වෙසක් උත්සවයෙන් පසු දිවයින පුරා නැවතත් හිසඔසවා ඇති නොහික්මුණු යතුරුපැදි කල්ලි, අධික ශබ්ද සහිත සයිලන්සර්, නීති විරෝධී වෙනස්කම් සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් පදවන රියදුරන්ට එරෙහිව කිසිදු සමාවක් නොදෙන බවත්, එවැනි යතුරුපැදි වහාම අත්අඩංගුවට ගෙන රුපියල් 50,000ක දඩ නියම කිරීමට අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා අවධාරණය කරයි.
තරුණ තරුණයින් කණ්ඩායම් සහ කල්ලි වශයෙන් එකතුවී, වාහනවල මුල් ආකෘතිය වෙනස් කරමින් සහ අධික ශබ්දය සහිත සයිලන්සර් සවිකර ගනිමින් ධාවනය කිරීම නිසා මුළු පළාතම ගිගුම් දෙන මට්ටමේ මහා ව්‍යසනයක් නිර්මාණය වී ඇති බව රථවාහන නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි. මෙය පාරේ ගමන් ගන්නා අනෙකුත් වාහන, රියදුරන්, පදිකයන් මෙන්ම ප්‍රදේශවාසීන්ටද මහත් බාධාවක් හා පීඩාවක් බව හෙතෙම සඳහන් කළේය.
මේ පිළිබඳව පොලිස්පතිතුමා, රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා සහ තමන්ගේ විශේෂ මෙහෙයවීමෙන් මුළු ලංකාවටම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සියලු රථවාහන නිලධාරීන්ට දැනුම් දී තිබේ. මින් පෙර මෙවැනි වැරදි සඳහා දඩ පත්‍රිකා පමණක් නිකුත් කළද, මෙතැන් සිට එම යතුරුපැදි සෘජුවම පොලිස් බාරයට ගන්නා ලෙස උපදෙස් දී ඇත.
විශේෂයෙන් අපි දකිනවා දෙමව්පියෝ වාහන දෙනවා, යතුරුපැදි දෙනවා. වයස අවුරුදු 18ට අඩු කෙනෙකුට, ලයිසන් එකක් නැති කෙනෙකුට වාහනයක් දෙනවා නම්, පැහැදිලිවම අපි ස්ථානාධිපතිවරුන්ට කියලා තියෙනවා අත්අඩංගුවට ගෙනත් ඒ යතුරුපැදිය හරි වාහනය හරි බාරව ඉන්න කෙනා ඉදිරිපත් කරන්න, පියා හෝ කමක් නෑ ඉදිරිපත් කරන්න කියලා.
යම්කිසි කෙනෙකුට යෝග්‍යතාවය නැත්නම්, ලයිසන් එකක් නැත්නම් ඒ යතුරුපැදිය හෝ වාහනය දෙන්න එපා. බැරි වෙලාවත් අපි පොලිසියෙන් අත්අඩංගුවට ගත්තොත්, නැත්නම් අනතුරක් සිදු වුණොත්, ඒ ලබා දුන්න කෙනාවත් අත්අඩංගුවට ගන්න ක්‍රියා කරනවා.
පොලිස් භාරයට ගන්නා යතුරුපැදි මෝටර් රථ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර තහනම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන අතර, ඉන්පසුව ඒවායේ මුල් ආකෘතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පවරා රුපියල් 50,000 සිට ඉහළට දඩ නියම කිරීමට පියවර ගැනේ. මෙම නීතිමය ක්‍රියාමාර්ග යටතේ ලියාපදිංචි නොකළ (Unregistered) යතුරුපැදි, අධික ධාරිතාවයෙන් යුත් යතුරුපැදි, සයිලන්සර් වෙනස් කර අධික ශබ්දය නිකුත් කරන යතුරුපැදි මෙන්ම ඒවායේ මුල් ආකෘතිය හා පා පුවරු වෙනස් කරන ලද සියලුම යතුරුපැදි වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇත.
මෙසේ කණ්ඩායම් වශයෙන් යතුරුපැදි පදවන තරුණයින් අත්අඩංගුවට ගත් අවස්ථාවලදී පෙනී ගොස් ඇත්තේ, ඔවුන්ගෙන් බහුතරයක් මත්පෙති, ගංජා, අයිස් හෝ කොකේන් වැනි මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇති බවයි. මෙවැනි විකෘති මානසිකත්වයකින් ධාවනය කරන නොහික්මුණු තරුණයන් නිසා මුළු සමාජයම අනතුරේ වැටීමට ඉඩ දිය නොහැකි බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
මාර්ග රිය අනතුරු සිදුවීමට පදිකයින්ගේ වැරදි භාවිතයන්ද හේතුවන බව පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා, පාරේ ගමන් කිරීමේදී සෑම විටම දකුණු පසින් ගමන් කිරීම, දුරකථන සංවාදවල යෙදෙමින් ගමන් කිරීමෙන් වැළකීම, හැකි සෑම විටම පදික වේදිකාව භාවිත කිරීම, වෙනත් කල්පනා වල නොසිට මාර්ගය පිළිබඳව අවධානයෙන් ගමන් කිරීම සහ පාර මාරුවීමේදී පදික මාරුව පමණක් භාවිත කිරීම ඇතුළු උපදෙස් රැසක් අනුගමනය කරන ලෙස පදිකයින්ගෙන් ඉල්ලා සිටී. ඉදිරියේදී සිදුවන මාරක හා බරපතල මාර්ග අනතුරු ඇතුළු සියලුම අනතුරු අවම කරගැනීම රථවාහන පොලිසියේ ප්‍රධානතම බලාපොරොත්තුව බවද පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
