවට අවශ්‍ය නමුත් ඒ සඳහා අවස්ථාව නොලැබීම පිළිබඳව කනගාටුව පළකරන බව ආදිවාසී ජාතික නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැඇත්තෝ පවසා තිබේ.
මෙවැනි පනතක් සකස් කිරීමට පෙර ආදිවාසීන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් ලබාගත යුතුව තිබූ නමුත් එසේ සිදු නොකිරීම පිළිබඳව රැහේ නායකයා ලෙස තමන් දැඩි අප්‍රසාදයෙන් පසුවන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
ලෝක ආදිවාසී දින සැමරුමේදී අග්‍රාමාත්‍යවරිය විසින් ආදිවාසීන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන අයුරින් මෙම පනත් කෙටුම්පත සකසා ඇති බව පැවසුවද, ඒ සියල්ල මහ පොළොවේ යථාර්ථයක් වන තෙක් තමන් බලා සිටින බව වන්නියලැඇත්තෝ පවසා තිබේ. එමෙන්ම මීට පෙර අග්‍රාමාත්‍යවරිය සිය නිවසට පැමිණ ලබාදුන් පොරොන්දු පවා ඉටුකිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බවද ඔහු ප්‍රකාශ කර ඇත.
පවත්නා නීති රීති රටේ සහ ජනතාවගේ අවශ්‍යතාවලට සරිලන පරිදි වෙනස් විය යුතු බව පිළිගන්නා නමුත්, එම නීති සකස් කිරීමේදී මෙරට විවිධ ජාතීන්, පරම්පරා සහ සංස්කෘතීන් පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ආදිවාසී නායකයා පවසා ඇත.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව සිටි සමයේදී ද තමන් පාර්ලිමේන්තුවට ගොස් මහවැලි, සංස්කෘතික, පරිසර, වනජීවී, වනසංරක්ෂණ, වෙරළ ආරක්ෂක, අධිකරණ අමාත්‍යාංශ සහ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව රැසක් සමග ආදිවාසීන්ගේ ගැටලු නිරාකරණය කරගැනීමට සාකච්ඡා කළ බවත්, එම නීති වෙනස් කිරීමට යාමේදී ආණ්ඩුව වෙනස් වූ බවත් ඔහු පවසා ඇත.
“පෙරේදා මට ලියුමක් ලැබුණා. කතා කළාම දැන ගන්න ලැබුණා මේ පනත ගැන ගැසට් එකක් හදල තියෙනවා කියලා. ඒක නිකුත් කරන්න කලින් මට එවන්න කියලා ඉල්ලීමක් කළත් තවම ලැබුණේ නැහැ. මෙහි ඇතුළත් කරුණු අපට හොඳද, නරකද, නැත්නම් අපට කරදරයක් වෙන ඒවාද කියලා හිතාගන්න බැහැ,”
පසුගිය කාලයේ දී ආදිවාසීන් වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කරමින්, හැඳුනුම්පත් ඇතුළු තවත් දේ ලබාදුන් නමුත්, ඒවා නීත්‍යනුකූලව වලංගු නොවන බව අධිකරණයට ගිය පසු තහවුරු වූ බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
හිතුමනාපයට ගැසට් පත්‍ර සකස් කිරීම සහ ගිවිසුම් අත්සන් කිරීම වෙනුවට, ආදිවාසී කණ්ඩායම් එකතු කරගනිමින් ඔවුන්ට සිදුවන බලපෑම්, සහන සහ නිදහස පිළිබඳව පූර්ව සාකච්ඡාවක නිරත විය යුතු බවත්, එසේ නොමැති වුවහොත් ආදිවාසී ජනතාව නැවතත් සිටි තැනම රැඳෙනු ඇති බවත් ආදිවාසී ජාතික නායක ඌරුවරිගේ වන්නියලැඇත්තෝ වැඩිදුරටත් පවසා තිබේ.
